මා දැන් සැරසෙන්නේ දෙබරයකට ගලක් ගසන්නටය.
මහාචාර්ය නලින් ද සිල්වා කලක සිට නූතනත්වය හඳුන්වන්නේ 'ක්‍රිස්තියානි නූතනත්වය'
ලෙසය. නලින් යනු මට අනුව ශ්‍රී ලංකාවේ බිහි වූ බැරෑරුම් චින්තකයෙකි. මේ අදහසට
විරුද්ධ වන අය සිටින බව දනිමි. 'මට අනුව' යැයි පැවසුවේ එහෙයිනි.මහාචාර්ය නලින්ට
අනුව මේ වනවිට මුළු ලෝකයම 'ක්‍රිස්තියානි නූතනත්වයට' යට වී ඇත. ලංකාවේද දැන්
පවතින්නේ සිංහල බෞද්ධ සංස්කෘතියක් නොව 'ක්‍රිස්තියානි නූතනත්ව' සංස්කෘතියකැයි
ඔහු මේ ළඟදී ලියා තිබිණි.
මහාචාර්ය නලින් අපට සැමදා බුද්ධිමය අභියෝගයක් විය.
එහෙයින්ම ඔහු දිගින් දිගටම කියා සිටින මේ අදහසින් පොලඹවනු ලැබීමෙන් නූතනවාදයේ ආගමික
පදනම ගැන සොයන්නට මගේ විවේක කාලයෙන් වැඩි වෙලාවක් යෙදෙව්වෙමි. මහාචාර්ය නලින් යෝජනා
කරන මෙම අදහස ලංකාවේ වැඩි දෙනා සැලකිල්ලට ගන්නා බවක් නොපෙනේ.(
ඔහු ඉදිරිපත් කරන බොහෝ අදහස් සමාජය පිළිගන්නේ කලක් ගතවීමෙන් පසු බව මගේ අත්දැකීමය.)
කෙසේ වුවද නූතනත්වයේ ආගමික පදනම ගැන ලංකාවෙන් පිටදී ලියවුනු ශාස්ත්‍රීය ලේඛන
බොහොමයක් මට කියවන්නට ලැබිණි. එම කියවීම් තවම අවසන් නැත. ඒ අනුව මේ ලිපි පෙලෙන්
ඉදිරිපත් කරන අදහස් තනිකරම මගේ ඒවා නොවන බැවින් සමහර තැන් වලදී සමහර චින්තකයන්ගේ නම්
සහ පොත් පත් ගැනද සඳහන් කරන්නට සිදුවනු ඇත.
අමෙරිකාවේද රුසියාවේද ඉතියෝපියාවේද ශ්‍රී ලංකාවේද මුළු ලෝකයේම ද දැන් තිබෙන්නේ
නූතනවාදයේ ප්‍රතිපලයක් ලෙස බිහි වූ 'ජාතික රාජ්‍යයන්'ය. නූතනවාදය යටත්විජිතකරණය
ඔස්සේ ලංකාවට පැමිණීමට පෙර ලංකාවේ රාජ්‍යයක් තිබුනද එය නූතනවාදී අර්ථයෙන් වන ජාතික
රාජ්‍යයක් නොවිණි.දැන් අප සලකා බලන්නට යන්නේ එසේ ලෝකය පුරා ජාතික රාජ්‍ය බිහි කළ
නූතනවාදයට ආගමික පදනමක් තිබේද තිබේ නම් ඒ කුමක්ද යන්නය.
'ප්‍රොතෙස්තන්ත සදාචාරයෙන්' ඔබ්බට............
එවැන්නක් සොයා බලන්නෙකුට ධනවාදයේ නැගීමට ප්‍රොතෙස්තන්ත ව්‍යාපාරය බලපෑ අකාරය ගැන
'ප්‍රොතෙස්තන්ත සදාචාරය සහ ධනවාදයේ සාරය' (The Protestant Ethic and the Spirit of
Capitalism)
යනුවෙන් ධනවාදයේ නැගීමට ක්‍රිස්තියානිය පිටිවහල් වූ සැටි
විස්තර කරමින් මැක්ස්වෙබර් පඬිවරයා ඉදිරිපත් කළ අදහස් වලින් ඔබ්බට යන්නට සිදුවනු
ඇත. මන්දයත් ධනවාදය යනු නූතනත්වයේ එක අංගයක් පමණක් බැවිනි. නූතනවාදය යනු ධනවාදය
පමණක් නොවන බැවිනි. නූතනත්වයේ ආගමික පදනම වනාහී ධනවාදයට මාවත හෙළි කළ ප්‍රොතෙස්තන්ත
ක්‍රිස්තියානියට වඩා දුරකට ඇදී යන්නකි.
ආගම් විසින් සිදුකරනු ලබන එක කටයුත්තක් වන්නේ මිනිසාට තමන් ජීවත්වන ලෝකය සහ විශ්වය
ගැන යම් අදහසක් ඉදිරිපත් කිරීමය. එහෙයින් බොහෝ ආගම්වල විශ්වයේ ඇතිවීම නැතිවීම ගැන
ප්‍රවාදයන් තිබේ.එනම් එක් එක් ආගමට තමන්ගේම වූ විශ්වවේදයක් (cosmology) තිබේ. එක් එක් ආගම්වලට ඇත්තේ එක සමාන විශ්වවේදයන් හෙවත් කොස්මොලොජීන් නොවේ. බෞද්ධ
කොස්මොලොජියට වඩා ක්‍රිස්තියානි කොස්මොලොජීය වෙනස්ය. ලෝකයේ
ඇතිවීම නැතිවීම ගැන කියන්නේ එකිනෙකට වෙනස් කතාන්දරයකි. නූතනවාදයේ ආගමික පදනම වටහා ගැනීමට මේ ආගමික කොස්මොලොජීන් දෙස හැරීමට අපට සිදුවේ.
මෙසේ වූ ආගමික කොස්මොලොජීන් චක්රීය කොස්මොලොජීන් සහ රේඛීය කොස්මොලොජීන් වශයෙන්
ප්රධාන වර්ග දෙකකට බෙදිය හැකිය. චක්‍රීය විශ්වවේදයන් විශ්වයේ සහ ලෝකයේ ආරම්භයක් සහ අවසානයක් ගැන කතා කරන්නේ නැත. එය කතා කරන්නේ නිරන්තරව සිදුවන වෙනස්කම්
ගැන පමණි. ඒවාට අනුව ලෝකයේ සහ විශ්වයේ පවතින්නේ වෙනස්වීම් ප්‍රවාහයක් සහිත
චක්‍රීය විපරිනාම ක්‍රියාවලියකි.ඇරඹුමක් හෝ අවසානයක් නැත.
බුදු දහමේ එන 'සංවට්ට කප්ප- විවට්ට කප්ප' සංකල්පය උදාහරණයකි.
හින්දු සමයද බොහෝ දුරට චක්‍රීය විපරිනාමය අනුව ලෝකය විග්‍රහ කරන්නේ යයි මට සිතේ.
හින්දු සමය සහ බුදුසමය යෝජනා කරන්නේ මේ චක්‍රයෙන් ඉවත්වීමෙන් සත්වයාට /
මිනිසාට විමුක්තිය සාදාගත හැකි බවය.
ක්‍රිස්තියානිය පැමිණීමට පෙර යුරෝපයේද විශ්ව දැක්ම තරමක් මෙයට සමානව තිබූ බව
ප්ලේටෝ වැනි දාර්ශනිකයන්ගේ රචනා දෙස බලන විට පෙනේ.
ආරම්භයක් සහ අවසානයක් තිබේ?
එයට වෙනස්ව රේඛීය විශ්වවේදය කියන්නේ ලෝකයට ආරම්භයක් සහ අවසානයක් ඇති බවය. අගක්
මුලක් තිබෙන බවය.මෙය ක්‍රිස්තියානි ආගමේ එන අදහසකි.ක්‍රිස්තියානියට අමතරව එම අදහස්
කියන තවත් ආගම් තිබේ.
මේ රේඛීය සංකල්පය අනුව යමින් ක්‍රිස්තියානි දහම විසින් මිනිසාගේ
ඉතිහාසය යනු ටීලියෝලොජිකල් ප්‍රවාහයක් ය (teleological process-අන්ත සාද්යතා ප්‍රවාහයක්) යන අදහස මතුකර තිබේ.
telos යන ග්‍රීක වදනේ අර්ථය 'අවසානය' යන්නය. ඉංග්‍රීසි අර්ථය අවසානය යන අර්ථයට
අමතරව 'කිසියම් ප්‍රවාහයක් විසින් සපුරාලන අවසාන ඉලක්කය' යන අර්ථයද ඇත.
මේ තේරුම් දෙකම එකට ගත් කල මනුෂ්‍යාගේ ඉතිහාසය යනු කිසියම් ඇරඹුමක සිට කිසියම් අවසාන
ඉලක්කයක් සපුරා ගැනීම වෙනුවෙන් ගමන් ගන්නා මිනිසාගේ කතාව ලෙස දැක්විය හැකිය.
මේ ආගමික විශ්වවේදය බටහිර දේශපාලන චින්තනය ඇතුලත ක්‍රිස්තියානි දහම විසින් තහවුරු
කළ අකාරය ඉතා රසවත් කතාවකි.
එය ඉදිරි ලිපියකින්...........
ඔබ ඉතාමත් කාලීන මාතෘකාවකට පිවිසෙන බවක් පෙනේ. ඉතාමත් ආශාවෙන් කියවිය හැක.
ReplyDelete"ක්රිස්තියානි නුතනත්වය " වශයෙන් අදහස් කරන කරුණ පිළිබඳව මාද අධ්යයනය කරමින් සිටිමි. ඒ පිළිබඳ මටද විවාදයක් ඇති අතර, ඔබට හැකි නම් ඒ පිළිබඳ විස්තර කෙරෙන (මහාචාර්ය නලීන්ද සිල්වාගේ නොවන) ස්ථාන කිහිපයක විස්තර සපයන්න.
"ආගමික කොස්මොලොජීන් චක්රීය කොස්මොලොජීන් සහ රේඛීය කොස්මොලොජීන් වශයෙන් ප්රධාන වර්ග දෙකකට බෙදිය හැකිය "
මෙය ඔබගේ මතයක්ද, නැති නම් තවත් අයගේ මතයක්ද, නො එ සේ නම් යම් යම් ආගමික කතෲන් සෘජුවම පෙන්වා දි ඇති දෙයක්ද, එසේත් නැති නම් ආගමික පතපොත අධ්යයනයෙන් ලබාගත් අවභෝධයක්ද ?
මම එහෙම අහන්න හේතුව, මම දකින්නෙ සෑම ආගමකම "රේඛීය සාධකය" ප්රශ්ණ කිරීමට සෘජුව හෝ වක්ර අකාරයකින් පෙළඹවීමක් මා දකින නිසාය.
ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ඔබ විමසා ඇති කරුණු වලට මගේ ප්‍රතිචාරයනුත් කරමින් ඉදිරි ලිපි ඉදිරිපත් කරන්නම්.
Delete