Wednesday 29 March 2017

දොස්තර විරෝධයට සයිටම්

බොහෝ දෙනෙක් සාමාන්‍ය පෙළ ඉහලින් සමත් ඇත. වෙනදා මෙන්  නොව මෙදා ප්‍රතිපල සහතිකය සමාජ මාධ්‍ය වලද ප්‍රදර්ශනය කරන බව පෙනේ. මේ සමතුන්ගෙන් බොහෝ දෙනෙක් දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ අනාගතයේදී වෛද්‍යවරුන් වීමට තමන්   බලාපොරොත්තු වන බවය. තරුණ සිසුන්ට මේ පෙළඹවීම ලබාදෙන්නේ දෙමව්පියන්ය. විශ්ව විද්‍යාලයෙන් පිටවන විටම රැකියාව සහතික කෙරෙන්නේ වෛද්‍ය  උපාධිධාරියාගේ පමණි. එනිසා දෙමව්පියෝ එවැනි පෙළඹවීම් කරති.

හැමෝටම වෛද්‍යවරුන්  වීමට අවශ්‍ය වී ඇත්තේ වෛද්‍යවරයාට තිබෙන සමාජ බලය නිසාය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ සමාජ බලය අපයෝජනය කරන බව ප්‍රසිද්ධ කරුණකි. තමන්ගේ දරුවන්ට ජනප්‍රිය පසැල් නොදෙන්නේ නම් වැඩවර්ජනය කරනවා යයි රජයට තර්ජනය කිරීමට  තරම් එම සමාජ බලයෙන් මෑතකදී  ඔවුහු උද්දාම වූහ. අකිල කාරියවසම් නම්  එයට යට වූයේ  නැත. 

මේ GMOA වෛද්‍ය ත්‍රස්තවාදයට  විරුද්ධ වීමට බොහෝ දෙනාට අවශ්‍යය. සයිටමය ඒ සඳහා හොඳ විකල්පයක් ලෙස ඔවුහු දකිති. ඔවුන් ඒ සඳහා හොඳ විකල්පයක් ලෙස සයිටමයට  පක්ෂ වීම තෝරා ගෙන ඇත. දොස්තරලාට හොඳ පාඩමක් ඉගැන්වීමට සයිටමයෙන් හැකි බව ඔවුන්ගේ කල්පනාවයි.

අපේ අදහස නම් එයින් දොස්තරලාට කිසිම පාඩමක් ඉගැන්විය නොහැකි බවය. රජයේ වෛද්‍ය පීඨ වලට යා ගත නොහැකි තම දරුවන් සයිටමයට යැවීමට දෙමව්පියන් තීරණය කරන්නේ වෛද්‍යවරයාට   ලැබෙන සමාජ බලය නිසාය. සයිටම් සිසුන්ටද වෛද්‍ය උපාධිය ලබාදී ඔවුන් රජයේ වෛද්‍ය වරුන් බවට පත්කර ගැනීම මේ දෙමව්පියන්ගේ බලාපොරොත්තුවය. සමාජ බලය ලැබෙන්නේ එවිටය. ලංකාවේ රජයේ වෛද්‍ය වරයකු යනු පෞද්ගලික අංශයේද වෛද්‍ය වරයෙකි. මෙවැනි වරප්‍රසාදයක් වෙන කිසිම රැකියාවකට නිල වශයෙන් ලැබී නැත. සයිටම් වෛද්‍යවරුන්ද රජයේ වෛද්‍යවරුන් වී හැසිරෙනු ඇත්තේ දැන් සිටින වෛද්‍යවරුන් හැසිරෙන ආකාරයටමය.

එසේම සයිටමයේ දැනට ඉගෙන ගන්න සිසුන් බහුතරයක් රජයේ වෛද්‍ය වරුන්ගේ දරුවන්ය. ඔවුන්ගේ වෘත්තීය සමිතිය මොනවා කිව්වත් දරුවා ගැන සිතීමේදී මේ වෛද්‍යවරුන් හැසිරී තිබෙන්නේ සාමාන්‍ය දෙමව්පියන් පරිදිය. මේ අනුව වෛද්‍ය වරුන්ට විරුද්ධ වීමට සයිටමයට පක්ෂවීමෙන් අපේක්ෂිත ප්‍රතිපලය ලැබෙන්නේ නැති බව පැහැදිලිය. සයිටම් ප්‍රශ්නයට විකල්ප විසඳුමක් අවශ්‍ය වන්නේ යැයි අප කියන්නේ එබැවිනි .




Sunday 26 March 2017

කෝටි හතරේ වාහනේ

කෝටි හතරේ වාහනේ
රජයේ සමහර ඇමතිවරුන්ට සහ නියෝජ්‍ය ඇමතිවරුන්ට අලුතින් වාහන ගෙන්වීම ගැන කෙරෙන කතා බහට මගේ නම සම්බන්ධ වී  ඇත. "ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිවරයාට කෝටි හතරක වාහනයක්! ආදී  වශයෙන් පුවත් පළ වී තිබුන අතර සුපුරුදු පරිදි ඒ  පුවත පසු පස යන සමාජ මාධ්‍ය කරුවන් අපට පස් පඩංගුවේ බැණ වැදී  තිබුන අයුරු දුටුවෙමි. මාද සමාජ මාධ්‍ය කරුවෙකු බැවින් මේ කෝටි හතරේ වාහන කතාවට පැහැදිලි කිරීමක් මගේම බ්ලොගයෙන් ඉදිරිපත් කිරීමට සිතුවෙමි. 

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයාට නිල වාහනයක් ගෙන්වීම වෙනුවෙන් මිලියන  40ක හෙවත් ලක්ෂ 400ක  මුදලක් වෙන් කර එම වාහනය ගෙන්වීමට ලිපි ලේඛන ආරම්භ කෙරිණි. මා ලබා ගත්  තොරතුරු අනුව එම  වාහනයේ වටිනාකම ලක්ෂ 70කි. ඉතිරි ලක්ෂ 330ම  රජයෙන් රජයටම - රේගුවට- ගෙවිය යුතු බදු මුදලය. එම යෝජිත වාහනය තවමත්  අමාත්‍යංශයට ලැබී නැත. සැපයුම් කරුවන් කියන්නේ එය ලබා දිය හැක්කේ මෙම වසරේ ජූනි මාසයේදී බවය.

2015 වන තුරු ජනමාධ්‍ය අමාත්‍යංශයේ  සෑහෙන කාලයකට  නියෝජ්‍ය ඇමතිවරයකු සිටියේ නැත. ඒ අනුව මා පත්වීමෙන් පසුව  නියෝජය අමතිවරයකුට අදාළ වාහන සහ  අනෙකුත් අත්‍යවශ්‍ය පහසුකම් සපයා ගත්තේ හුවමාරු පදනමිනි. ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති වීමට පෙර මා  සිටියේ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය වරයා ලෙසය. එහිදී මගේ නිල වාහනය වූයේ මීට පෙර එහි නියෝජ්‍ය ඇමතිවරුන්ව සිටි සනත් ජයසූරිය සහ ඉන්දික බණ්ඩාරනායක  යන මහත්වරුන් පාවිච්චි කළ වී 8 මොඩලයේ ජීප් රථයයි . ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති ලෙස පත් වූ කල නව වාහනයක් ලබා දෙනතුරු එකී වාහනයම පාවිච්චි කරන ලෙස ජනාධිපති කාර්යාලය විසින් දන්වා සිටින ලදී. ඒ අනුව ජන මාධ්‍ය නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස මා මේ වනතුරුත්  භාවිතා කරන්නේ පළාත් පාලන අමාත්‍යාංශයෙන් හුවමාරු පදනම මත ගෙන ආ එම වාහනයමය. 

පසුගිය වසරේ ප්‍රියංකර ජයරත්න මහතා පළාත් පාලන නියෝජ්‍ය ඇමති ලෙස පත් ව ආ කල එම වාහන නැවත පළාත් පාලන අමාත්‍යංශයට ඉල්ලා සිටින ලදී. ඒ අතර ජනමාධ්‍ය අමාත්‍යංශයට අලුතින් වාහන ගෙන්වීමේ කටයුතු ඇරඹිණි. අමාත්‍යංශයේ නිලධාරියකු මට පැවසුවේ නියෝජ්‍ය අමාත්‍ය වරයා වෙනුවෙන් මිලියන් 40ක් පමණ වෙන්වී ඇති බවය. මාගේ ප්‍රතිචාරය වූයේ එතරම් මුදලක් වෙන් වී ඇති නම් ජනමාධ්‍ය අමාත්‍යංශයේ වාහන හිගයක්ද පවතින බැවින් වාහන කිහිපයක්ම ගෙන්වන ලෙසය. නිලධාරියා මට පැවසුවේ චක්‍ර ලේඛන අනුව ගෙන්විය හැක්කේ එක වාහනයක් පමණක් බවත් මුදල විශාල වී ඇත්තේ වෙන දා  කරන ක්‍රමයට වෙනස්ව මෙවර බදු මුදලද එකතුකර ප්‍රතිපාදන ලබාදී තිබෙන නිසා බවය. ඒ අනුව මාගේ ප්‍රතිචාරය වූයේ  එසේනම් දැනට මා පාවිච්චි කරන පළාත් පාලන අමාත්‍යාංශයෙන් ගෙන තිබෙන වාහනය වැනිම වාහනයක් ඇනවුම් කරන ලෙසය. ඒ අනුව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වරයා වෙනුවෙන් වී 8 රථයක් ඇනවුම් කර තිබේ. එය ලැබුන කල  මා කළ  යුත්තේ දැන් පාවිච්චි කරන වාහනය අදාළ අංශයට ලබා දී අලුත් වාහනය පාවිච්චියට ගැනීමය. 

 මේ නව වාහනය ගෙන්වන්නේ ජන මාධ්‍ය නියෝජ්‍ය ඇමතිවරයාට මිස පුද්ගලිකව මට නොවේ. එය අමාත්‍යංශයේ දේපළකි. මගෙන් පසුව එන නියෝජ්‍ය ඇමැතිවරුන්ටද මා  කළා මෙන්ම මෙම වාහනය තමන්ගේ  නිල රථය ලෙස යොදා ගත හැකිය .
පැරණි ක්‍රමය යටතේ රජයට වාහන ආනයනය කිරීමේදී බදු මුදල් සදහන් කිරීමක් සිදු නොවිණි . දැන් ක්‍රමය යටතේ සදහන් කෙරෙයි. ලක්ශ 70 කෝටි හතර  වන්නේ  ඒ අනුවය. එය පොල්ගෙඩි අකුරින් පල කිරීම විනා පසුබ්ම් විස්තර ගැන සොයන්නට මේවා පල කරන අය යොමුවන්නේ නැත.

අපට අවලාද නගන්නවුන්ට කිව යුත්තේ අපට රථ  ගායක්  හෝ අලුත් වාහන මේනියාවක් නැති බවය. මේවා අපට පැවරුණු වගකීම් ඉටු කිරීමට ඉවහල් වන උපකරණ පමණි අපගේ ජීවන පරමාර්ථ  වනාහී පරිභෝජනවාදයකට විනාශ කළ හැකි  සීමාවෙන් එපිට තිබෙන ඒවා බව ඔවුන්ට මතක් කළ යුතුය.

Monday 20 March 2017

ලලිත් ඇතුලත්මුදලි වෙනුවෙන් මහපොළ ශිෂ්‍යත්ව ලාභියෙකු ලියන වග නම් ..............

පාසල් සහ විශ්ව විද්‍යාලවල පොදු පහසුකම් දියුණු කිරීම සඳහා රජය විශාල වශයෙන් මුදල් ප්‍රතිපාදන වෙන්කර තිබේ. එම මුදල් යොදවමින් මේ වන විට රටපුරාම පාසල්වල සහ විශ්ව විද්‍යාල වල දැවැන්ත මට්ටමින් පොදු පහසුකම් වලට අදාළ ඉදි කිරීම් සිදුවෙමින් තිබේ. පාසැල් වල පමණක්  මෙවැනි ව්‍යාපෘතීන් 17500ක් ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. මෙවැනි  ව්‍යාපෘතීන් අතර ප්‍රමුඛ ව්‍යාපෘතියක් වන්නේ පේරාදෙණි  සරසවියේ නේවාසිකාගාර ව්‍යාපෘතියයි. අදියර තුනකින් යුක්තව සිසුන් 1200කට නේවාසිකාගාර පහසුකම් සැපයීමේ දැවැන්ත නේවාසිකාගාර පහසුකමක් පේරාදෙණි සරසවියට වෙන් කෙරිණි.

පේරාදෙණි  සරසවි බිමට යාබද මහකන්ද පෙදෙසේ එක් ඒකකයක කාමර 100ක් වන ලෙස නිවාස සංකීර්ණ තුනක් ඉදිකිරීම අදියර තුනක් අනුව සිදුවන අතර පළමු අදියර  වන විට අවසන් ඇත. එහි කාමර 100ක සිසුන් 400කට නවාතැන් ලබාදිය හැකි අතර 1940 දශකයේ දී  මෙම සරසවියේ ඉදිවුණු පැරණි නේවාසිකාගාර  වලටද වඩා නවීන පහසුකම් වලින්  යුක්ත වුවකි. දැන් තිබෙන්නේ මෙම දැවැන්ත සිසු නිවාසය සිසුන්ට ලබා දීමය. ඒ අනුව එහි පාලක සභාව ඒ වෙනුවෙන් කටයුතු කළ අතර එහි පවතින සම්ප්‍රදාය අනුව නේවාසිකාගාර නම්  කිරීමට තීරණය කර ඇත. එහි දැනට තිබෙන නේවාසිකාගාර  නම්  කර තිබෙන්නේ රටට විවිධ අන්දමින් මෙහෙවරක් කර තිබෙන ජාතික මට්ටමේ කීර්තියක් උසුලන ප්‍රකට පුද්ගලයන්ගේ  නමිනි. ජයතිලක ,විජේවර්ධන,රාමනාදන් ජේම්ස්  පීරිස් ආදී වශයෙනි. මෙම සම්ප්‍රදාය අනුව  යමින් සරසවි පාලක සභාව අලුතින්  ඉදිවුණු නෙවාසිකාගාරයටද  ඉදිකිරීමට නියමිත  ඉතිරි නේවාසිකාගාර දෙකටද  නම් යා්ජනා කර ඇත. ඉදිකළ නිවාසය ලලිත් ඇතුලත්මුදලි නමින්ද ඉතිරි දෙක පිළිවෙළින්  ඒ. රත්නායක  සහ ෂර්ලි අල්විස් නමින්ය. ලලිත් ඇතුලත්මුදලි හිටපු උසස් අධ්‍යාපන අමාත්‍යවරයකු මෙන්ම මහපොල උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහනේ නිර්මාතෘවරයාය. ඒ. රත්නායක නිදහස් අධ්‍යාපන පණත සම්මත කිරීමට පුරෝගාමී වූ දේශපාලන නායකයෙකි. ෂර්ලි  අල්විස් යනු පේරාදෙණි  සරසවියේ සමාරම්භක ගෘහ නිර්මාණ ශිල්පියාය. ඔහුගේ නමින් අල්විස් පොකුණ නමින් පොකුණක් සරසවි මාවතේ නිර්මාණය කර ඇත. පසුගිය දොළොස්වෙනිදා ලලිත් ඇතුලත්මුදලි නමින් නම් කරන ලද නේවාසිකාගාරය විවෘත කිරීමට නියමිත ව තිබුනද එය කළ  නොහැකි වූයේ ලලිත් ඇතුලත්මුදලි  නම සඳහන් නාම පුවරුව සිසුන් පිරිසක් කඩා බිඳ දමා මේ උත්සවය කඩා කප්පල් කර තිබීම හේතුවෙනි.

මේ නාෂකවාදී (vandalism) ක්‍රියාවේ වගකීම බැරවී ඇත්තේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සම්බන්ධ සිසුන්ටය. කෞශල්‍යා ප්‍රනාන්දුගේ නාට්යයක් පේරාදෙණි එළිමහන් රඟහලේදී රංග දැක්වීමේ සිදුවීමේදී ඇතිවුණු ගල් ගැසීමේ සිද්ධියට නම ඇඳුනේද  මේ  සිසුන්ගේමය. එහෙත් එහිදී  ශිෂ්‍ය සභාව  ඉදිරිපත් වී එම වැරැද්ද නිවැරදි කිරීමට කටයුතු කරමින් සිසුන් වෙත  එල්ල වූ අපවාදයෙන් නිදහස් වීමට කටයුතු කෙරිණි. එහෙත් ලලිත්ඇතුලත්මුදලි සිද්ධියේදී ශිෂ්‍ය සභාව  ප්‍රමුඛ පෙරටුගාමී  සම්බන්ධ සිසුන් නිහඩව සිටීමෙන් පෙනී යන්නේ මේ අකටයුත්ත ඔවුන් අනුමත කරනා බවද? ඔවුන්ට හිතවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් මේ කඩාකප්පල් ක්‍රියාව සාධාරණය කරනා අකාරය බලන විට පෙනී යන්නේ ඔවුන්ගේ අනුමැතිය සහිතව සිදුවී ඇති ක්‍රියාවක් බවය. සමහර විට අපගේ නිගමනය වැරදි වන්නට පුළුවන. කෙසේ වෙතත් කවුරුන් කළත්  එම දුෂ්ට ක්‍රියාව සාධාරණීකරණය කිරීමට යොදා ගන්නා  තර්ක දෙස බලන කල සමාජයක් ලෙස අපගේ හෘද ශාක්ෂියේ කඩා වැටීම කෙතරම් දැයි වටහා ගත හැකිය .

එම  සමාජ මාධ්‍ය  සටහන්  මෙවැනි දේ සඳහන් වෙයි. ලලිත් ඇතුලත්මුදලි ධනේශ්වර පන්තියේ දේශපාලකයෙකි. මහපොළ ශිෂ්‍යත්වය ලෙස ගෙවන්නේ ඔහුගේ අම්මා අප්පාගෙන් ලබාගත් මුදල් නොව ජනතාවගේ මුදල්ය. ඔහු අසූව වැඩ වර්ජනයේදී කම්කරුවන් කනත්තට දක්වන්නට කතා කළේය.. ඔහු දෙමළ ජනයා ඝාතනය කළ  යුද්ධයට නායකත්වය දුන්නේය ආදී වශයෙනි. තවත් කුණු මඩ කතාද වයිරල් වෙමින් තිබේ.

මියගිය තම ඥාතියා සහ හිතවතාගේ නමින් මෙම නිවාසය නම් කරන්නැයි ඇතුලත්මුදලි   පවුලේ හෝ ගුණසමරු පදනමේ කිසිවෙක්  පේරාදෙණි සරසවි පාලක සභාවෙන්  ඉල්ලා නැත. එය පාලක සභාව ස්වාධීනව  ගත් යහපත් තීන්දුවකි. එයට පදනම වී තිබෙන්නේ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්වයක් අරඹමින් ඔහු මෙරට අව වරප්‍රසාදිත පන්තියේ සිසුන් වෙනුවෙන් කළ  සේවය   ඇගයීමය . මේ බෝඩ්  ලෑල්ල  නොතිබුණා කියා ලලිත් ඇතුලත්මුදලි  කළ එම  මෙහෙවර ඉතිහාසයෙන් මකාදැමිය නොහැකිය. ලලිත්ගේ මහපොළ ශිෂ්‍යත්වය නොවන්නට ශිෂ්‍යාධාර ඉල්ලා හෝ ප්‍රමාණවත් නොවන බව පවසමින් තවත් ශිෂ්‍ය සටනක් මහා පාරේ ඉතිරිවන්නට ඉඩ තිබිණි.මේ ලියන මා ඇතුළු බොහෝ දෙනා මහපොළ ශිෂ්‍යත්වයේ උපකාරය ලබා උසස් අධ්‍යාපනය ලබා ගත්තවුන්ය.  ලලිත් ඇතුලත්මුදලි කළ  මෙම  සේවය ඇගයීමට ඔහුගේ දේශපාලන ජීවිතයේ අවශේෂ කරුණු බාධාවක් කරගත යුතු නොවේ.  ඩී බී ජයතිලක,  ජේම්ස්  පීරිස්, පොන්නම්බලම් රාමනාදන්, අරුනාචලම් ආදී පේරාදෙණි සිසු නිවාස ශාලා  ශාලා නම්කර තිබෙන අදාල  පුද්ගලයින් රටට කළ  සේවය ඇගයීමට ඔවුන් නිමග්න වූ දේශපාලනය හෝ ඔවුන්ගේ පන්ති පදනම බාධාවක් කරගත් යුතු නොවේ. ඇතුලත් මුදලි නමින් ශාලාවක් නම් කිරීම  පේරාදෙණියට ආලෝකයක්  මිස නිග්‍රහයක් නොවේ. එහෙත් මේ හෘද ශාක්ෂියේ හඬ  සිසුන්ට ඇහෙන්නේ නැත. ඔවුන් හුරු පුරුදු එක්තරා වාගමාලාවක් සහිත දේශපාලන භාෂාවක හඩක් පමණි    අපගේ මිතුරකු වන පිලිප් ශාන්ත එම හඩින් ඔවුන් අමතා ඇත.
ඔවුන් සවන් දෙන්නේදැයි බලමු 
"සමාජ සංවර්ධනයේ දී සියළු සමාජ පන්තීන්ට කාර්යභාරයක් පවතී. එම කාර්යභාරයේ පේටන්ට් අයිතිය නිර්ධන පන්තියට පමණක් හිමි වන්නේ නැත. ඉතිහාසය ගොඩනැගෙන්නේ අරගල වලින් බව ඇත්තක් වුවද ඒ අරගල නිර්ධන පන්තියේ අරගලයන්ට ලඝු නොවේ. ඒවා අතර ධනපති අරගල ද පවතී.

අධිරාජ්‍යවාදීන් ලංකාව අල්ලා ගත් පසුව රාජකාරී ක්‍රමය අහෝසි කිරීම ප්‍රගතිශීලී කාර්යයකි. එහෙත් ඒ පිටුපස ධනේශ්වර නොවන සමාජ කොටස් වල අරගලයක් නොතිබුණි. නිෂ්පාදන ක්‍රියාවලියේ දී එක් මොහොතක ආකෘතිය වෙනස් වූ අතර එය නියෝජනය කළේ ධනපති ක්‍රමයේ අවශ්‍යතාවයි. ඒ අනුව ධනේෂ්වර අවශ්‍යතා ද සමාජ සංවර්ධනයට බලපාන බව පැහැදිලි ය.
ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියළු ලැබීම් ලැබුනේ ශිෂ්‍ය අරගල වලින්ම පමණක් යන්න සමාජ සංවර්ධනය පිළිබද බොළද කියවීමකි. ශිෂ්‍ය ව්‍යාපාරය අතිශය විශාල කාර්යභාරයක් කළ බව ඇත්තකි. ඒ සම්බන්ධ තුලනාත්මක විග්‍රහයක් ද තිබිය යුතුය. එහෙත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියල්ල සිදුවූයේ ශිෂ්‍ය ව්‍යාපාරයේ මැදිහත්වීම මතින් යන්න අන්තිම බොළද කියවීමකි.
අනෙක ශිෂ්‍ය ව්‍යාපාරය යන්න නිර්ධන පන්ති ව්‍යාපාරයක් නොවේ. එය නිර්ධන පන්ති ව්‍යාපාරයට යම් මොහොතක මෙහෙයක් කළත් එලෙසින්ම ධනපති පන්ති ව්‍යාපාරයට ද යම් මෙහෙයක් කරයි. ඊට හේතුව වන්නේ ශිෂ්‍ය ව්‍යාපාරය පදනම් වන්නේ සුළු ධනේෂ්වරය මත වන බැවිනි. එනිසා ශිෂ්‍ය ව්‍යාපාරයේ මුළු බර නිර්ධන පන්තියේ ගිණුමට බැර කිරීම ළාමකකමකි.
ධනපතියන් ද තම ක්‍රමය පවත්වාගෙන යෑම සදහා ක්‍රමය යම් යම් ආකාරයකින් තුලනය කිරීමේ තාක්ෂණික පියවර ගනී. නිදහස් අධ්‍යාපනය හදුන්වාදීම, ස්වභාෂා පාසැල් රජයට පවරා ගැනීම, පාසැල් පොත් නොමිලයේ දීම, පාසැල් නිල ඇදුම් නොමිලයේ දීම හා මහපොල ශිෂ්‍යත්ව ක්‍රමය ඇති කිරීම එවැනි උපාය උපක්‍රමයන් ය. බොහෝ දෙනෙක් සිතා සිටින්නේ ධනපතියන් උඩ බලාගෙන ඉන්නා විට තමන්ගේ මැදිහත්වීමෙන් සියළු සමාජ සුභසාධනයන් සිදුවූ බවකි. එහෙත් ඇත්ත සිද්ධිය වන්නේ තම ක්‍රමය පවත්වාගෙන යෑම සදහා ධනපතියන් වඩා විද්‍යාත්මකව පර්යේෂණ කරමින් අලුත් ආඛ්‍යනයන්ට යොමුවන බව ය.
නිර්ධන පන්ති ව්‍යාපාරයක් කළ යුත්තේ ධනපති ක්‍රමයට මුළු එකක් ලෙස වෙනස් වූ දේශපාලන ආකෘතියක් වෙනුවෙන් වැඩ කිරීම ය. එහෙත් ලාංකික ඊනියා වම්මු කරන්නේ සංශෝධනවාදය වෙනුවෙන් පෙනී සිටිමින් ධනපති උපක්‍රමික දේ වලට ජාතකය ලියා ගැනීමට උත්සාහ කිරීම පමණි. අන්තිමේ සියළු ප්‍රතිසංස්කරණයන් කර ඇත්තේ ඊනියා වම්මූ නිසා නම් එනිසා ඔවුන් ලැජ්ජාවට පත්විය යුතුය. මන්ද වම්මු කළ යුත්තේ ධනේෂ්වර ක්‍රමයට විකල්ප සමාජ දේශපලාන ව්‍යාපාරයක් ගොඩනැගීම මිස ධනපති සංශෝධනයන් වෙනුවෙන් පෙනී සිටීම නොවන බැවිනි.''


Monday 13 March 2017

සයිටම් අර්බුදයට විකල්ප විසඳුමක්

සයිටම් අර්බුදයට විකල්ප විසඳුමක් 

අප යෝජනා කරන්නේ සයිටමය රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය ඇතුළත මුදල් ගෙවා අධ්‍යාපනය ලබාගත හැකි වෛද්‍ය පීඨයක් බවට පත් කිරීමෙන් වර්තමාන අර්බුදයට සධාරණ විසඳුමක් ඇති කර ගත හැකි බවය.

 ඒ සඳහා වඩාත් සුදුසු වන්නේ සයිටමය ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය බවට පත් කිරීමය. සිසුන් තෝරන්නේ අනෙක් හැම රජයේ වෛද්‍ය  පීඨයකටම කරන්නා සේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමය . දිස්ත්‍රික් පදනමෙන් වැඩිම ඉසඩ් අගය ලබා ගන්නා  සිසුන්ට ඔවුන්ගේ විභාග කුසලතාවන්ට කරන සැලකිල්ලක් වශයෙන් පූර්ණ නොමිලයේ අධ්‍යාපනය ලබාදෙන කොළඹ පේරාදෙණිය ආදී දැනටමත් තිබෙන වෛද්‍ය  පීඨ වලට ඇතුලත් විය හැකිය. දිස්ත්‍රික් පදනම නිසා වෛද්‍ය ශිෂ්‍ය වරම් නොලැබෙන නමුත් මූලික සුදුසුකම් තිබෙන මුදල් වියදම් කිරීමේ හැකියාව තිබෙන සිසුනට විවෘත විශ්ව විද්‍යාලයේ වෛද්‍ය  පීඨයට ඇතුල් විය හැකිය. ඒ වාගේම දිස්ත්‍රික් පදනම නිසා විශ්ව විද්‍යාල අවස්ථාව නොලැබෙන මූලික සුදුසුකම් ඇති එහෙත් මුදල් වියදම් කිරීමේ හැකියාව නැති සිසුන් සඳහා ශිෂ්‍ය ණය මුදලක් ලබාදිය හැකිය . එවිට ඔවුන්ටද විවෘත විශ්ව විද්‍යාලයේ වෛද්‍ය  පීඨයේ දොරටුව විවෘත වනු ඇත. ඔවුන් දොස්තර වරුන් වී මුදල් හම්බ කර මේ ණය  මුදල ගෙවිය යුතුය.  සයිටම් රෝහල රාජ්‍ය සහ පුද්ගලික හවුල්කාරීත්වය  ඇති අර්ධ රාජ්‍ය ආයතනයක් සහ ශික්ෂණ රෝහලක් බවට පත් කළ  යුතුය.විවෘත සරසවි වෛද්‍ය  පීඨය පවත්වාගෙන යා යුත්තේ පාඩුද නොලබන ලාභද නොලබන ආයතනයක්  ලෙසය.

අන්තර්කාලීන ක්රියාමාර්ගයක්ද අවශ්‍ය වේ. ඒ දැනට සයිටමයේ ලියා පදිංචි වී සිටින සුදුසුකම්  සහිත සිසුන් සම්බන්ධයෙනි . ඔවුන්ට වෛද්‍ය උපාධිය සහ වෛද්‍ය වෘත්තීය බල පත්‍රය ලබා දිය යුතුය. ඒ සඳහා ඔවුන් වෛද්‍ය සභාවේ ඊ ආර් පී එම්  විභාගයට පෙනී සිටිය යුතුය. ඔවුන්ගේ ප්‍රමිතිය පිලිබඳ තව දුරටත් ගැටළු තිබේ නම් ඔවුන්ගේ වෘත්තික සීමා වාසික කාලය දීර්ඝ කළ  හැකිය. 

මේ විකල්පය ක්‍රියාත්මක කිරීමෙන් අධ්‍යාපනයේ නිදහසත් නිදහස් අධ්‍යාපනයත් යන දෙකම සුරැකේ. වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතියද සුරැකේ. රටේ සල්ලි පිට රට යන්නේද නැත. සමාජයේ බොහෝදෙනාට වැළදී තිබෙන දොස්තර මේනියාවද තරමක් හෝ සුවකර ගත හැකිය .