Tuesday 5 March 2013

හුදෙකලාව පියනගන්න (එක්ල චලෝ...එක්ල චා ..ලේ එක්ල චලෝ..එක්ල චලෝ රේ ....)

 

හුදෙකලාව පියනගන්න (එක්ල චලෝ...එක්ල චා ..ලේ එක්ල චලෝ..එක්ල චලෝ රේ ....)

චන්ද්‍රරත්න බණ්ඩාර ඇතුළු අප හිත මිතුරන් පිරිසක් ලබන මැයි මාසේ 04 වෙනිදට ටොරොන්ටෝ හි ඉතා වැදගත් සංස්කෘතික වැඩක් කරන්නට සැරසෙනවා. ඒ තමයි ' තාගෝර් සැන්දෑව '! ඉන්දියානු මහා කවි රවින්ද්‍රනාත් තාගෝර් අනුස්මරණය වෙනුවෙනුයි මේ තාගෝර් සැන්දෑව පැවැත්වෙන්නේ. තාගෝර් කියන්නේ ඉන්දියාවට පමණක් නොවෙයි මුළුමහත් ලෝකයටම අයිති කවියෙක්. එත් ඉන්දියාවට, බංග්ලාදේශයට සහ ශ්‍රී ලංකාවේ අපට තාගෝර් විශේෂයෙන් වැදගත් වෙනවා.

 අසිරිමත් ඉන්දියානු නිදහස් අරගලයේ සංස්කෘතික බල කනුව වුනේ තාගෝර්. ඉන්දියානු නිදහස් අරගලයට හදවතක් බද්ධ කලේ ඔහුයි. ඔහු අයිති බෙන්ගාලයට. ඔහුගේ මව් භාෂාව වංග. සිංහල සුභාවිත සංගීතය අද තිබෙන මට්ටමට පැමිණ තිබෙන්නේ 'රවින්ද්‍ර සංගීතයේ' හෙවත් තාගෝර් අවධි කළ සංගීත සම්ප්‍රදායේ පූර්ණ බලපෑම නිසයි. ඒ අතින් තාගෝර් ශ්‍රී ලංකාවෙත් සංස්කෘතික මුල් ගලක්. මේ උතුම් මිනිසා වෙනුවෙන් පැවැත්වෙන අභිමානවත් සැමරුම් වැඩසටහනට කැනඩාවේ වෙසෙන ඉන්දියානු, බංගලි, ශ්‍රී ලාංකික සහෘදයන් වැඩිදෙනෙක් එකතු වෙනවාට සැකයක් නැහැ.

එක්තරා වංග ගීයකින් තාගෝර් මුළු ඉන්දියාවම අවධි කළා. යටත් විජිත වාදීන්ට බියවෙලා නිවට වෙලා හිටපු පොදු ජනයා අවදි කරන්න මේ ගීය සමත් වුණා. සමාජ ක්‍රියාකාරිකයන්ට අප්‍රමාන දිරියක් මේ ගීතයෙන් ලැබුන. සමාජ ප්‍රගමනය වෙනුවෙන් දිවි පරිත්‍යාගයෙන් වැඩ කරන සත් පුරුෂ ජනයාගේ මුවග රැව්දෙන ගීතයක් ගීතයක් වුණා. මහත්මා ගාන්ධිගේ ප්‍රියතම ගීතය වුනෙත් මෙයයි.
එක්ල චලෝ...එක්ල චා ..ලේ එක්ල චලෝ..එක්ල චලෝ රේ ...

අපි ඒ ගීතය අහන්න කලින් පද මාලාව දෙස බලමු. මම සරල පරිවර්තනයක් දෙන්නම්. හොඳ කවියෙකුට පුළුවන් වෙයි මීට වැඩිය හොඳ පරිවර්තනයක් දෙන්න.

හුදෙකලාව පිය නගන්න

කන් නොදුන්නත් කිසිවෙකු ඔබේ හඬට - ඔබ ඒගැන නොතකා තනිවම යන්න

බිය නොවන්න - තනිවම යන්න

නොදෙඩුවත් කිසිවෙකු ඔබ හා -මගේ අසරණ මිතුර

ඉවත බැලුවත් බියෙන් ගැහුනත් හැමදෙනා

ඔබේ ආත්මයට දිරිය ගන්න - ඔබේ සිතේ නලියන අදහස ලෝකයාට බිය නොවී පවසන්න

තනිවම කතාකරන්නට පටන් ගන්න

අඳුරු වලාකුලින් අහස වැසෙන විට- සත්‍යයද අඳුරින් වැසී යනවිට

ඔබ ගිනි සිළුවක් වන්න - ලෝකයා බියගුල්ලෙකු සේ හැකිලී දනින් වැටෙන විට

ඔබ ලොව අඳුර නසනා ගිනිසිලුවම වන්න - ම මිතුර බිය නොවන්න

තනිවම දැවී එලිය දෙන්න

වංග පද මාලාවෙන් කොටසක්

ජොඩි තොරි ඩක්සුනෙ කිව් නා ආශේ - තොබේ එක්නා චලෝ රේ//

එක්න චලෝ එක්න චලෝ එක්න චාලේ එක්න චලෝ රේ

ජෝඩි කිව් කොත තනාහේ

ඔරේ ඕ ඔබගහා කිව් කොත තනාහේ

ජෝඩි සොයි තුකේ මුක්පිරයේ සොයි කොරේ බොජ්

තොබේ පෙරෙන කුලේ - ඕ තුයි මුක් පුචේ තොරේ මොනර් තෙකා

එක්ල බෝලෙරේ

මේ ගීතය ඉන්දියාවේ බොහෝ ගායක ගායිකාවන් ගායනය කළා. සම්මානනීය ඉන්දීය ගායිකා
ශ්‍රියා ගොසාල් ගයන කරන ගීතයට සවන් දී බලන්න.

 http://www.youtube.com/watch?v=yPqdlR_X1Vk

 

4 comments:

  1. http://www.youtube.com/watch?v=wTXJNMzZbq8

    ReplyDelete
  2. Thanks........

    ReplyDelete
  3. කරු,
    මේ ගීතය පිළිබඳව රසවත් වැදගත් විස්තරයක් විකිපීඩියාවේ තියෙනවා.
    http://en.wikipedia.org/wiki/Ekla_Chalo_Re#Translation_into_English

    එතැනින් උපුටාගත් පහත දැක්වෙන ඉංග්‍රීසි අර්ථ සටහන තාගෝර් විසින්ම කරන ලද්දක්. අන්තිමට ඇත්තේ මේ හැඟීම් සිංහලෙන් ලියන්නට මා දැරූ දුප්පත් උත්සාහයයි. හිතට වැදුනේ මේ හිතිවිල්ලේ භයංකරත්වයයි. නිදහස නම් අපේ හිත් සසලවන භීතියෙන් නිදහස් වීමය කියා කොහේ හෝ කියවා තිබෙනවා මතකයි.

    Here is the translation in prose of the Bengali original rendered by Rabindranath Tagore himself.[6]

    If they answer not to thy call walk alone

    If they are afraid and cower mutely facing the wall,
    O thou unlucky one,
    open thy mind and speak out alone.

    If they turn away, and desert you when crossing the wilderness,
    O thou unlucky one,
    trample the thorns under thy tread,
    and along the blood-lined track travel alone.

    If they do not hold up the light when the night is troubled with storm,
    O thou unlucky one,
    with the thunder flame of pain ignite thy own heart,
    and let it burn alone.


    සවන් නොදෙත් නම් උහු ඔබේ ඇරයුමට
    පියනගන්න ඔබ හු‍දෙකලාව...

    බියව අඩදැණිව ගොළුව
    නිහඬව බලා සිටිත් නම් උහු
    අහා අවාසනාවන්තය...
    විවර කර ඔබ මනස
    පුබුදන්න ඔබේ හඩ හුදෙකලාව...

    හැරී යා නම් උහු හුදෙකලා කර ඔබ
    තරණ දින කටුකොහොල් මහ වනය
    අහා අවාසනාවන්තය...
    බිඳලන්න දෙපා යට කටු පඳුරු
    පියනගන්න රුහිරු වැකි මග දිගේ හුදෙකලාව...

    කුණාටුව කළඹවන රාත්‍රියේ
    නොඑත් නම් උහු දල්වන්න ගිනි සුළක්
    අහා අවාසනාවන්තය...
    වේදනාවේ අසනි ගිනි දළුවෙන්
    ගිනිතබා ඔබේම හදවත
    දවාලන්න ඔබ හුදෙකලාව...

    ReplyDelete
    Replies
    1. ලොකු ... කෙතරම් මිහිරි පරිවර්තනයක්ද ? මෙවන් පරිවර්තනයක් නියම කවියෙකුට මිස වෙනත් කෙනෙකුට කළ නොහැකිය. ඔබට මගේ ප්‍රණාමය!

      Delete