Saturday, 30 March 2013

ඉතින් ආයුබෝවන් ගම්ලතුනි ගරු!

ලියන්නට සැලසුම් කළ 'සුදු රෙදි ලිපිය' ඉදිරිපත් කරන්නට වෙන්නේ නැත. මට ඉතා පුද්ගලික සටහනක් ලියන්නට සිදු වී තිබේ. මෙවැනි සටහනක්වත් නොලියන්නේ නම් මා ඉතා ගුණමකුවකු වනු ඇත. ශාස්ත්‍රීය වසලයෙකු වනු ඇත.

ඔහු මිය ගොසිනි. අද මහ සිකුරාදා නිවාඩු දිනයේ ලංකාවේ ප්‍රවෘත්ති සොයමින් වෙබ් අඩවි පීරමින්  සිටිද්දී මහාචාර්ය සුචරිත ගම්ලත් මිය ගොස් බව ත්‍රිමාණ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනු දුටුවෙමි.
ගම්ලත් දැවැන්ත පඬිවරයෙකි. ඔහුගේ දැනුම හමුවේ මම නිකම්ම නිකම් පඟර නැට්ටෙක්මි. යම් හෙයකින් ඔහු මළවුන්ගෙන් නැගිට මේ ලිපිය කියවුවහොත් මෙහි තිබෙන දහසකුත් එකක් ව්‍යාකරණ අක්ෂර වින්‍යාස වැරදි ගැන මහා ගෝරනාඩුවක් නගා 'හඩු බසින් ලියන්නේ' යයි චෝදනාකරනු ඇත. .

අපි දේශපාලන වශයෙන් දෙමගක ගියෙමු. දේශපාලනයේදී අපි එකිනෙකා කිසිවිටෙකත් පෑහුණේ නැත. ඔහු මාක්ස්වාදී ට්‍රොට්ස්කිවාදියෙකි. මම ජාතිකවාදියෙක්මි. ඔහු "දෙමළ ජාතියේ ස්වයං තීරණ අයිතිය" නම් ප්‍රවාදය පිළිගනිමින් ශ්‍රී ලංකාව ඇතුළත ස්වාධීන දෙමළ රාජ්‍යයක් පිහිටුවීමේ අදහසට ජීවිත කාලය පුරා පක්ෂව  සිටියේය. මම එම අදහසට ජීවිත කාලය පුරා විරුද්ධව සිටින්නේක්මි. සිංහල ජාතිකවාදීන්ට ගම්ලත්ව පෙනුනේ ''දෙමළ ජාතිවාදයට'' උඩ  ගෙඩි දුන් තැනැත්තෙකු ලෙසය. ගම්ලත්ට මාද ඇතුළු ජාතිකවාදීන් පෙනුනේ 'වර්ගවාදීන්' ලෙසය. මෙසේ තිබියදීත් ගම්ලත් අප කිසිවෙකුටවත් පහසුවෙන් මග හැර යා නොහැකි චරිතයක් විය.

ගම්ලත්  අපට නිල වශයෙන් ඉගැන්වූවේ නැත. අප කොළඹ සරසවියේ ඉගෙන ගනිමින් සිටියදී ඔහු සිටියේ රුහුණු  සරසවියේය. එහෙත් ඔහු ලියූ අති විශාල පොත් පත් ලිපි සම්භාරය ඇසුරින් කිහිපයක් විෂය නිර්දේශිත පාඨ ග්‍රන්ථ ලෙස අපි පාඩම් කළෙමු. ඔහුගේ රසවාද විවරණය, කව් සිළුමිණි විනිස අපගේ අත් පොත් විය. ඔහු ඉතා රමණීය භාෂාවකින් ලියුවේය. කුමාරතුංග මුනිදාස, ජේ. බී. දිසානායක හැරුණු විට සිංහල භාෂාව කෙරෙහි මගේ ආදරය දල්වාලූ අනෙක් තැනැත්තා වූයේ මෙම ඊනියා "දෙමළ ජාතිවාදියාය". ඔහු සිංහල භාෂා සාහිත්යයේ අභිවෘධියට කළ  මෙහෙය සුළු පටු වූවක් නොවේ. ඔහු අලුත් වදන් තැනුවේය, ශබ්ද කෝෂ නිර්මාණය කළේය. ඉතා වටිනා විදේශ කෘතීන් සිංහලයට පරිවර්තනය කළේය. 'ලුඩ්වික් පොයර්බාහ් : සම්භාවය ජර්මන් දර්ශනවාදයේ අවසානය' නම් මාක්ස්වාදී කෘතියද ඔහුගේ එම පරිවර්තන අතර විය.  පැරණි සිංහල පොත පතට විවරණ සැපයුවේය. සිංහල සාහිත්ය විචාරයේ එක මතවාදී  ධාරාවක් පෝෂණය කළේය.  සිංහල භාෂාව කෙලෙසන්නේ යයි ඔහු නිගමනය කළ සිද්ධීන් මුණ ගැසෙන විට ඔහු නයෙකු සේ කිපුනේය.  තම ලිපි ලේඛන  සහ මුවග වදන් ඇසුරින් ඒවාට පහර දුන්නේය. ඔහු දිවයිනට ලියූ සුබස් මිණි ආර , ඔහු  සංදේශයට ඉදිරිපත් කළ ගී මිණි ආර වැඩසටහන මග හරින්නේ නොමැතිව කියවීමේ ඇසීමේ පුරුද්දක් අපට තිබිණි. කොළඹ ඩීන්ස් පාරේ තිස්ස බාලසූරිය කේන්ද්‍රයේ නිර්මාණ සංවාද කුලකය සංවිධානය කළ සම්මන්ත්‍රණ වලදී සහ වෙනත් තැන් වලදී ඔහු  කළ දේශන වලට සවන් දීමට අපි ගියෙමු. සමහර විට අපි ඔහු සමග මතවාදීව ගැටුනෙමු.

ගම්ලත් සමග මතවාදී ආරවුල් ඇති කර නොගත් අයකු සොයා ගැනීම දුෂ්කරය. මා ඔහුගේ දේශපාලනය සමග එකඟ නොවූවා සේම ඔහුගේ සමහර සාහිත්‍ය විචාර මතවාද සමගද එකට සිටියේ නැත. මහාචාර්ය පියසීලි විජේගුණසිංහ සහ ඔහු අතර ඇති වූ විවාදයෙදී මා සිටියේ පියසීලි විජේගුණසිංගේ පාර්ශවයට තල්ලුව දෙමිනි. ඔහු පියසීලිට එරෙහිව ලියූ සමහර සාහිත්‍ය විචාර  ලිපි ගැන අදටත් මගේ කිසිදු කැමැත්තක් නැත. එහෙත් අපගේ මතවාදී ගැටුම් ඒවාට පමණක් සීමා විය. මා සම්බන්ධයෙන් නම්  ඔහු ඒ කිසිවක් පුද්ගලිකව  භාරගත් කෙනෙකු නොවීය. මගදී මුණ ගැසුණු  විට සිනහ මුසු මුහුණින් කතා කර විහිළු තහළුවක්  කරන්නටද  අමතක නොකළේය.
රුහුණු සරසවියට සහකාර කථිකාචාර්යවරුන් බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් වෙනුවෙන් මගේ මතකයේ හැටිය 1996 වර්ෂයේ දිනයක මමත් ලියනගේ අමරකීර්තිත් රුහුණට ගියෙමු. මට විශ්ව විද්‍යාලයට බැදෙන්නට කිසිම වුවමනාවක් නොවිණි. මම ගියේ අමරෙගේ තනියටය. එම තනතුර සඳහා  උපරිම සුදුසුකම් තිබුනේද අමරෙටය.
 සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ මහාචාර්ය ගම්ලත් සිටියේය.මගේ සහතික පත් බැලූ ඔහු

"මූලික සුදුසුකම් නම් තිබෙනවා බලමු එහෙනම් විෂය දැනුම" කියමින්  විෂය ආශ්‍රිත ප්‍රශ්න අසන්නට සැරසුනේය.
එන පොට හොඳ නැති බව වටහා ගත් මම මෙසේ පැවසුවෙමි.
"සර් මම මේ පරීක්ෂනෙට ආවේ නිකම් විනෝ දෙට.  මේ තනතුර බලාපොරොත්තුවෙන් නොවේ."'
"විනෝදෙට! මහා පුදුම කතාවක් නේ මේක' ගම්ලත් කියයි.
"ඔව් සර් මම අවේ මගේ යාළුවගේ උදව්වට. නිකම් ඇප්ලිකේෂන් දැම්ම නිසා ආවා."
"තමුසෙත් හරි හාදයෙක් තමයි. එහෙනම් අපි වෙන මොනවා හරි කතා කරමු ආපු එකේ. කියමින් විනාඩි පහක් දහයක් මා සමග කොළඹ තිබෙන සාහිත්‍ය කලා දේශපාලන  ඔප දූප  ගැන  කතා කළේය. මුළු සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයම මා නිසා  එකම විහිළුවක් බවට පත් විය.
"හොඳයි එහෙනම් රස්සාවත් එපානම් යන්න පුළුවන්"'. අවසානයේදී ඔහු විහිළුවෙන්ම පැවසීය. මම කාමරයෙන් එලියට පැමිණියෙමි.
අමරෙටද එම තනතුර නොලැබිණි. ඒ ඔහුගේ හොඳටය. එහෙත් ඔහු කොහේ හෝ විශ්ව විද්‍යාලයක සිටිය යුතු චරිතයක් බව ගම්ලත් එහිදී ඔහුට පැවසු  බව අමරේ මා සමග ආපසු එන විටදී  පැවසීය.

ඔහු සිළුමිණ පත්‍රයේ  ශාස්ත්රීය සංග්‍රහයට විවාදාත්මක ලිපි මාලාවක් ලියමින් සිටින අවධියේ මට ලේක් හවූසියේ  කර්තෘ මණ්ඩල ප්‍රධානියකු ලෙස වැඩ භාර ගන්නට සිදුවිය. ඔහු මහාචාර්ය ජේ. බී දිසානායක සමග 'කව් ලැකියද ලෙව් ලැකියද" නම්  භාෂා ශාස්ත්‍රීය වාදයකට  කරුණාරත්න අමරසිංහ ඇතුළු තවත් කිහිප දෙනෙකුද එකතු කරගනිමින්  පැටලී සිටියේය. ගම්ලත් ලියූ මෙම  ලිපි පෙළ නොරිස්සූ එක්  ප්‍රබල  පුද්ගලයෙක් මා ලවා කතුවරයාට  බලපෑම් කොට එම ලිපි පෙළ නවත්වන්නට උත්සාහ ගත්තේය. ඒ තැනැත්තා කතා කළේ  වැරදි පුද්ගලයාටය.  එම ලිපි පෙළ කිසිම බධාවකින් තොරව තමන් කැමති ආකාරයකට ශාස්ත්‍රීය සංග්‍රහයෙහි පල කරගෙන යන්නයි මම එකල සිළුමිණ කතුවරයාව සිටි  තිලකරත්න කුරුවිට  බන්ඩාර  මහතාට උපදෙස් දුනිමි.ගම්ලත්ගේ මතයට  විරුද්ධ ඕනෑම කෙනෙකුට ප්‍රති උත්තර ලිවීමේ ඉඩක් පමණක් වෙන්කර දෙන්නයි මම තව දුරටත් සිළුමිණ කතුවරය්ගෙන් ඉල්ලා සිටියෙමි. මා දන්නා පමණින් මහාචාර්ය ජේ බී හැරෙන්නට වෙන කිසිවෙක් ඒවාට විරුද්ධව බරපතල යමක් ලියන්නට ඉදිරිපත්වූයේ නැත.

ඔහු ඉතා දැවැන්ත සිංහල ශබ්ද කෝෂයක් නිර්මාණය කර එය මුද්‍රණය කරගන්නට ක්‍රමයක් නොමැතිව ලතවෙමින් සිටියේය. ඒ කාලයේ ඔහු මා  සොයා පැමිණියේය. ඔහු මා ළගට එවන්නට ඇත්තේ කුරුවිට බණ්ඩාර හෝ කරුණාරත්න අමරසිංහ විය යුතුය.
''පරනේ .. මේක ජාතික මට්ටමේ වැඩක්. මේ ශබ්ද කෝෂයට මම ගොඩක් මහන්සි  වුනා. මේක මුද්‍රණය කරන්න කව්රුවත් භාරගන්නේ නැහැ. වියදම ටිකක් සැර  තමයි. බැරිද මේකට රජය මැදිහත්වෙලා මොකවත් කරන්න .."' ඔහු මගෙන් ඉල්ලා සිටියේය .ඔහුගේ එම ශබ්ද කෝෂය ගැන ඒ වන විට  මම අසා තිබුනෙමි.
"හරි සර් මම වැඩේ බාරගන්නම්" කියමින් ගම්ලත්ව පිටත් කළ  මම සූදානම් වූවේ ලේක් හවුසියේ වාණිජ මුද්‍රණ අංශයේ ව්‍යාපෘතියක්  ලෙස එය මුද්‍රණය කර ප්‍රකාශයට පත් කිරීමටය. එයට එකලද  ලක්ෂ විසි පහක පමණ ආරම්භක පිරිවැයක් දැරීමට සිදුව තිබිණි. ගම්ලත් ඉදිරිපත් කර තිබූ කොන්දේසි කිහිපයක්ද තිබිණි. සංස්ථාවේ සභාපතිව සිටි ජනදාස පීරිස් මහතාවද එකඟ කරවාගෙන  මේ සියල්ලට අනුව අනුමැතිය ලබා ගැනීම සඳහා  සංස්ථා මණ්ඩල පත්‍රිකාවක්  සැදු මම බරපතල වැඩක් බැවින් ජනමාධය අමතිවරයගේද අවසරය ඉල්ලුවෙමි.
"හොඳ වැඩක් වගේ... කරන්න පුළුවන් නම් කරන්න. අපේ විරුද්ධත්වයක් නැහැ". ඇමතිවරයා කීවේය.
 බාධාව ආවේ වැඩේ පටන්ගනිද්දීමය. ගම්ලත්ගේ කොන්දේසි සහ රජයේ කාර්ය පටිපාටිය එකට ගැලපුනේ නැත. විවධ මූල්‍ය රෙගුලාසි ගම්ලත්ගේ කොන්දේසි වලට එරෙහිවද ගම්ලත්ගේ සමහර කොන්දේසි සමහර වැදගත් රජය මූල්‍ය නීති රීති වලටද එරෙහිව මතු වන්නට විය. අවසානයේ වැඩේ නොකෙරන තැනට පත්විය.
"සර් අර පොත ගහන්න වෙන්නේ නැහැ" මම ගම්ලත්ට කරුණු පැහැදිලි කලෙමි .
"මම ඕක හිතුව.. උඹ මහලොකුවට ජාතිය ගැන කතා කලාට ජාතියට මෙච්චර වටිනා වැඩක් වත්  කර ගන්න බැහැනේ.. කියමින් මහා හඩින් සිනාසුනු ඔහු "හොඳයි මම වෙන අතක් බලාගන්නම්" යි පැවසුවේය .

ඊට වසර කිහිපයකට ඔහු එම මහා ශබ්ද කෝෂය ප්‍රකාශයට පත් කරවාගෙන තිබුණි. මට කළහැකි එකම  කටයුත්ත වූයේ එය මිලදී ගැනීම පමණි. එහි පිටපතක් පසුගිය වසරේ ටොරොන්ටෝවේ පැවතී 'බසක වරුණ' සිංහල භාෂා දින වැඩසටහනේ ප්‍රදර්ශනයට තැබීමට අපි කටයුතු කළෙමු. සිංහල භාෂා සාහිත්යයේ උන්නතිය වෙනුවෙන් කැපවුණු හික්කඩුවේ සුමංගල, බටුවන්තුඩාවේ දේවරක්ඛිත,  කුමාරතුංග මුනිදාස,රත්මලානේ ධර්මාරාම වැලිවිටියේ සෝරත, පියදාස සිරිසේන, සෙනරත් පරණවිතාන, එදිරිවීර සරච්චන්ද්‍ර  විල්හෙල්ම් ගයිගර්, මහාචාර්ය හෙට්ටිආරච්චි,ගුණපාල මලලසේකර, ඩී. බී. ධනපාල, ආදී හිටපු  ගිහි පැවිදි පඬිවරුන් රැසකගේ රුව රැගත් අලේඛ්‍ය චිත්‍ර එම භාෂා දින වැඩ සටහන් පැවතී ශාලාවේ ප්‍රදර්ශනයට තැබූ එහි සංවිධායකයකු වූ බන්දුල කුරුවිට ආරච්චි මහතා මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ රුව රැගත් අලේඛ්‍ය චිත්‍රයක්ද එතන තැබුවේ 'මේකත්  මෙතන තිබෙන්නට අතවශ්‍යම  පින්තූරයක්" යයි කියමිනි.

ගම්ලත් ලඟින් ඇසුරු කළ ඔහු සමග විවිධ තැන්  වලදී එකඟ වුන විවිධ තැන්  වලදී විරුද්ධ  වුනු සියලු දෙනාටම කියන්නට මෙවැනි කතා බොහෝ තිබෙන බව මම දනිමි. ඔහු අප සැමගේ ජීවිත හරහා ඔහුටම ආවේනික ගමනක නියැලී සිටිමින් එම ගමන දැන්  අවසන් කර ඇත.

ගුරුතුමනි ඔබට මගේ ආචාරය !

16 comments:

  1. මටද ඔහු පොරක් නොවේ. නමුත් සිංහල භාෂාවේ කෙල පැමිනියෙක් ලෙසත්, තම මතය වෙනුවෙන් කිසිම ලාභයක් නොලබා නිර්භීතව පෙනි සිටි ශ්‍රේෂ්ඨ මිනිසෙක් ලෙසත් මම ඔහු අගය කරමි.

    ReplyDelete
    Replies
    1. මහාචාර්‍ය සුචරිත ගම්ලත් මැතිතුමන් මට නම් පොරකි. ඒ ඔහුගේ තියුණු සාහිත්‍යය ඥානයත්, ස්රුජු ප්‍රතිපත්තීනූත් නිසාවෙනි. ඔබ වැනි අයෙකුට ඔහු පොරක් නොවීම ගැන මට ඇත්තේ සතුටකි.

      Delete
  2. මට නම් ඔහු මහා චරිතයක් මෙවන් කාලෙක ලාකාවේ ඉන්න හොර චරිත වලට වඩා . ඔහු මොන මතය දැරුවත් පොලවේ කකුල් දෙකෙන්ම හිටගෙන ඉ ඒ මතය දැරුවේ . ඒ කොහොම වෙතත් ඔහු ලියු පොත් පත්ම ඇති ,මේ කුඩා රටට ආදරේ කරන බව උදේ හවා දෙස බාන ඊනියා උගතුන් කරන හානිය බැලුවම ....ස්තුති මේ ලිපියට.

    ReplyDelete
  3. ගම්ලතුන්ගේ කෘති අතරින් මා මුලින්ම කියැවූයේ 'සාහිත්‍ය විචාර හා මාක්ස්වාදී විකටරූප' කෘතයයි. එතුවක් කල් නන්දාට සහ සුනිල්ට පහන් පත්තුකොට වන්දනාමාන කරමින සිටි මා ඔහු විසින් උස්සා පොළවේ ගසා නරක් කරන ලදී.
    මහැඳුරුතුමනි, මා නරක්කලාට ස්තුතියි...!!

    ReplyDelete
    Replies
    1. වැඩිදුරටත් කියවපන් චාර්මී එතුමාගේ මාක්ස්වදය හා සාහිත්‍යකලා --2008 ප්‍රථම මුද්‍රණය. උස්සා පොළවේ ගසන ලද උඹව ඒ පොත විසින් දෙපයින් සිටුවාවි. නරක කොල්ලෙකු ඌ උඹ හොඳ එකෙක් වේවි.

      Delete
  4. භාෂාවක් ඇති වැදගත් කම අද තමයි මට නම් දැනෙන්නේ.සිංහල ඉගෙන ගත්තේ නැති එකේ පාඩුව අද හොදින් දැනෙයි.අපෙත් ආචාරය ඔහුට.

    ReplyDelete
  5. හදපිරි සොවින් එතුමාට සමුදෙමු!

    ReplyDelete
  6. ඇගයිය යුතු, ඇසුරුකළ යුතු, ජීවත්ව සිටිය යුතු පඬිරුවනකි මහ ඇදුරු ගම්ලත්....

    ReplyDelete
  7. ඔහු හා සම දැනුම ඇති වියතුන් අද ලංකාවේ ජීවතුන් අතර සිටින්නේ දෙතුන් දෙනෙකු පමණකි. ගුරුතුමනි ඔබට සුබ රැයක්...!

    ReplyDelete
  8. කිසිවිට පරන නොවන සැමවිට යාවත්කාලීන පරනවිතාන, සුචරිතවත් කම නොබිද දිවිලත් ගමින් බැහැරක සිට වූව ගී මිණි ආරක් ලෙසින් ලිව් සැටි මැනවි.

    ReplyDelete
  9. එතුමන්ගේ ශබ්ද කොෂය මුද්‍රණය කරගන්න කෙනෙක් නොමැතිව සිටි බව බොහෝ දෙනෙක් නොදන්නා කරුණක්. ඒ අනවබෝධයෙන් අමාවක බ්ලොගයේ පෝස්ටුවක් දමා ඇත.

    ReplyDelete
    Replies
    1. අමාවක අසන්නේ මේ කරුණු ඒ ලෙස ලියන්නේ ඇයි කියායි නේද?

      Delete
    2. මතිමතාන්තර අතර දෙපිලක වුවත් ගම්ලතුන් යනු පිදිය යුත්තෙකි.සිරිලකට උපන් පඬි රුවනෙකි. දේශපාලන මතය කුමක් වුව පරනේ ගේ අදහස වූයේ මේ වියතාගේ වියමනට තැනක් ලබාදිමයි. එය මන්සල අතිරේකය හරහා මැනවින් ඉටු කෙරිණි. ඒ සේම දිනමිණ හරහා අගනා ඉංගිලිස් පාඩමක්ද ගම්ලතුන් අතිනි බිහිවිණි. ඒ පසුපස සිටියේ කරුණාරත්න පරණවිතානය. ඔහු නොවන්නට ඒ ලිපි එකකුදු පාඨකයාට නොලැබෙන්නට ඉඩ තිබිණි.

      Delete
  10. නිරතුරුව ඔහු සපැමිණෙන සම්මන්ත්‍රණ ආදියට සවන් දෙන්නට ගියත් මට මෙතුමා පළමු වරට පුද්ගලිකව හමුවෙන්නේ අසුව දශකයේ දී සිය රැකියාවද අහිමි වී සිය බිරිඳ සහ කුඩා දියණිය සමඟ මහනුවර දෙය්යන්නේවෙල මගේ නිවස ඉදිරිපිට තිබු එක කාමරයක් සහිත කුඩා ඇනෙක්සියක ගාල් වෙන්නට වූ සමයේදීයි. සංස්කෘත වචනයක තේරුමක් අහමින් ඔහු හමුවන්නට ගිය විට පළමුව කෙලින්ම ඒ ගැන පැහැදිලි කර දෙවනුව ශබ්දකෝෂ පෙරලමින් නැවත නැවත එය තහවුරු කිරීම ඔහුගේ පුරුද්දයි. ඔහු විසින් සිංහලට පරිවර්තනය කළ 'ගීත ගොවින්දය' අත්සන් තබා මට දෙන ගමන් හිනා වී කිව්වේ
    "ඕකෙ තුටුපඬුරුයි කියල ලිව්වට කමක් නැහැ මට පොතේ ගාන දීපන්"
    එකල සීමාවාසික වෛද්‍යවරයෙකු ලෙස සොච්චම් පඩියක් ලැබූ මම හරියටම පොතේ ගාන දුන්නම ඒ විදිහටම හිනාවෙලා කිව්වේ " මම හිතුවේ උඹ අඩුගානේ රුපියල් සීයක්වත් වැඩියෙන් දෙයි කියල."
    පොත මට දී දින කිහිපයකින් මා හමු වූ විට ඔහු මුලින්ම ඇහුවේ "මගේ පොත කියෙව්වද?"
    මගේ පිළිතුර වුනේ "සර් නාගර අකුරු සිංහලෙන් ලියන්නේ නැතිව සිංහලට පරිවර්තනය කළා නම් තවත් හොඳයි"
    මෙයින් කිපුණු ඔහු දුන් පිළිතුර අදත් මට මතකයි.
    " යකෝ උඹ කියන්නේ අහවලා (ප්‍රසිද්ධ හෙළ ගත කතුවරයෙකුගේ නමක්) කළා වගේ මටත් හෙළුවෙන් පහරන්න කියලද? ගිතගොවින්දය කියන්නේ අර්ථය විතරක් නොවෙයි ඒ ශ්ලොකවල ශබ්ධ රසය විරිත එහෙම ඒ විදිහට පවත්වාගෙන පරිවර්තනය කළ යුත්තක්. මේක නොදන්නා උඹලා වගේ උන් තමයි අද සංස්කෘත ඉගෙන ගන්න යන්නේ"
    මෙතැන් පටන් ඔහු හා බැඳුනු බොහෝ රසවත් අත්දැකීම් කියන්න පුළුවන් වුනත් මේක මගේ බ්ලොග් එක කර ගන්න බැරි නිසා නවතිනවා. ඉඩක් ලද විගස ඒවා ලියා තියන්නයි හිතන් ඉන්නේ.

    ReplyDelete
  11. niliyange ada niruwath penawa sambawaya kiya lebalaya gasu sinmawata dunna shot eka nama maru

    ReplyDelete

Google+ Followers