නූතනවාදයේ ආගමික පදනම ලිපි පෙළ..........
ලෝකයේ ඇතිවීම සහ නැතිවීම පිළිබඳ පැහැදිලි කරන ආගමික විශ්වවේදයන් හෙවත්
කොස්මොලොජීන් රේඛීය සහ චක්‍රීය වශයෙන් ප්‍රධාන
කොටස් දෙකකට බෙදිය හැකි බව පසු ගිය ලිපියෙන් පැහැදිලි කෙරිණි. කෙසේ වුවද එය ඉතා
සරල බෙදීමකි. ව්‍යතිරේඛයන් නැතිවා නොවේ. ඒවා ඉදිරියට පැහැදිලි කරමු.
මේ විශ්වවේදයන් අතරින් නූතනවාදයට විශාල
ලෙස බලපෑවේ ලෝකයට සහ විශ්වයට පැහැදිලි ආරම්භයක් සහ අවසානයක් ඇති බව කියවෙන රේඛීය
විශ්වවේදයයි.මෙම අදහසේ ආරම්භය බයිබලය නොවේ. කිතුනු ආගම් බිහිවීමට පෙර
සිටම මෙවැනි අදහස් විවිධ ආගමික ශාස්තෘවරු දේශනා කළහ.
බුද්ධ කාලයේ ජීවත් වූ මක්ඛලි ගෝසාල නම් ශාස්තෘවරයා එවැන්නෙකි.
පූර්ව ක්‍රිස්තියානි ආගමක් වූ ශාරතුස්ත්‍ර ආගමද එවැන්නකි.
මැදපෙරදිග ඇරඹි ඒකදේවවාදී ආගම්වලට අනුව ලෝකයට පැහැදිලි ආරම්භයක් සහ අවසානයක් ඇත.
දෙවියන් වහන්සේ විසින් ලෝකය මවන ලද අතර දෙවියන් වහන්සේම
එය අවසාන කරනු ඇත යන්න ප්‍රකට පිළිගැනීමකි.
ලෝකයේ
අවසානය පිලිබද දේශනා කරන මෙම ආගම් 'ඇපොකලිප්ටික' ආගම් (apocalyptic religion) වශයෙන් නම් කළ හැකිය.
ඇපොකලිප් යන්නෙහි තේරුම ලෝකයේ අවසානයි. එසේම බයිබලයේ අලුත් ගිවිසුමේ
අවසාන කෘතිය (revelation) ද මෙම නමින් හැඳින්වේ. එම කෘතියෙන් කියවෙන්නේද ලෝක අවසානය
පිලිබඳ ශාන්තුවර ජෝන් විසින් කරනු ලබන හෙළි දරව්වයි.ලෝකය
අවසානයේ සිදුවන්නේ නපුර පරදවා යහපත ජයගැනීම බව මෙම විශ්වවේද වලින් කියවේ.
නපුර පරදවා යහපත අවසානයේ ජයග්‍රහණය කිරීම පිලිබඳ අදහස
ක්‍රිස්තියානි ආගමට එකතු වූයේ ශාරතුස්ත්‍ර දර්ශනයෙන් බව අපොකලිප්ටික ආගම් පිලිබඳ අධ්‍යයනයක්
කළ ජෝන්
ග්‍රේ නම් චින්තකයා පවසයි. ( John Gray: Balck Mass, Apocalyptic Religion and the Death of Utopia) යහපත අවසානනයේ ජයග්‍රහණය කිරීම යන්න ඉතා සුන්දර පරිකල්පනයකි.මෙම ආගමික කල්පනාව සියවස් ගණනක් ඔස්සේ අර්ථකථනයන්ට ලක් වෙමින් බටහිර දේශපාලන චින්තනයේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත් විය.
ක්රිස්තියානියෙහි එන ත්‍රිත්ව සංකල්පය මෙහිදී සලකා බැලීම වැදගත්ය. ඒ අනුව ලෝකයේ
අවධීන් තුනකි.
1. පියාණන්ගේ යුගය
2. පුත්‍රයාණන්ගේ යුගය
3. ශුද්ධාත්මයාණන්ගේ යුගය
වශයෙනි.
පියාණන්ගේ යුගය යනු දෙවියන් වහන්සේ ලෝකය මැවූ යුගයයි. පුත්‍රයාණන්ගේ
යුගයේදී සිදුවන්නේ දෙවියන්ගේ පණිවිඩය ලෝකයේ ප්‍රචාරය වීමයි. (ජේසුස් වහන්සේගේ
පැමිණීම වැනි ) ශුද්ධාත්මයනගේ යුගයේදී සිදුවන්නේ නපුර පරදවා යහපත ජයග්‍රහණය කර
මිනිසා දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමයි. එතනින් ලෝකය අවසාන වේ.මානව වර්ගයාගේ
විමුක්තිය අවසාන වශයෙන් උදාවෙන්නේ මෙතනදීය.කිරිස්තියානිය යුරෝපයේ ව්‍යාප්ත වීමත්
සමගම මෙම යුග තුන පිලිබඳ අදහස දේශපාලන චින්තනයේ අංගයක් බවට පත්විය.
මධ්යතන යුගයේදී මෙම යුග තුන පිලිබඳ අදහස විවිධ අර්ථ කථනයන්ට ලක්විය. මිනිසාගේ
ඉතිහාසය වනාහී ප්‍රථමික ආරම්භයක සිට ක්‍රමයෙන් ප්‍රගතිය කරා දිවයන්නක් ලෙස ගැනීම
එයින් ව්‍යුත්පන්න වූ එක පිළිගැනීමකි."ක්‍රමයෙන් ප්‍රගතිය කරා පිය මැනීම" යන්න අපි
අද ප්‍රශ්න නොකරම පිළි ගනිමු. එහෙත් මෙම අදහසට ඇත්තේ ආගමික මූලයකි.මිනිසාගේ පරම
විමුක්තිය උදාවෙන්නේ දේව රජ්‍යය තුළය. එය ප්‍රගතිය පිලිබඳ මොඩලය බවට පත් විය.
ශාන්ත ඔගස්ටින් වැනි චින්තකයන් මෙම
දේව රාජ්‍යය හෙවත් ශුද්ධාත්මයාණන්ගේ යුගය අර්ථකථනය කළේ
භෞතික රාජ්‍යයක් ලෙස නොව මනුෂ්‍යයාගේ අධ්‍යාත්මයේ ඉහලම අවස්තාව වශයෙනි. එහෙත් බටහිර
දේශපාලන චින්තනය ශාන්ත ඕගස්ටින්ට වඩා වෙනස් අර්ථකතනයක් ඉල්ලා සිටියේය.
මනුෂ්‍යයාගේ අවසාන විමුක්තිය හෙවත් දේව රාජ්‍යය මෙලොවදීම අත්පත් කර ගැනීමේ මොඩලයන්
පිලිබඳ බටහිර චින්තකයෝ උත්සුක වන්නට වූහ.
බටහිර ඉතිහාස දැක්මට, දර්ශනයට සහ දේශපාලන
චින්තනයට මෙම ප්‍රගතිය පිලිබඳ අදහස, විමුක්තිය පිලිබඳ මොඩලය සහ ඉතිහාසයේ අවසානය
පිලිබඳ ආගමික අදහස ඇතුලත් විය.
වඩාත් සරදම්කාරී සංසිද්ධිය වූයේ ආගමික දේශපාලනය වෙන්විය යුතු යයි විශ්වාශ කළ
ලෞකිකවාදී දේශපාලන චින්තනයට මෙකී "ආගමික"
ත්‍රිත්ව යුග සංකල්පයෙන් ගැලවීමට නොහැකි වීමය. හේගල්ගේ ඉතිහාස
දැක්ම ත්‍රිත්වවාදීය. මනුෂ්‍ය ඉතිහාසය හේගල් දකින්නේ දයලෙක්තික යුග තුනක් වශයෙනි.
හේගල්ට අනුව නූතන ජාතික රාජ්‍යය සම්පූර්ණවීමෙන් පසු ඉතිහාසය අවසන්වේ.
එම ජාතික රාජ්‍යයේ මොඩලය ජර්මානු ප්‍රසියානු අධිරාජ්‍යයේ බිහිවීමයි. ඔලුවෙන් හිටගෙන
සිටි හේගල්ව දෙකකුලෙන් හිටෙව්වේ යයි කියන මාක්ස්වාදයද
මානව සමාජය සම්බන්ධයෙන් ඉදිරිපත් කලේ ත්‍රිත්ව යුග සංකල්පයකි.
1. ප්‍රථමික
පූර්ව කොමියුනිස්ට් යුගය
2. පන්ති සමාජ යුගය
3.පන්තිවිරහිත කොමියුනිස්ට් සමාජ යුගය වශයෙනි.
පන්ති විරහිත කොමියුනිස්ට් සමාජයෙන් ඉතිහාසය අවසානවේ. මන්ද ඉතිහාසය
යනු පන්ති ගැටුමේ කතාවය . පන්ති විරහිත සමාජයක් බිහි වූ විට
ඉතිහාසයක් අවශ්‍ය නොවේ. යුරෝපයේ නට්සිවාදයේ මූලරම්භාකයකු වූ ඕගස්ට් කොම් (Auguste Comte) මානව
ඉතිහාසය
1. ආගමික යුගය
2. සංක්‍රාන්ති යුගය යුගය සහ
3. විද්‍යාත්මක යුගය
වශයෙන්
කොටස් තුනකට බෙදා දක්වමින් අවසානයේ සාධනය කළ යුතු සහ ප්‍රගතියේ
මොඩලය පෙන්වනු ලැබුවේ විද්‍යාත්මක යුගය උදාවීමය. හිට්ලර් ලක්ෂ ගණන් මිනිසුන් මැරුවේ
ඕගස්ට් කොම් ඉදිරිපත් කළ මෙම විද්‍යාත්මක යුගය පිලිබඳ පරමාදර්ශය
මේ පොලොව මත නිර්මාණය කළ හැකි බව විශ්වාස කළ බැවිනි. ඔවුන් තම රජය නම් කළේ ද
තුන්වෙනි රාජ්‍යය හෙවත් තර්ඩ් රීච් (Third Reich) යන නමිනි. නාසිවාදය කොම් ගේ ඉතිහාස දැක්මට
ද මාක්ස්වාදය හේගල්ගේ දයලෙක්තික දැක්මට ද අනුව ලෝක අවසානය පිලිබඳ අදහස් ඉදිරිපත්
කරද්දී ලිබරල්වාදය එමානුවෙල් කාන්ට් ඉදිරිපත් කළ
අවසානයේ බිහිවන ලෝක සාමය පිලිබඳ මොඩලය ඔස්සේ දුවන්නට විය.
ධනේශ්වර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ ලෝකපරිමාන ජයග්‍රහනයත්
සමගම ඉතිහාසය අවසාන වනු ඇත වශයෙන් ෆ්‍රැන්සිස් ෆුකුයාම ඉදිරිපත් කළ
අදහස ලිබරල් වාදී අපොකලිප්ටිකයේ හෙවත්
ලෝකය අවසානය පිලිබඳ ලිබරල් කොස්මොලොජියේ කැපී පෙනෙන ඉදිරිපත් කිරීමකි.
නූතනවාදයේ ප්‍රධාන දේශපාලන ධාරා තුනම එනම් ජාතිකවාදය, ලිබරල්වාදය සහ කොමියුනිස්ට්
වාදය පසුගිය ශතවර්ශයේදී එකිනෙකා සමග යුද්ධ කළේ ඒවා මගින් පරමාදර්ශ ලෙස ඉදිරිපත්
කළ යුටෝපියාවන් හෙවත් මනෝ රාජ්‍යයන් මේ මිහිපිට ප්‍රයෝගිකව බිහි කර ගැනීමටය.
මෙසේ මොඩලයක් සාධනය කර ගැනීම සඳහා සමාජය දේශපාලනික වශයෙන් සංවිධානය කිරීම ආගමික
උරුමයක් සහිත අදහසක් වන ආකාරය අපි ඊ ලඟට උදාහරණ සහිතව විමසා බලමු.
Just letting you know that I read your articles and thoroughly enjoying the knowledge you are sharing. Often, I feel that I don't know enough of the subject to comment here. Yet, these are very thought provoking articles.
ReplyDeleteගමනේ අවසානය දන්නේ නැතනම් කොහෙන් ගියත් කැරකිලා එන්නේ හිටපු තැනටයි කියලා චක්‍රීයේන් දෙනවා...
ReplyDeleteඑහෙමත් නැත්නම් විසදුම මේකයි කියල ෆැන්ටසියක් හදලා රේඛීය එකෙන් දෙනවා...
හැබයි කවුරුත් දන්නෙ නෑ විසදුම...හැමෝම කියන්නේ කරලා බලමු කියලා....ශ්‍රේෂ්ඨ බුද්ධදර්ශනය පවා...
බහුදේවවාදය, ඒක දේවවාදයේ සිට නූතන් මහා පිපිරුම් න්‍යායේ විශ්වය ප්‍රසාරණ දක්වා ආගම, දේශපාලනය, විද්‍යාව පත අට එකට හින්දලා චක්‍රීය හරි රේඛීය නැමැති පැණි රසත් එක්ක කාසාය ටික ඇගට දා ගන්න එකයි තියෙන්නේ.....
මම ඉතා කැමති ප්‍රතිචාරයක්!
DeleteThis series of articles should be read by the (discredited) liberal intellectual NGO elite in Sri Lanka who believe that western states are secular and want our state (Sri Lanka) to be secular too without realizing that secularism (whatever that means) and secular ideologies can't escape the Chinthanaya from which they are generated. At the core of each Chinthanaya is a religion. Great perspective!
ReplyDelete
ReplyDeleteSuren Rāghavan I am not that happy with your writings ( of course you dont have to care as you have the freedom to write what you prefer)
You instead of writing on the danger of identity political religion of Sinhala Buddhism and its neo-militancy as witnessed in Lanka, are earger to write on kind new "christian cue' thesis guilty of promoting a western modernity. That does not fit into a honest intelctual enagement. I see the shadows of your guru Nalin De Silva.
This is like digging wells while the house is on fire: a selective double blindness.
Your writting falls between the translocal nationalism and postmodern critique both which reject the reality that is presented by the critical historical analyses.
but still you are a great friend with whom I engage.
best.
ඉහතින් දක්වා ඇත්තේ මගේ මිතුරෙකු වන සුරේන් රාඝවන් මෙම ලිපිය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති තදබල විවේචනයකි
ReplyDeleteකරු,
ReplyDeleteබොහෝවිට තාර්කික කරුණු දැක්වීම් අතාර්කික වෙනවා මතුපිටින් පමණක් පෙනෙන දේ නාමිකව අර්ථකථනය කර තර්කයට අදාලව ගැලපීමට අපේ ඇති පෙළඹීම නිසා.
ලෝක ඉතිහාසය හා සමාජ දර්ශන පිළිබඳ මගේ දැනුම අල්පයි. ඒත් ත්‍රිත්ව සංකල්පය ගෑවුණු හැම දෙයක්ම ආගම හා සබැඳීම ආගමේ සේයාවන් ලෙස දැකීම විශේෂයෙන් ක්‍රිස්තියානි ආගමේ සේයාවන් ලෙස දැකීම දුර්වල කමක් ලෙස මට පෙනෙන්නේ.
මගේ හිතිවිල්ල නම් සියළු ආගම්, විශ්වයේ සත්‍යතාවන් තේරුම් ගැනීම සඳහාත් විග්‍රහ කිරීම සඳහාත් මිනිසා විසින්ම නිර්මාණය කරගත් සංකල්ප හා දර්ශන බවයි. අපි අපේ නිරීක්ෂණ හෝ ජන්මය මත ඔයින් එකක් හරිය හෝ අනෙක්වා වැරදිය වශයෙන් වර්ග කරනවා. මෙතැන දී ආගමික සංකල්ප තුලට ත්‍රිත්වය ඇතුළු වී ඇත්තේ එය ස්වාභාවික වූ බොහෝ දේ තේරුම් ගැනීමට උපකාරී වන සංකල්පයක් නිසා කියායි මම හිතන්නේ. උදාහරණයක් ලෙස ප්‍රෝටෝන. ඉලෙක්ට්‍රෝන. නියුට්‍රෝන වැනි විද්‍යාත්මක සංකල්ප තුල හමුවන ධන, ඍණ හා උදාසීන ත්‍රිත්වයෙත් සුලමුල ක්‍රිස්තියානි ආගම ද?
එමෙන් ම හිට්ලර්ගේ Third Reich නාමීකරණය ජර්මානු ඉතිහාසය හා බැඳුණක් මිස ආගමික සංකල්පයක් නොවන බව මගේ ජර්මන් මිතුරෙක් කියනවා.
මගේ අල්ප දැනුමට අනුව බටහිර, විශේෂයෙන් කැනඩාව හා උතුරු ඇමරිකාව ආගම හා රජය වෙන්කර තැබීමයැයි අදහස් කරන්නේ රටේ නායකයින් දේශපාලකයින් ආගමක් ඇදහීමවත් ආගමික හැදියාව සංකල්ප අත්හැරීමවත් නොවෙයි. මා දකින විදිහට නම් එය රටේ පාලකයින් අදුර්ශමාන හා සර්වබලධාරීවූ බලවේගවල නිලලත් නියෝජිතයින් ලෙස පෙනී සිටිමින් අත්තනෝමතිකව රට පාලනය කිරීමේ ක්‍රමය අතහැරීමක්.
අදත් ඉතින් හිතුණ දේ හිතුණ ලෙසින්ම ලිව්වා.