Monday, 4 March 2013

රාජ්‍යයට මං ආසයි (දෙවන කොටස)

සමාජයේ අනිත් සෑම දේශපාලන ආයතනයක් මෙන්ම රාජ්‍යයේ ස්වභාවයත් වෙනස් වෙමින් තිබෙනවා. මේ වෙනස් වීම් ක්‍රියාවලිය ඇතුළෙම තමයි අපට හොඳ රාජ්‍යයක් හැදෙන්නේ කොහොමද කියන කාරණය කතා කරන්නට සිද්ධ වෙන්නේ. සාමාජික මනුෂ්‍යයාට තමන්ගේ මනුෂ්‍යත්වය උපරිම ලෙස පුබුදුවාගෙන ජීවත් වීම සඳහා ගැලපෙන්නේ මොන වගේ රාජ්‍යයක්ද ?ඉතිහාසයේ අප එතෙක් මෙතෙක් අත්පත් කර ගෙන තිබෙන දේශපාලන දැනුම සහ අත්දැකීම් ඇසුරින් අපට එවැන්නක් ගැන හිතන එක අමාරු නැහැ.
හොඳ රාජ්‍යයක් නිර්මාණය කර ගැනීමේදී අංග තුනක් අතර ස්ථාවර සමතුලනයක් ඇති කර ගත යුතුව තිබෙනවා. ඒවා

01. රාජයේ විධානය භූමි ප්‍රදේශය පුරා එක ලෙස ක්‍රියාත්මක වීම

02. නීතියේ පාලනය තහවුරු වීම

03. වගකීම් සහගත ආණ්ඩුකරණය

වශයෙන් දක්වන්න පුළුවන්.
 මේවායින් එකක් හෝ දුර්වල වෙලා අනිත් අංග හොඳින් ක්‍රියාත්මක වුනාට දියුණු රාජ්‍යයක් ඇතිවෙන්නේ නැහැ.
උදාහරණයක් හැටියට නීතියේ පාලනය සහ වගකීම් සහගත ආණ්ඩුකරණයේ අංගයක් ලෙස දැක්විය හැකි මැතිවරණ පැවැත්වීම අරගෙන බලමු. ඇෆ්ගනිස්තානය කියන රාජ්‍යය 2004 ඉඳල මැතිවරණ පවත්වාගෙන යනවා. එහෙත් රටේ නීතිය මුළු රාජ්‍යයේ භූමිය පුරාම ක්‍රියාත්මක කරන්නට එම රට අපොහොසත්වෙලා තිබෙනවා.මැතිවරණ වලින් පත්වෙන ආණ්ඩුවට අමතරව තවත් ආණ්ඩු ගණනාවක විධානය එම රටේ ජන ජීවිත මත ක්‍රියාත්මක වෙනවා.

රුසියාව කියන කියන රාජ්‍යයේ විධානය එහි අස්සක් මුල්ලක් නෑර ක්‍රියාත්මක වෙනවා. එහි මැතිවරණත් කලින් කලට පවත්වනවා. එහෙත් එහි පාලකයන් නීතියේ පාලනය කියන අංගය ගැන එතරම් තැකීමක් කරන්නේ නැහැ. එතැනත් අර මුලින් කියපු සමතුලනය බිඳෙනවා.

සිංගප්පුරුවේ රජයේ විධානය ඉහලයි. නීතියේ පාලනයත් ඉතා විශිෂ්ටයි. කාටවත් සිංගප්පුරුවේ පිස්සු කෙලින්න බැහැ. නමුත් වගකීම සහගත පාලනය දුරවලයි.

මේ දැක්වූයේ උදාහරණ කිහිපයක් පමණයි ඔබ කැමති ඕනෑම රාජ්‍යයක් ඉහත කී නිර්ණායක ඔස්සේ තක්සේරු කරලා බලන්න පුළුවන්.
රාජ්‍යය ගැන කතාකරද්දී සමහරු හිතන්නේ රාජ්‍යයේ විධානය ගැන පමණයි. බොහෝ මිලිටරි වාදීන් හිතන්නේ එහෙමයි. සමහරුන් රාජ්‍යයේ විධානය අමතක කරලා නීතියේ පාලනය ගැන විතරක් හිතනවා . තවත් සමහර අය රජ්‍යයේ ස්ථාවරත්වය මුළුමනින්ම අමතක කරලා වගකීම්සහග ආණ්ඩු කරණය ගැන පමණක් කතා කරනවා. මේ හැම දෙනාම දේශපාලන අන්තවාදීන්. යහපත් රාජ්‍යයක් හදා ගැනීමේදී මේ එක අන්තවාදයකටවත් යට වෙලා බැහැ. මේ අංග තුන අතර හොඳට පත්තියන් වෙන තුලනයක් ඇති කර ගැනීමයි කළ යුතු වන්නේ. මම ආස ඒවගේ රාජ්‍යයක ජීවත් වෙන්නයි.
 
සමාජයක් කියන්නේ එකතු වූ 'පුද්ගලයන්' මෙන්ම පුද්ගයන්ගේද 'එකතුවකි'. එක වගේ පෙනුනට මෙතන වෙනස් කමක් තිබෙනවා. එකතුව පුද්ගලයට එරෙහිව හෝ පුද්ගලයා එකතුවට එරෙහිව හෝ නොයා යුතුයි. මේ තත්වය රැකගැනීමට නම් සමාජයත් කිසියම් ක්‍රමයක් ඔස්සේ හැසිරවිය යුතුයි. රාජ්‍යය ඇතුළු ආයතන අපට අවශ්‍ය වන්නේ මේ හැසිරවීම ක්‍රියාත්මක කිරීමටයි.

1 comment:

  1. අපේ රටේ විධායක ජනාධිපති දූරය අහෝසිකර,පාර්ලිමේන්තුවට,අධිකරණයට සහ මහජනතාවට වගකියන අගමැති තනතුරක් ඇතිකර,ස්වාදීන කොමිෂන් සභා පිහිටුවීමෙන් ඔබ කැමති ආකාරයට ඉතා ආසන්න රාජ්‍යයක ජීවත් වීමේ හැකියාව ලැබෙනු ඇත.

    ReplyDelete