Tuesday, 12 March 2013

පෙරදිගට අපරදිග මුණගැසීම (ඉතිහාසයෙන් ඔබට ගැලවීමක් නැත - 2 කොටස )

 
'යා දෙක නොරත රත - සමග පෑහීමක් නැත' කියන්නා සේ පෙරදිග සහ අපරදිග කිසිම සම්බන්ධයක් පැවතුනේ නැතිද? දහනව වන ශත වර්ෂයේ එංගලන්තයේ ජීවත් වූ රඩ්යාඩ් කිප්ලින් කවියා ඉහත කී අකාරයේ කව්යෝක්තියක් හැදුවේය.

"පෙරදිග පෙරදිගය - අපරදිග අපරදිගමය
මේ දෙදෙන කිසිදිනෙක- ඔවුනොවුන් හමු නොවෙතිය".

Oh, East is East and West is West, and never the twain shall meet,
Till Earth and Sky stand presently at God's great Judgment Seat;
But there is neither East nor West, Border, nor Breed, nor Birth,
When two strong men stand face to face, though they come from the ends of the earth!

මේ කවියේ මුල් පදයෙන් කිප්ලින් එසේ කීවාට වැඩ සිද්ද වුනේ ඒ අයුරින්ම නොවේ. පූර්ව නූතන රාජ්‍යය සමයෙහි පෙරදිගත් අපරදිගත් සිදු වූයේ සමාන සිදුවීම්ය.
පෙරදිග රාමායනය සහ මහා භාරතය යන වීර කාව්‍ය බිහිවන විට අපරදිග ඉලියඩ් සහ ඔඩිසි යන වීර කාව්‍ය බිහි විය. රාමායනයේ විස්තර වන්නේ රාම රාවන යුද්ධයයි. ඉලියඩ් හි විස්තර වන්නේ ට්‍රෝජන් යුද්ධයයි. රාමායණයෙහි එන යුද්ධයට හේතුව වන්නේ අන් සතු ස්ත්‍රියක් පැහැර ගෙන යෑමය. ඉලියඩ් හි යුද්ධයට හේතුවද එයමය. රාමාගේ බිරිඳ සුරූපී සීතාව රාවනා පැහැර ගෙන යයි. අගමෙම්නන් රජුගේ සොහොයුරාගේ බිරිඳ වන සුරූපී හෙලන් ව ප්‍රියාම් රජුගේ පුත් පැරිස් පැහැරගෙන යයි. රාමායනයෙහි යුධ වීරයා රාමය. ඉලියඩ් හි යුධ වීරයා අචිලීස්ය. දෙවි වරුද ද බටහිර පෙරදිග භේදයකින් තොරව යුද්ධයට සම්බන්ධ වූහ. ඔලිම්පස් ආදී කඳු මුදුන් වල සිට බටහිර දෙවිවරු ට්‍රෝජන් යුද්ධය මෙහෙය වූහ. රාම-රාවන යුද්ධයේදී පෙරදිග දෙවිවරු කෙලින්ම යුධ බිමට පැමිණියහ.

මේ පුරාවෘත්ත වලින් කියවෙන්නේ පෙර අපරදිග භේදයකින් තොරව පූර්ව නූතන යුගයෙහි මිනිසුන්ගේ ලෝක දැක්මෙහි තිබූ සමාන ස්වරූපයයි. භවුතිකව හමු නොවුනාට චින්තනමය වශයෙන් පූර්ව නූතන රාජ්‍යයේ වැසියාගේ දේශපාලන අදහස් වල සමානත්වයක් තිබිණි.

 පෙරදිග අප විස්මිත විශ්මිත ශිෂ්ටාචාර ගොඩ නගන සමයෙහි බටහිර ජාතීන් තනිකරම ගල්ගුහා වල පමණක් ජීවත් වූයේ නැත. ඔව්හුද එවැනිම ශිෂ්ටාචාර ගොඩ නැගූහ. එසේම පෙරදිග සමහර සමහර මිනිස් සමාජ දඩයම් කරමින් ගල් ගුහා වල වාසය කරද්දී අපරදිග සමහර සමාජ වල ජන කොටස්ද එසේම වූහ. මේ වනගත සමාජයන්හි නෂ්ටාවශේෂ අදත් පෙර අපර දෙදිගම දැක ගැනීමට ඉතිරි වී තිබේ. පෙරදිග ඉන්දියාවේ දියුණු ශිෂ්ටාචාරයක් ඇතිවන වකවානුවේ බටහිර ග්‍රීසියේද ඊට නොදෙවෙනි දියුණුවක් ඇති විය. පෙරදිග බුදුන් වහන්සේ, ජින මහාවීර, චානක්‍යය බිහිවන විට බටහිර සොක්‍රටීස්,ප්ලේටෝ ඇරිස්ටෝටල් බිහි වූහ.

ප්‍රජාතන්ත්‍රවාදය ඇරඹුණේ ග්‍රීසියේ ඇතන්ස් රාජ්‍යයෙන් පමණක් නොවේ. ලිච්චවින්ගේ ගණතන්ත්‍ර පාලනයද ප්‍රජාතන්ත්රයකි.අපේ රටේ තිබූ වරිග සභාවද ප්‍රජාතන්ත්රයකි. ප්‍රජාතන්ත්‍රය වනසමින් අධිරාජ්‍යය හැදුවේ බටහිර ඇලෙක්සැන්ඩර් විතරක් නොවේ. බුදුන් සරණ ගිය පෙර දිග අජාසත්තද ලිච්චවින් පරදවා මගධ අධිරාජ්‍යය පළල් කළේය.

පූර්ව නූතන රාජ්‍ය යුගය පිලිබඳ කව්යෝක්තිගත අගතීන් ගෙන් තොරව බලන කල පෙනෙන චිත්‍රය එවැන්නකි. භූ ගෝලීය වශයෙන් දුරස් වුවද පූර්ව නූතන රාජ්‍යය සම්බන්ධයෙන් පෙරදිගත් බටහිරත් ඇත්තේ සමානකම්ය.

අපරදිග සම්බන්ධයෙන් සමහර ජාතික වාදීන්ද පෙරදිග සම්බන්ධයෙන් සමහර නූතනවාදීන් ද තම දේශපාලන අගතීන් වැපිරීමට ඉතිහාසය කෙලි මඩලක් කර ගන්නා ආකාරය අපි දිනපතා අත් දකිමු. මේ අගතීන් ඔස්සේ යමින් අපට සිදු වන්නේ කුමක්ද යන්න වටහා ගත නොහැකිය.

මිනිසා නිර්මාණය කර ගන්නා අනෙක් සෑම සමාජ ආයතනයක් මෙන්ම රාජ්යද වෙනස් වන සමාජ ආයතනයකි. රාජ්‍යයේ ස්වභාවයද ඉතා හෙමින් නමුත් වෙනස් වෙයි. පූර්ව නූතන, ආසියාතික රාජ්‍යය වෙනස් වී නූතන රාජ්‍යය බිහි විය. අප මේ ජීවත් වෙන්නේ එම නූතනත්ව රාජ්‍යයද වෙනස් වීමකට අවතීර්ණ වී තිබෙන සමයකය. ඒ කුමන වෙනස් වීමක්ද යන්න ඉදිරියට සාකච්චා කරමු. ඒ සදහා ඉතිහාසයෙන් නූතන රාජ්‍යය දෙසට හැරෙමු.

5 comments:

  1. ඉන්දියාවේ තිබුණු සම්භාව්‍ය වෛද්‍ය ක්‍රමය වූ ආයුර්වේදය සහ පැරණි ග්‍රීක වෛද්‍ය විද්‍යාවෙත් මුලධර්ම ගත්තහම 'පුදුම හිතෙන තරමට' සමානකම් තියෙනවා. සමහර වෙලාවට මේවා අතර අන්තර් හුවමාරු සිදුවූ අවස්ථාත් තියෙන්න ඇති. භාරතයේ පහල වෙච්චි ග්‍රීක දර්ශනයන්ට සමානකම් පෙන්වන දර්ශනවාදයන්ට සංස්කෘතයෙන් කිව්වේ 'උලූක දර්ශන' කියලයි. උලුකයා කියන්නේ බකමුනට. ග්‍රීකයින් ගේ සංකේතය වුනෙත් බකමුනා. මේවා අහම්බයෙන් කරපු නම් කිරීම් වෙන්න බැහැ.

    ReplyDelete
  2. ඔව්... අපි බොහෝ දෙනෙක් ගිලිලා ඉන්න එක මිත්යාවක් තමයි “ ලෝකයෙන් උතුම්ම රට ” කියන සංකල්පය. එහෙම රටක් ලෝකේ කොහේවත් නැහැ. හැම රටකටම හැම ජාතියකටම ඒ ඒ සංස්කෘතීන්ට අදාළ සුවිශේෂී අංග තියෙනවා. මේවා එකිනෙක සසදන්න බැහැ. කළ යුතු වන්නේ ඒ ඒ සංස්කෘතීන්වලට අනුගතව ඒ සුවිශේෂීතාවන්ගේ විශිෂ්ටත්වය වටහා ගැනීමයි. කිසියම් ජාතියක් හෝ රටක් තමන් ලෝකයේ උතුම්ම රට කියලා හිතුවොත් වෙනත් ජාතියකින් හෝ සංස්කෘතියකින් කිසිවක් උකහා ගන්නට බැහැ. එහෙම ජාතියකට කවදාවත් නැගී සිටීමටත් බැහැ. කොහොම වුණත් මේ ලිපියෙන් අදහස් වන පරිදිම විශ්ව ගම්මානය කියන සංකල්පය අතීතයේ දීත් අද වගේම දක්නට ලැබුණා. ඒත් ඒ වෙනත් අර්ථ නිරූපනයක් තුළයි. ඔරායන් තාරකා මණ්ඩලයට අභිමුඛව අනුරපුර මහ දාගැබ් තුන තැනෙන්නේත් , ඊජිප්තුවේ මහා පිරමීඩ තුන නිර්මාණය වන්නේත් මෙවැනිම පසුබිමක් මත වෙන්නට පුලුවන් බවයි මගේ අදහස.

    ReplyDelete
  3. කොයි දේශයක විසුවත් මිනිසාගේ මූලික සිතුම් පැතුම් සමානයි. ඒ නිසාම ඉතිහාසය පුරා ඔවුන්ගේ විකාශනයේත් සමානකම් තියනවා. ආදරය කරුණාව, වගේම බලයට වස්තුවට ඇති කෑදරකමත් එකසේ ඔය ඕනෑම මහද්වීපයක ඉන්න මිනිස්සුන්ට පොදුයි. අනිත් හැමදාටම වඩා ලෝකයේ අනිත් මිනිස්සු ජීවත්වෙන ක්‍රමය එකිනෙකාට පෙනෙන මේ කාලයේ, තම තමන්ගේ ඉතිහාසය මතු කර, වර්තමාන දුර්වලකම් වහගන්න තැත් කිරීමෙන් සිද්ධවෙන්නේ තවත් එකතැන පල්වීමයි.

    ReplyDelete
  4. පෙරදිග අපරදිග වෙනස මෙන්න මෙහෙමත් විස්තර කරන්න පුලුවන්...

    අපරදිග ප්‍රශ්නය;

    සම්පත් සීමිතය - අසාවන් අසීමිතය - සීමීත සම්පත් වලින් අසීමිත ආසාවන් තෘප්ත කිරීම ලෝකයේ ප්‍රශ්ණයයි.
    මේ ප්‍රශ්නේ විසදන්න තමයි සුද්දා, විද්‍යාව, ආර්ථික විද්‍යාව,කලමණාකරනය ඇතුලු විෂයන් පමනක් නොව තමන්ලගේ ආගමත් හදලා තියෙන්නේ.....

    පෙරදිග ප්‍රශ්නය;

    සම්පත් සීමිතය - අසාවන් අසීමිතය - සම්පත් සීමිත නිසා අසාවන් සීමීත කර ගැනීම ලෝකයේ ප්‍රශ්නයයි. මේ ප්‍රශ්නේ විසදන්න තමයි බුද්ධාගම වගේ පෙරදිග ආගම් හදලා තියෙන්නේ.....

    හැබැයි අපේ ගොයියෝ නම් ඉන්නේ ඕය දෙකටම නැති තැනක අතරමං වෙලා :)

    ReplyDelete
    Replies
    1. ඉතා වැදගත් සැසඳීමක් !

      Delete