Tuesday, 26 March 2013

දේශපාලන චින්තනයේ ත්‍රිත්ව එන්නත

නූතන වාදයේ ආගමික පදනම ලිපි පෙළ.............

 
මනුෂ්‍ය සමාජය ක්‍රමයෙන් ප්‍රගතිය කරා ඇදෙන්නේය යන නූතනවාදයේ ප්‍රධාන පිළිගැනීම ආගමික විශ්වාසයක් පදනම් කරගෙන ඇතිවූවක් බව කලින් ලිපියක සඳහන් කළා. විශේෂයෙන් ක්‍රිස්තියානි චින්තනයේ විශ්වවේදය බටහිර නූතනවාදයට සහ දේශපාලන චින්තනයට බල පා තිබෙන බව එහි සඳහන් කළා. මම එහිදී ක්‍රිස්තියානි 'ත්‍රිත්ව සංකල්පය' (පියාණන්ගේ යුගය -පුත්‍රයාණන්ගේ යුගය- සහ ශුධාත්මයානන්ගේ යුගය පිලිබඳ සංකල්පය ) හේගල්ගේ ඉතිහාස දර්ශනයට, මාක්ස්වාදයේ සමාජ ඉතිහාසය පිලිබඳ දැක්මට, ජර්මන් ජාතිකවාදයට බලපෑ තිබෙන බව යෝජනා කළා. එයට ඉතා වැදගත් ප්‍රතිචාර ගොඩක් ලැබුනා. ඒවා මේ ලිපි මාලාව දියුණු කරන්න උදව් වෙන ඒවා. පළමුවෙන්ම යම් වැරදි අවබෝධයන් කිහිපයක් නිවැරදි කර ගත යුතුව තිබෙනවා.

'උඹ එන්න හදන්නේ මොකාටද කියල අපි දන්නවා. ඔය හදන්නේ ක්‍රිස්තියානිය පහත් කරලා බුද්ධාගම තමයි උසස්ම ආගම. බෞද්ධයාගේ ලෝක දැක්ම තමයි හොඳම එක කියල අන්තිමට ලියන්නනේ.... බටහිර විරෝධය වපුරන්නනේ .. උඹේ ගුරා නලින් සිල්වා ඕක උඹට වැඩිය හොඳට කරනවා.... අපට තව නලින් කෙනෙක් ඕකට ඕනි නැහැ... " කියල මෙතන  නම සඳහන් කරන්න බැරි මගේ මිතුරෙක් ලියල එවල තියෙනව. මේ මිත්‍රයාගේ අදහසම ලිපි පෙළ කියවන තවත් අයටත් ඇති.

මම බෞද්ධයෙක්. ඒ ගැන මට සතුටක් තිබෙනවා.එත් මගේ ආගම තමයි හොඳම එක ඒකට තමයි පළල්ම ලෝක දැක්ම තියෙන්නේ කියල අනික් ආගම පහලට දැමීමේ ස්වොත්තමවාදයක් මට නැහැ. මට මගේ සංස්කෘතියේ ප්‍රබලතා මෙන්ම දුබලතාත් හොඳට පේනවා. මේ ලිපි පෙලේ අරමුණ නූතන රාජ්‍යය පිලිබඳ යම්කිසි විමසුමක් කිරීම. මහාචාර්ය නලින් ගැන මට වෙනම ගෞරවයක් තිබෙනවා.මම ඔහුගෙන් විශ්ව විද්‍යාලෙදි නිල වශයෙන් ඉගෙනගෙන තිබෙනවා. නොනිල වශයෙන් දැනුත් ඉගෙන ගනිමින් ඉන්නවා. ඒ අරුතින් මම ඔහුගේ ගෝලයෙක්. එත් ඔහු මාව ඔහුගේ ගෝලයෙක් ලෙස සලකනවා කියල මම හිතන්නේ නැහැ. බොහෝ දෙනා වගේම මමත් ඔහුගෙන් මදි නොකියන්න බැනුම් අහපු කෙනෙක්. නලින් කියන්නේ පෙරදිග දැනුම ඇතුළු හැම දැනුමක්ම බොරුවක් බවයි. ඒ සියලුම බොරු අතරින් බටහිර දැනුම නමැති බොරුව "පට්ටපල් බොරුවක්" බවයි. නලින් කියන්නේ මොකක්ද කියල වටහා ගැනීමට තව කාලයක් ගතවෙයි. ඔහු විශාල වශයෙන් වරදවා වටහාගනු ලැබූ චින්තකයෙක්.කොහොමත් මට කිසිම බටහිර විරෝධයක් නැහැ. මම ජීවත් වෙන්නෙත් බටහිර. බටහිර නූතනවාදයේ හිනිපෙත්තටම නැගපු නගරයක. මේ ලිපිපෙලෙන් බටහිර නූතනවාදය ගැන විවේචනයක් ගෙන එන්නේ නූතනවාදය විසින්ම ගොඩනගපු 'ජාතික රාජ්‍යය' විවිධ අරාජකවාදයන්ගෙන් ආරක්ෂා කරගත යුතුය කියන පදනමේ ඉඳලයි. මේ ලිපි පෙළ දේශපාලන සාකච්චාවක් ලෙස පිලි ගන්න කියල මම ඉල්ලා සිටින්න කැමතියි.

දැන් අපි ත්‍රිත්ව (trinity) සංකල්පය දෙසට හැරෙමු. ලොකු මෙහෙම ප්‍රතිචාර දක්වල තිබෙනවා

"කරු,....බොහෝවිට තාර්කික කරුණු දැක්වීම් අතාර්කික වෙනවා මතුපිටින් පමණක් පෙනෙන දේ නාමිකව අර්ථකථනය කර තර්කයට අදාලව ගැලපීමට අපේ ඇති පෙළඹීම නිසා.ලෝක ඉතිහාසය හා සමාජ දර්ශන පිළිබඳ මගේ දැනුම අල්පයි. ඒත් ත්‍රිත්ව සංකල්පය ගෑවුණු හැම දෙයක්ම ආගම හා සබැඳීම ආගමේ සේයාවන් ලෙස දැකීම විශේෂයෙන් ක්‍රිස්තියානි ආගමේ සේයාවන් ලෙස දැකීම දුර්වල කමක් ලෙස මට පෙනෙන්නේ. මගේ හිතිවිල්ල නම් සියළු ආගම්, විශ්වයේ සත්‍යතාවන් තේරුම් ගැනීම සඳහාත් විග්‍රහ කිරීම සඳහාත් මිනිසා විසින්ම නිර්මාණය කරගත් සංකල්ප හා දර්ශන බවයි. අපි අපේ නිරීක්ෂණ හෝ ජන්මය මත ඔයින් එකක් හරිය හෝ අනෙක්වා වැරදිය වශයෙන් වර්ග කරනවා. මෙතැන දී ආගමික සංකල්ප තුලට ත්‍රිත්වය ඇතුළු වී ඇත්තේ එය ස්වාභාවික වූ බොහෝ දේ තේරුම් ගැනීමට උපකාරී වන සංකල්පයක් නිසා කියායි මම හිතන්නේ. උදාහරණයක් ලෙස ප්‍රෝටෝන. ඉලෙක්ට්‍රෝන. නියුට්‍රෝන වැනි විද්‍යාත්මක සංකල්ප තුල හමුවන ධන, ඍණ හා උදාසීන ත්‍රිත්වයෙත් සුලමුල ක්‍රිස්තියානි ආගම ද?එමෙන් ම හිට්ලර්ගේ Third Reich නාමීකරණය ජර්මානු ඉතිහාසය හා බැඳුණක් මිස ආගමික සංකල්පයක් නොවන බව මගේ ජර්මන් මිතුරෙක් කියනවා.මගේ අල්ප දැනුමට අනුව බටහිර"'

 සෑම ත්‍රිත්ව සංකල්පයකම ක්‍රිස්තියානි ත්‍රිත්ව සංකල්පය සහ සම්බන්ධ යයි මම කියන්නේ නැහැ. උදාහරණයක් ලෙස කාලය අතීතය- වර්තමානය -සහ- අනාගතය ලෙස වටහාගැනීම ක්‍රිස්තියානි ආගමික සංකල්පයක් නොවේ.පරමාණුව ඉලෙක්ට්‍රොන - ප්‍රෝටෝන- නියුට්‍රෝන ලෙස වටහාගනීමත් ක්‍රිස්තියානි නොවෙයි. බුදු- පසේ බුදු- මහරහත් කියන ත්‍රිත්වය නම් කොහොමටත් ක්‍රිස්තියානි සංකල්ප නොවෙයි කියල මට හොඳටම විශ්වාසයි. මේ කියන්නේ ඒවා ගැන නොවේ. බටහිර නූතනවාදී දේශපාලන චින්තනයට බලපාපු නිශ්චිත ත්‍රිත්ව සංකල්පයක් ගැනයි. අප කතා කරන මෙම ක්‍රිස්තියානි ත්‍රිත්ව සංකල්පයත් බයිබලයේ තිබුන එකක් නොවේ. බයිබලය අර්ථ දක්වන්නට ගිය දොළොස්වන ශතවර්ෂයේ ජීවත් වූ ජෝකිම් නමැති චින්තකයා (Joachim of Fiore. 1135-1202)  ඉදිරිපත් කළ අදහසක්. ජෝකිම්ගේ මෙම අදහස මධ්‍යකාලීන යුරෝපීය දර්ශනයට විශාල බලපෑමක් කළා.
මෙය තවත් පැහැදිලි කර ගැනීම සඳහා තවත් ත්‍රිත්ව සංකල්ප කිහිපයක් විමසා බලමු.
ජෝකීම් මනුෂ්‍ය ඉතිහාසය ඒ විධියට දේව යුග තුනකට බෙදුව වගේ දහසය වන ශතවර්ෂයේ ප්‍රන්සයේ සිටි ජීන්බෝඩීන් (Jean Bodin, 1530-1596) නම් දේශපාලන චින්තකයා මනුෂ්‍ය ඉතිහාසය වෙනස් මාදිලියේ කොටස් තුනකට බෙදුවා.1.පෙරදිග මිනිසුන්ගේ ඉතිහාසය, 2.මධ්‍යධරනී මිනිසුන්ගේ ඉතිහාසය සහ 3. උතුරුදිග මිනිසුන්ගේ ඉතිහාසය වශයෙන්.

ෆ්රන්සිස් බේකන් (Fransis Bacon- 1620) ඉදිරිපත් කළා ඉතිහාසය වෙනස් වීමට බල පෑ සොයාගැනීම් පිලිබඳ ත්‍රිත්වයක්. 1.මුද්‍රණ තාක්ෂනය, 2.වෙඩි බෙහෙත්, සහ 3.චුම්භකත්වය යන මානව සොයාගැනීම් ත්‍රිත්වයේ බලපෑම නිසා පැරණි ලෝකයෙන් නූතන ලෝකයේ වෙන්වීම සටහන් වූ බවට ත්‍රිත්ව ප්‍රවාදයක් ඔහු ඉදිරිපත් කළා.

තෝමස් හොබ්ස් (Thomas Hobbs 1588-1679)  දැනුමට අදාළ ත්‍රිත්වයක් ඉදිරිපත් කළා. 1.භෞතික විද්‍යාව, 2. මනෝවිද්‍යාව 3. දේශපාලනය යන දැනුම් තුන අනෙක් දැනුම් වලට වඩා ඉහලින් තිබෙන බව ඔහු ප්‍රකාශ කළා.

ගියම්බැටිස්ටා විකෝ (Giambatista Vico, 1668-1774) නම් චින්තකයා මනුෂ්‍ය ඉතිහාසය 1. දෙවියන්ගේ යුගය 2. වීරයන්ගේ යුගය සහ 3. මිනිසුන්ගේ යුගය වශයෙන් ත්‍රිත්වයකට අනුව ඉදිරිපත් කළා.

ප්‍රංශයේ සිටි තවත් දේශපාලන චින්තකයකු වූ ඈන් රොබට් ජාක්ස් (Anne Robert Jaques 1727-1781)මනුෂ්‍ය ශිෂ්ටාචාරය 1.භූගෝලීය 2.ජීවමය සහ 3. මනෝමය වශයෙන් ත්‍රිත්ව සම්බන්ධයක් ප්‍රතිපලයකැයි පැහැදිලි කළා.
මාරි ජීන් නිකොලා (Marie Jean Nicola 1743-1794) ඉතිහාසයේ කැපී පෙනෙන අවස්තාවන් තුනක් තිබෙන බව ප්‍රකාශ කළා. 1. ජාතීන් අතර අසමානතා අවසන් වීමේ අවස්තාව, 2. එක ජාතියක් ඇතුලත පමණක් සමානතාව තහවුරු වීමේ අවස්තාව සහ 3. පූර්ණ සමානාත්මතාව සහිත පූර්ණ මනුෂ්‍යත්වය උදාවීමේ අවස්තාව වශයෙන්.

ඉංග්‍රීසි ජාතික චින්තකයකු වූ විලියම් ගොඩ්වින් ( William Godwin 1756-1836) ප්‍රකාශ කලේ ජීවිතයේ අර්ථය පරිපූර්ණ කිරීම වෙනුවෙන් 1. තාර්කික සබුද්ධිකත්වය, 2.අධ්‍යාපනය සහ 3. දේශපාලන යුක්තිය යන ත්‍රිත්වය බලපාන බවයි. තෝමස් කාලයිල්(Thomas Kalayil 1795-1881) නම් ඉතිහාස චින්තකයා පෙන්වාදුන්නේ නූතන ශිෂ්ටාචාරයේ නැගීමට 1. වෙඩිබෙහෙත් 2. මුද්‍රන තාක්ෂණය සහ 3.ප්‍රොතෙස්තන්ත ආගම බලපෑ බවය.

 19 වන ශතවර්ෂයේ ජීවත් වූ ජේම්ස් ෆ්රසර් (James Frazer) නම් මානව විද්යඥයා ඉදිරිපත් කල ත්‍රිත්වය වූයේ ඉතිහාසය 1. ඉන්ද්‍රජාලික 2. ආගමික සහ 3.විද්‍යා වශයෙන් යුග ත්‍රිත්වයක් ඔස්සේ පතිත වී ඇති බවය. ලෙවිස් මෝගන් (Lewis Morgan) ඉතිහාසය 1. මෘග. 2. මිලේච්ච 2. සහ ශිස්ටචාර වශයෙන් අවධි තුනකට බෙදා දැක්වූවා

දේශපාලන චින්තනයේ ත්‍රිත්ව කතාව තව ඉදිරියට ගෙනයමු. අපි කතා කතාකරමින් ඉන්නේ බැරෑරුම් මාතෘකාවක්. මේ සියල්ල එයට වැදගත් වේවි.

 හැරී එල්මර් බාන්ස් ( Harry Elmer Barnes, Intelectual and and Cultural History of the Western World-1937)  කිව්වේ 1. සදාචාරවත් ඒකදේවවාදයේ නැගීම 2. යුරෝපීය පුනරුදයත් සමග මතුවූ පුද්ගලවාදය සහ 3. ඉතිහාසයේ අවසානය වශයෙන් මානව ඉතිහාසයේ තීරණාත්මක අවධි ත්‍රිත්වයක් දැකිය හැකි බවය.

ඇඩම්ස් ස්මිත්ගේ ( Adam Smith 1776) ත්‍රිත්වය වූයේ 1. බදු කුලිය 2. ශ්‍රමය සහ 3. ලාභයයි. මේ නිෂ්පාදන සාධක වලට හිමිවන ගෙවීම් අනුව 1. ඉඩම් හිමියා 2. වැටුප් ශ්‍රමිකයා සහ 3. ධනපතියා හඳුනාගත හැකි බව ඔහු ප්‍රකාශ කළා.

කාල් පොලානි  (Karl Polani, The Great Transformation-1994) ආර්ථික ඉතිහාසය අවදි තුනකින් දැක්වූවා 1.හුවමාරු යුගය 2. නැවත බෙදාහැරීමේ යුගය සහ 3. වෙළඳපොල යුගය වශයෙන්. ආර් ජී කොලින්වූඩ් නම් ඉතිහාසඥයා (R.G. Kollingwood, The Idea of History, 1996) ඉතිහාසය අවදි තුනකින් යුතු බව පෙන්වූවා 1. ඉතිහාසය විද්‍යාවක් ලෙස භාරගත් ග්‍රීක යුගය. 2. ඉතිහාසය දෙවියන්ගේ නිර්මාණයක් ලෙස භාරගත් ක්‍රිස්තියානි යුගය සහ 3. මේවා ප්‍රතික්ෂේප කරන නූතන යුගය වශයෙන්.

ඉසිය බර්ලින්  (Isiah Berlin ) පවසන්නේ ඉතිහාසයේ සන්ධිස්ථාන තුනක් පවතින බවය 1. ඇරිස්ටෝටල්ගේ මරණින්පසු යුගය 2. මකියවෙලිගේ යුගය 3. රොමෑන්තික  යුගය වශයන්.
 
චින්තකයන්ගේ නම් ගම් සහ පොත් ගොඩක් ඉදිරිපත් කිරීම ගැන සමාවන්න. සමහර වෙලාවට එහෙම කරන්න වෙනවා. මේ විවිධ ත්‍රිත්ව අදහස් බටහිර දේශපාලන චින්තනය හැඩ ගැස්වූ හැටි ගැන කදිම විස්තරයක් පීටර් වොට්සන්නැමති ඉතිහාසඥයා ඔහුගේ Ideas:A History of thought and invention from fire to Freud 2006) ඔහුගේ කෘතියේ ඉදිරිපත් කරනවා.

මේ හැම ත්‍රිත්වවාදයක්ම ක්රිස්තියානි ට්‍රිනිටියට සම්බන්ධ යැයි මම කියන්නේ නැහැ. එහෙත් ක්‍රිස්තියානි ත්‍රිත්වයේ අදහස පදනම් කරගෙන දේශපාලන ව්‍යාපාර ගොඩක් යුරෝපයේ ඇතිවුනා. නූතන යුගයේ දේශපාලන ක්‍රියාකාරිකයන්ගේ සිතුවිලි වලට ඒවා තදින් බලපෑවා. අපි එම ව්‍යාපාර සහ ඒවායේ දේශපාලන ප්‍රතිපල මොනවාද කියලා ඉදිරි ලිපියකින් කතා කරමු.

ඉදිරියට.........................




 

4 comments:

  1. ඇයි අපි ඔය හැම දෙයක්ම අධ්‍යයනය කරන්නේ. අපිට බැරිද අපේ දැක්මක්, දර්ශණයක් එක්ක ගමනක් යන්න. උදාහරණයක් හැටියට හරි හෝ වැරදි 78 ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව, මාටින් වික්‍රමසිංහගේ බව තරණය, සරත් ෆෝන්සේකා ගේ ඉදිරියට ගියොත් ජොනී පසුබැස්සොත් ෆොනී වගේ තියරියක්... නලීන් ද සිල්වාට අකමැති උනත්, එතනත් අළුත් යමක් තියෙනවා. ඒකයි පිරිසක් නලීන් අගයන්නේ හා පිරිසක් නලීන් හෙලාදකින්නේ. ජෙප්පො ගැන එහෙම දැක්මක් නෑනේ. රනිල් ගැන එහෙම දැක්මක් නෑනේ.... සමාවන්න මේ මගේ භාෂා විලාසයයි.. පොස්ටුවට නොගැලපේ නම් ඉවත් කලාට අවුලක් නෑ.

    ReplyDelete
  2. ත්‍රිත්වය කියනෙ බටහිරට වගේම පෙරදිගටත් ඉතාම වටිනා සංකල්පයක්. ආයූර්වේදෙන්ම පටන් ගමු. ත්‍රිදෝෂය, ඉනුත් කායික ත්‍රිදෝෂය හා මානසික ත්‍රිදෝෂය, එතකොට බුදු දහමේ එන තිසරණය, තව කොච්චර තියනව ද, මේ හැම දේකින්ම පෙනෙන්නෙ ලොකෙ සංකල්ප බිහි වුනු පොදු සාධකත් තිබෙනවා කියන එක නේද?
    නලින් සර්ගෙන් බැනුම් අහන එකනම් තවත් වෙනවා මට නම්. මුණ ගැහුනු හැම වෙලේම අහන්නෙ එකම ප්‍රශ්නෙ ඇයි ආයූර්වේදෙට ආවේ. බනින බව දැන දැන මම දෙන්නෙත් එකම උත්තරේ. අපි හමුවුනොත් චක්‍රය ඕකයි හැම හැමදාම. මමත් ගුරුවරයෙක් වගේ සලකනවා. සංකල්ප වලට එතරම් කැමතිත් නැහැ. හැබැයි යම් කැමැත්තකුත් තිබෙනවා.
    බටහිර තිබෙන "ත්‍රි"සංකල්පය වගේම පෙරදිගටත් යම් යම් දේ තිබ්බත් පෙරදිග තියෙන චක්‍ර සංකල්පය පිළිබඳ බටහිර උදාහරණ දෙන්න පුළුවන් ද ? මට නම් තාම එහෙම දෙයක් ලැබිලා නැහැ. අෂ්ටලෝක ධර්මය, සංසාර්ය, ෂඩ් චක්‍රය වගේ.

    ReplyDelete
  3. >> පෙරදිග තියෙන චක්‍ර සංකල්පය පිළිබඳ බටහිර උදාහරණ දෙන්න පුළුවන් ද
    Water Cycle
    Movement of Eectron

    ReplyDelete
  4. කරු,
    මේක කලින් දවසක කියවන්න ලැබුණත්, නිවී හැනහිල්ලේ හිතන්න ඉ‍ඩක් ලැබුණේ අද. ඔබේ සාධක ලැයිස්තුව කියවාගෙන යන අතරේ හිතට නැගුණේ මේ ත්‍රිත්වයන් ගොඩවල් දෙකකට වෙන් කරන්නට පුළුවන් නේද කියන එක.

    එක ගොඩක් මුල, මැද, අග වශයෙන් කරුණු කාරණා කාලානුරූපීව හෝ වැදගත් නොවැදගත් කම අනුව හෝ පෙළගැසීම්.

    අනෙක් ගොඩ ධන, ‍‍‍ඍණ, උදාසීන හෝ පෙම්වතා, දුෂ්ඨයා, විහිළුකාරයා ලෙස හෝ හැඳින්විය හැකි ගුණාංග ත්‍රිත්වය අනුව වර්ග කිරීම්.

    සමාජය හා දේශපාලනය ගාවා හිතුවාම ඔබ කියන්නට අර අඳින්නේ මේ ත්‍රෛයි ධාර්මික වර්ග කරණයට සර්ව ලෝක ධාතුවම අඩංගු කරන්නට යාමේ අවදානමය කියායි හිතට නැගුණේ. මේක අවදානමක් වෙන්නේ මේ කියන සංකල්ප තුල හිරවෙන පුද්ගලයාටයි. මේ හැම 'දැනුම'ක් ම සත්‍යයය යම් ආකාරයකින් නිරූපණය කරන යාන්ත්‍රණයක් මිස සත්‍යය නොවේයැයි අපට පිළිගන්නට පුළුවන් නම්... මේ සංකල්ප පෑන පැන්සල අන්වීක්ෂය දොස්තර නලාව වගේම උපකරණ මිස සත්‍යය නොවේයැයි අපට පිළිගන්නට පුළුවන් නම්...

    අඹගස් විතරක් නොවෙයි අන්නාසි ජම්බු කෙසෙල් ගස් වලත් හැදෙන ඵලවල රසගුණ දැනේවි නේද හිතුණා.

    ReplyDelete

Google+ Followers