Wednesday 6 March 2013

ඔහොම යනකොට මටත් එහෙම වෙන්න හිතෙනවා

අපේ කට්ටිය කැම්පස් එකේ කැන්ටිමේ කොනේ මේසෙට තමයි එකතුවෙන්නේ. මේ කණ්ඩායමේ ඉන්නවා ජාතික චින්තන කාරයෙක්. එතකොට පශ්චාත් නූතන වාදියෙක්. තව.. මාක්ස්වාදියෝ දෙන්නෙක්. එයින් එක්කෙනෙක් ජාතීන්ගේ ස්වයන්තීරන අයිතිය එහෙම පිළිගන්න පොදු වාමාන්ශිකයෙක්. අනිත් එක්කෙනා ටිකක් ජවිපෙට හිතවත් වාමාන්ශිකයෙක්. තව එතන ඉන්නවා මේ මොනම මතවාදයකටවත් සම්බන්ධ නැති 'අලයෝ' කියල හඳුන්වන දෙතුන්දෙනෙකුත්.

මේ අය අතර වෙනස් මතවාද තිබුනත් කට්ටිය හොඳ යාළුවො. (දේශපාලන මතවාද නිසා කවදාවත් ගහගන්නේ නැහැ). ඔන්න කට්ටිය සින්දු කියනවා. අලය තමයි ගොඩක් සින්දු දන්නේ.අලය සින්දුවක් කියනවා දීපාල් සිල්වාගේ. මෙහෙම ...

ආනන්ද භවන් . න්. න් ..
ආනන්ද භවන් එකට ගිහින් තෝසේ  ගිලිනවා
එලියට ඇවිදින් යාපනේ දෙමළුන්ට බනිනවා ..
ආනන්ද .. අ .. අ.. අ.. .අ.. අ .. අ භවන්

අලයට එක පාරටම සින්දුව නවත්වන්න වුනේ ජාතික චින්තන කාරයගේ සද්දේ නිසා.

චින්තනයා -'' ඒයි ඔය සින්දුව නවත්තපන් ඕක දෙමල ජතිවාදෙට කත් අදින සින්දුවක් "

මේ කතාවට වාමන්ශිකයට අප්සට්.

වමා -"ඇයි සිංහල මිනිස්සු එහෙම නැහැ කියලද උඹ කියන්නේ?''
චින්තනයා -'' එකෙක් දෙන්නෙක් එහෙම ඇති. ඒක පොදු තත්වය නෙමෙයි. නමුත් මේ සින්දුවේ තියෙන්නේ සිංහලයට එරහි මතවාදයක් "

පශ්චාත් නූතනවාදියත් කට ඇරියා.

ප.නූ.වාදියා -' ඇයි සිංහලයට එරෙහි මතවාදයක් තියෙන්න බැරිද ?
චින්තනයා -''තියෙන්න පුළුවන් ක්‍රියාත්මක කරන්න දෙන්න බැහැ මේක සිංහලයන්ගේ රට"
වමා- ''මේ රට සිංහලයන්ගේ විතරද ? එතකොට දෙමල- මුස්ලිම් එවුන් අල්ලලා මුහුදට දාන්න කියලද උඹ කියන්නේ ?ඕක තමයි යකෝ ෆැසිස්ට් වාදේ කියන්නේ ?'
චින්තනයා - 'අපි එහෙම කියන්නේ නැහැ. නමුත් රටක් ගත්තහම අනන්‍යතාවක් තියෙනවා. මේ රටේ අනන්‍යතාවය සිංහල බවුද්ධ. ඒකට කවුරුත් ගරු කරන්න ඕනි "
වමා - "රටවල් වලට ඔහොම අනන්‍යතාවක් කියල එකක් නැහැ බන් "

චින්තනයා - '' මොකද නැත්තේ ? උඹලට ඉතින් යමක් පැහැදිලි කරලා දෙන්න පිට රටින්ම උදාහරණ දෙන්න ඕනි නේ. බලපන් එංගලන්තේ ඇමෙරිකාව කියන්නේ ඉංග්‍රීසි ක්‍රිස්තියානි රටවල්. එතකොට ප්‍රංශය කියන්නේ ප්‍රංස කතෝලික රටක්. ජර්මනිය ඇවිල්ල ජර්මන් ක්‍රිස්තියානි රටක්. ඉන්දියාව හින්දු රටක්.පාකිස්තානේ මුස්ලිම්. ඒවා තමයි ඒ රටවල අනන්‍යතාවය. ඒ රටවල් වල ඉන්නවනම් ඒ අනන්‍යතාවය පිලි අරගෙන ඉන්න ඕනි. ඒ වගේ තමයි ලංකාවත්. මේක සිංහල බවුද්ධ අනන්‍යතාවක් තියෙන රටක්.''
ප. නූ. වාදියා -'' ඔය කියන අනන්‍යතාවන් හැදුනේ කොහොමද කියල කියන්න පුලුවන්ද ?
චින්තනයා -' ඒක හැදෙන්නේ දවසකින් දෙකකින් නොවෙයි . ඉතිහාසේ අවුරුදු සිය දහස් ගණනක් ක්‍රියාවලියක් ඔස්සේ. මේ රටේ සිංහල බවුද්ධ වුනෙත් එහෙම ලොකු ඉතිහාසයක් ඔස්සේ.''
ප.නූ.වාදියා - '' මොන කෙහෙම්මල් ඉතිහාසයක් වත් ඔතන නැහැ. ඔය ජාතික අනන්‍යතාවන් කියන ඒවා හැදෙන්නේ ලෝකේ ධනේශ්වර ක්‍රමයේ නැගීමත් එක්ක. ලංකාවේ ඔය කියන ජාතික අනන්‍යතාව අපට තේරුම් ගන්න වෙන්නේ පශ්චාත් යටත් විජිත කතිකා සන්දර්භයක් තුලයි.
අලයා - '''මොන මගුලක් කියනවද කියල තේරෙන්නේ නැහැ බන්. සරල සිංහලෙන් කියපන්කො.''
වමා - ''ඒ කියන්නේ ලංකාවේ සිංහල කියන අනන්‍යතාව හැදෙන්නේ ඉතිහාසේ බොහෝ දුර ඉඳල නොවෙයි කියන එකයි. යටත් විජිත වාදෙන් පස්සේ තමයි ලංකාවේ ධනේශ්වර කරමය හැදෙන්නේ ධනේශ්වර ක්‍රමය සමග තමයි ජාතිය කියන එක හැදෙන්නේ'' .

ජවි පෙ සහෝදරයත් කතාවට එකතුවුනා
ජෙප්පා- '' ඔවු ජාතිය හැදෙන්නේ ධනේශ්වර ක්‍රමය එක්කයි ඊට කලින් ජාතිය බිහිවෙන්න විධියක් නැහැ. "
අලයා- ' එතකොට ඊට කලින් හිටියේ කවුද ?
ජෙප්පා - "ඊට කලින් වහල් සමාජයේ හිටියේ ගන ගෝත්‍ර , වැඩවසම් සමාජේ වෙනකොට ඒවා ජනවර්ග වුණා. විජේවීර සහෝදරයාගේ පොතේ ඕක හොඳට පැහැදිලි කරලා තියෙනවා. ලංකාවේ ජාතිය තවම හරියට හැදිලා නැහැ. තියෙන්නේ ජනවර්ග. එහෙම නැත්නම් ජාතිකත්වයන් ''
චින්තනයා - ''එතකොට සිංහල කියල ජාතියක් නැහැ?
වමා - 'ඔවු' සිංහලයෝ කියන්නේ ජනවර්ගයක් .
චින්තනයා - 'එතකොට මොකද උඹල දෙමල ජාතියේ ස්වයන් තීරණ අයිතිය පිළිගන්නේ?
වමා- ඒක දෙමල මිනිස්සුන්ගේ අයිතියක් නිසා. පීඩිත ජාතියේ ස්වය්න්තීරන අයිතියට අපි ගරු කරනවා .
චින්තනයා - 'ඒ කියන්නේ උඹලට සිංහලයෝ කියන්නේ ජාතියක් නොවෙය් නිකම්ම නිකන් ජනවර්ගයක් . හැබැයි අන්න ඒකට දෙමළ! ඒක නම් උඹලට නම් නියම ජාතියක් . දෙමලට ස්ව්‍යන්තීරණේ දෙන්න ඕනි. ඒකනේ උඹල කියන්නේ.? ඔන්න ඕක තමයි යකෝ නියම ෆැසිස්ට්වාදෙ''
ප. නූ. වාදියා - එතකොට උඹ කියන්නේ ලංකාවේ ඉන්න ජාතිය සිංහල කියලනේ එතකොට දෙමල, මුස්ලිම් ඒ අය කවුද ?
චින්තනයා - ' ඒ අය ජනවර්ග. ජාතීන් නොවෙයි .
වමා - "එතකොට සිංහල විතරයි ජාතිය ! දෙමල මුස්ලිම් ජාතීන් නොවයි. ඕක තමයි යකෝ ෆැසිස්ට් වාදේ කියන්නේ ?'
ජෙප්පා - '' අපි නම් ඔය ස්වයන්තීරන අයිතිය පිළිගන්නේ නැහැ '
ප නු.වා - ''ඇයි උඹලා මාක්ස්වාදියෝ නේද ?
ජෙප්ප- ''අපි මාක්ස්වාදියෝ තමයි. එත් අපි මේ සංකල්පය පිළිගන්නේ අවස්තානුකූලවයි. පන්ති දේශපාලනයට යටත් කරලා.''
වමා - ''ඕකට කියන්නේ මක්ස්වාදේ නෙමෙයි අවස්ථාවාදේ.''
ජෙප්පා - ''උඹ ඉන්නේ පොතේගුරුවාදේ''
ප. නු. වාදීයා - ''උඹලගේ ඔය මතවාදෙත් අන්තිමට සේවය කරන්නේ මහජාතියේ ෆැසිස්ට් වාදෙට''.
චින්තනය - ' මේ රටේ සිංහල මහා ජාතිය කවදාවත් ෆැසිස්ට්වාදී වෙලා නැහැ . ෆැසිස්ට්වාදෙට''  ගිහිං තියෙන්නේ දෙමල මුස්ලිම් අයගේ දේශපාලනෙයි. ඒ ෆැසිස්ට් වැඩේ සාධාරණය කරන උඹලගේ ඔය මතවාදේ සේවය කරන්නෙත් ෆැසිස්ට්වාදෙට''
අලයා - ''මොකක්ද බන් ෆැසිස්ස්ට් වාදෙ කියන්නේ ?
කිහිපදෙනෙක් - ''ෆැසිස්ට් වාදෙ කියන්නෙත් ජාතිවාදෙට''
අලය -''මල කෙලියයි! දැන් බලාගෙන යනකොට මම ඇරුනම මෙතන ඉන්න ඔක්කොම ජාතිවාදියෝනේ. ඔහොම යනකොට මටත් ජාතිවාදියෙක් වෙන්න හිතෙනවා.''


 

9 comments:

  1. නියම සංවාදය....
    කවුරුත් කියන්නෙ ඇත්ත....හැබැයි ඇත්ත සාපේක්ෂයි...

    ReplyDelete
  2. පරණයෝ මේ සෙට් එක මට හිතාගන්න පුළුවන්. ඒ දවස්වල මට මතකයි, අපිත් දන්න කට්ටිය නොවැ. මාර්තු 14 එකෙක් දෙන්නෙක් සෙට් වෙනවා. අපරාදේ ලංකාවේ හිටියනම් එදාට ඔබත් එතැන.

    ReplyDelete
  3. Tharaka Dewage7 March 2013 at 08:14

    නියම සංවාදේ. පරණය ඉතින් ඒ කලේ ඉඳලම ඔලුව අතගාල ටොකු අනින්න දස්සය

    ReplyDelete
  4. [[''මල කෙලියයි! දැන් බලාගෙන යනකොට මම ඇරුනම මෙතන ඉන්න ඔක්කොම ජාතිවාදියෝනේ"]]

    අදයි දන්නේ මටත් අලයෙක් වෙන්න පුළුවන් කියලා. බ ද වේ ශ්‍රී ලාංකිකත්වය ට සපෝට් කරලා සිංහල ජාතිවාදියා කියන ලේබලයේ සාඩම්බර හිමිකාරයෙක් වෙන්න පුළුවන් බවත් අමතක නොකරන්න. ඔය දෙගොල්ලටම අනුව තියෙන්නේ "සිංහල රටක්" "සිංහල ආණ්ඩුවක්' "සිංහල හමුදාවක්".

    ජෝක් පන්සීයයි.

    ReplyDelete
  5. ඔබ මේ සටහන් වල කොමෙන්ට් වලට පිලිතුරු දෙන්න අදහසක් නැද්ද?

    ලයනල් ලියනගමගේ මහත්තය පෙබරවාරි 26 ඔබ ලියූ සටහනට එක් කල කමෙන්ටුවට පිලිතුරක් බලාපොරොත්තු වෙනව - අඩු වශයෙන්

    නැත්නම් මට හිතෙන්නේ මේ කොලඹ කලා පීඨයේ හිටි පරණවිතාන මහත්තය නෙමේද කියලත්

    'රැකියාවෙන්' - 'පැණවෙන සීමා' මැඩහරිමින් සටහන් ලියනවා වාගේම තොරාගත් ප්‍රතිචාර වලටවත් උත්තරයක් දෙනවානම් හොඳයැයි හිතමි

    ReplyDelete
    Replies
    1. හිතවත් තිස්ස, ප්‍රතිචාරයට තුති. ලයනල් ලියනගමගේ අපගේ මිතුරෙක් . ඔහු කියන්නේ මම රත්නපුරයේ ජනතාව ඇත හැර දමා ගිය බවයි. මට කියන්න තිබෙන්නේ මට බාරදීල තිබෙන කටයුත්ත තව සුළු කලකින් අවසන් වුනාට පසු මම නැවතත් රත්නපුරයට එන බවයි.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  6. අදමයි මේ පැත්තේ ආවේ, +Sujeewa Kokawala සහෝදරයා ගේ පෝස්ටුවක් දැකීමෙන්. මේ කියන විදියේ අත්දැකීමක් මටත් තියෙනවා. අපේ හිටියේ ජෙප්පෙක්, චින්තනකාරයෙක් සහ හිපියෙක්. අඩව් කෝටියයි. අතීතය මතක් වුණා!!

    කොයි දේ කොහොම වෙතත් ජාතිකවාදය සහ (අන්තගාමී) ජාතිවාදය සාම්‍යයීකරණය කිරීම පිළිගන්න අමාරුයි.

    ReplyDelete
  7. මගේ අදහස නම් ඕනෑ වාදයක් කරපින්නා ගත්තාම අනිවා ඩෙෆා අවස්ථාවාදියෙක් වෙනවාය කියන එකයි.

    ReplyDelete