Thursday 11 February 2016

කාන්තා නියෝජන පනත

පලාත් පාලන ආයතනවලට සියයට විසි පහක අනිවාර්ය කාන්තා නියෝජනයක් සහතික කරන්නාවූ වැදගත් පනතක් පසුගිය අගහරුවාදා
(පෙබරවාරි 09) පාර්ලිමේන්තුවේදී සම්මත විය. අවාසනාවකට විපක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් එදින පාර්ල්ිමේන්තුවේ කෑකෝ ගසමින් හූ කියමින් යකා නැටූ නිසා මෙම වැදගත් පනත ගැන සාරවත් විවාදයක් කිරීමේ අවස්ථාව මග හැරුණි. ඒ නිසාම  මෙම දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය ගැන නිසි ජනතා අවධානයක් ඇති වුයේද නැත.

 කෙසේ වෙතත් පලාත් පාලන ආයතන වලට කාන්තා නියෝජන කෝටාවක් ලබා දීම දැන් රටේ නීතියක් බවට පත් වී හමාරය. ඊ ළග පලාත් පාලන මැතිවර‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ණයේදී එය ක්‍රියාත්මක විය යුතුය.

මේ පනත වැදගත් වන්නේ ඇයි?

අප රටේ කාන්තාවන්ට දේශපාලන නායකත්වය ලබා ගැනීමට නම් ඔවුන්ට දිවංගත ස්වාමි පුරුෂයන් දිවංගත පියවරුන් සහෝදරවරුන් ආදීන් සිටිය යුතුය. ලෝකයේ පළමුවන අගමැතිවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මතිණියගේ පටන් එදා මෙදාතුර ලංකාවේ බිහිවු  කාන්තා නායිකාවන් සම්බන්ධයෙන් මේ තත්වය අදාළය. ව්‍යතිරේඛ එකක් දෙකක් තිබුනද සාමාන්‍ය තත්වය මෙයයි

 මේ පිරිමි නායකත්ව සෙවනැල්ල නොමැතිව තමාගේම දෙකකුලෙන්  සිට ගනිමින් දේශපාලන නායකත්ව තත්වයන් අත් පත් කර ගැනීමට කාන්තාවන්ට හරස්වන බාධක කිහිපයක්ම තිබේ. පළමුවැන්න අතිශය ප්‍රචණ්ඩ මුහුණුවරක් ගෙන තිබෙන ලංකාවේ මැතිවරණ සංස්කෘතියයි. මැතිවරණයක් යනු කාන්තාවන්ට තම ගෞරවය රැක ගනිමින් ලෙහෙසියෙන් ඉහ ගැහීමට හැකි කටයුත්තක් නොවේ. දෙවැන්න දැනට පවතින මැතිවරණ ක්‍රම පිරිමි හිතෛෂී මැතිවරණ ක්‍රම වීමය. මේ ක්‍රම අනුව තරග කරන කාන්තාවන්ට මහජන නියෝජිතයන් ලෙස පත්වීමේ ඉඩකඩ අඩුය. මේ නිසා කාන්තාවන්ට නාම යෝජනා ලබාදිම සම්බන්ධයෙන් ඇත්තේ අඩු උනන්දුවකි.

මෙවැනි පසුබිමක් යටතේ මහජන නියෝජිත ආයතන වලට කාන්තා සහභාගීත්වය සහතික කළ හැකි ක්‍රමය වන්නේ විශේෂ නියෝජන සිද්ධාන්තය අනුගමනය කරමින් කාන්තා කෝටා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමය. පසුගිය දා සම්මත වු පනත එවැනි ක්‍රමයක් යෝජනා කරයි. එ අනුව ඉදිරි මැතිවරණ වලදී සෑම පක්ෂයක්ම කණ්ඩායමක්ම පලාත් පාලන ආයතන සදහා තරග කරන අපේක්ෂක ලැයිස්තුවට අමතරව  තරග නොකරන කාන්තා ලැයිස්තුවක්ද ඉදිරිපත් කළ යුතුව තිබේ. ඒ ඒ පක්ෂ ලබා ගන්නා ඡන්ද ප්‍රමාණයට සමානුපාතිකව ඒ ඒ පක්ෂ වලට හිමි කාන්තා ලැයිස්තු මන්ත්‍රීවරියන් ගණන තීරණය කෙරෙනු ඇත.

ආරම්භයේදී මෙයින්  හොදම ප්‍රතිපලය බලා පොරොත්තු විය නොහැකි වුවද මෙය කාන්තා නියෝජනය සහතික කිරීමේ සහ පිරිමි නායකත්ව සෙවනැල්ලේ බලපෑමෙන් තොරව කාන්තා නායිකාවන් මතු කරගැනීමට ඉවහල් වන දැවැන්ත ඉදිරි පියවරකි.