Tuesday, 7 June 2016

සිරිබෝ අය්යා මොනවට ගියාද වෙඩිල්ල පත්තු වුණ තැනට

''සිරිබෝ අය්යා මොනවට ගියාද වෙඩිල්ල පත්තු වුණ තැනට" ?

මේ සිනමා දෙබස් කණ්ඩය මට තවම මතකය. චිත්‍රපටය 'සිරිබෝ අය්යා'. තිරගතවු වසර 1980. අධ්‍යක්ෂණය සුනිල් ආරියරත්න. චිත්‍රපටයේ එම දෙබස කියන්නේ අවුරුදු දහයක දොළහක තරම් වයසේ කොලු ගැටයෙකි. එකල මමද එම වයසේම පසු වු කොලු ගැටයෙකු වුවෙමි. මහාචාර්ය සුනිල් ආරියරත්න මෑතකදී 'පත්තිනි' නමින් චිත්‍රපටයක් කළේය. එය තවමත් සිනමා ශාලාවල තිරගත වන අතර මමද ඊයේ පෙරේදා දවසක එය නැරඹුවෙමි. එහි එකම දෙබස් කණ්ඩයක් වත් මට මතක නැත.

පත්තිනි චිත්‍රපටයේ කතා තේමාව පතිවත රකිනා 'කන්නගී' නම් ස්ත්‍රිය වටා ගෙතී ඇත. කන්නගී තම පතිවතේ බලයෙන් සිය සැමියාට හිරිහැර කරන පඩිපුර රජු ඇතුලු රට ගිනි තබා විනාශ කරයි. අනතුරුව බුදු දහම කෙරෙහි පැහැදී බුදුබව පතනා බෝසත් වරියක්ද දේවතාවියක්ද වන්නීය. මේ චිත්‍රපටය සුචරිතවාදී කෝදුවෙන් යහමින් මැණිය හැකි පිළිම වලට පවා පණ  එන ගනයේ එකකි.

සිරිබෝ අය්යා චිත්‍රපටයේ සුචරිතය අහළ ගං හතකවත් නැත. ගීතා කුමාරසිංහ එහි රගපාන්නේ පතිවත බිදනා ස්ත්‍රියකගේ චරිතයයි. සිරිබෝ අය්යා නමැති කරත්ත කරුවා ගැහැණුන් දෙදෙනෙකුට පෙම් කරන අතර ගල් වෙඩිල්ල පිපිරීමෙන් දෑස් අන්ධ වූ ඔහුට අවසානයේ පිළිසරණ වන්නේ 'පත්තිනි අම්මා' කෙනෙකු නොව 'රෙද්දේ තුත්තිරි' තවරාගත් පතිවත බිදගත් ස්ත්‍රියයි.

මේ චිත්‍රපට දෙකෙන් ජිවිතයට වඩා සමීප වන්නේද ජීවන සහකම්පනයක් මතු කරන්නේද සිරිබෝ අය්යා මිස පත්තිනි ය නොවේ.

පත්තිනි කතාව දකුණු ඉන්දීය  ජනස්‍රැතිගත දේවකතාවකි. එය පසුව සිංහල ජනස්‍රැතිගත දේවකතාවලියටද එක්විය.එය මිථ්‍යාහරණය කොට අප ජීවිතයට සමීප පුවතක් බවට ජිවිතය පුබුදුවනා සිනමා කෘතියක් කිරීමට මහාචාර්ය සුනිල් ආරියරත්න සමත් වී නැත.

සිරිබෝ අය්යා කතා පුවත ප්‍රබන්ධයකි. අපේ රටේ ජන ජීවිතයේ හරස් කඩකි. එසමගම එය අපේ රටේ ජනස්‍රැතියේ ප්‍රමුඛාංගය වන සැප දුක රාගය අනුරාගය විරාගය ආදී සියලු හැගිම් කැටිකරනා ජන කවිය නමැති සලුවෙන් ඔතමින් පොදු ජනමනසට සමීප කළ සිනමා කෘතියකි.

චිත්‍රපටයේ නන්දා මාලිනී සහ අමරදේව ගැයූ එම ජන කවි මාලාව පසුබිම් කථකයකුගේ චරිතය ප‍‍ණපොවමින් සිතුවම් පටයේ කතාව ඉදිරියට ගෙන යයි.

https://www.youtube.com/watch?v=Dorh0ijFk2k

සිරිබෝ අය්යා මේ  දැනුත් අප ළග සිටින්නාසේය. පත්තිනිය ජීවිතයෙන් දුරස්තර අභව්‍ය දේව කතාවකි.

(මෙය සිනමා විචාරයක් නොවේ. රසික සටහනක් පමණි)



Monday, 4 April 2016

ව්‍යවස්ථා මණ්ඩලය රැස්වීමට පෙර ලියන සටහන.....................

හැම රටකටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇත.
එහෙත් ව්‍යවස්ථානුකූල ආණ්ඩුක්‍රමයක් හැම රටකම නැත.
සිම්බාබ්වේ රටේ හොද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇත.
ව්‍යවස්ථානුකුල පාලනයක් නැත.
උදාහරණ නම් තවත් ඇත.
වයවස්ථාවට අනුව ඡන්දය පවත්වන හැම රටකම ඡන්දදායකයෝ සිටිති.
එහෙත් ඒ  හැම ඡන්දදායකයෙක්ම  පුරවැසියෙකු වන්නේ නැත.
පුරවැසියා යනු නෛතික පුද්ගලයකි.
සමාජය තුළ පුරවැසියා සතු අයිතිවාසිකම් මෙන්ම සමාජය කෙරෙහි පුරවැසියා සතු යුතුකම්ද ආණ්ඩුක්‍රම නීතියේ සදහන් වෙයි.
නීතියේ සදහන් වූ පමණටම අයිතිවාසිකම් රැකෙන්නේ නැත.
යුතුකම් ඉටුවන්නේද නැත.
එසේ වීමට හැම පුරවැසියෙක්ම අයිතිවාසිකම් වලට සහ යුතුකම් වලට සංවේදී විය යුතුය.
හැම පුරවැසියෙක්ම අයිතිවාසිකම් වලට සහ යුතුකම් වලට සංවේදී වන්නේ නැත.
අයිතිවාසිකම් සහ යුතු කම් වලට අසංවේදී පුරවැසියෝ නිෂ්ක්‍රිය පුරවැසියෝය.
සංවේදි පුරවැසියෝ සක්‍රිය පුරවැසියෝය.
අයිතිවාසිකම් වලට පමණක් සංවේදි සක්‍රිය පුරවැසියෝ නරක පුරවැසියෝය.
හොද සක්‍රිය පුරවැසියෝ අයිතිවාසිකම් සහ යුතුකම් දෙකටම සංවේදී වන්නෝය.
හොද නරක අයත් වන්නේ දේශපාලනයට නොව අචාර ධර්ම වලට යැයි ප්‍රකට මතයක් තිබේ.
මේ මතය නරක මතයකි.
අචාර ධර්ම සහ දේශපාලනය වෙන් කරන්නට කතා කරන්නේ මැකියාවෙලි වැනි නරක දේශපාලන චින්තකයන්ය.
දේශපාලනයට ආචාර ධර්ම තිබිය යුතු බව කියන්නේ ඇරිස්ටෝටල් වැනි හොද දේශපාලන චින්තකයන්ය.
ව්‍යවස්ථා හදන සමහර අය මැකියාවෙලිගේ දරුවෝය.
සමහර අය ඇරිස්ටෝටල්ගේ දරුවෝය.
ඔබ මැකියාවෙලිගේ දරුවෙක්ද?
ඇරිසිටෝටල්ගේ දරුවෙක්ද?

Thursday, 24 March 2016

නෙළුම් යාය පිපී පිපී රේණු නටාවා!

නෙළුම් යාය බ්ලොග් සම්මාන උත්සවයට සියල්ල සූදානම්.
ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් කෙරෙන්නේ ශාලාව ලබාදීම වැනි පහසුකම් කිහිපයක් සැපයීම පමණය. සම්මාන විනිශ්චය සදහා රජයේ කිසිම සම්බන්ධයක් නැත.
මෙවර සම්මාන උත්සවය නැර‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ඹීමට අපට නොහැකි වීම ගැන ඇත්තේ කනගාටුවකි.
මා ඇතුලු අමාත්‍යංශයේ වැඩි දෙනෙක් එදින සිටින්නේ යාපනයේ බැවිනි.
සම්මාන ලබා ගන්නා බ්ලොග් ලේඛකයන්ට අපගේ සුබ පැතුම්.
සම්මාන උළෙල සාර්ථක කරන්නට නන් අයුරින් දායක වන සියලු දෙනාටමත් අපගේ ස්තුතිය.

Friday, 11 March 2016

පුංචිරාළලාගේ අධ්‍යාපන දෘෂ්ටිය

එ්ඩ්ස් රෝග  'චෝදනාව' එල්ලවූ කුලියාපිටිය සම්බෝධි විදුහලේ සිසු දරුවාගේ ප්‍රශ්නය අපට හෘද සාක්ෂියේ ප්‍රශ්නයක් ඉතිරි කරමින් විසදී ඇත. බෞද්ධ නමක් ඇති සම්බෝධි විදූහලට අමතක වූ සමානාත්මතාවාදයේ බුදු වදන ක්‍රිස්තියානි ත්‍රිත්ව විදුහල අපට මතක් කර දී ඇත. ත්‍රිත්ව විදුහල ලබා දි ඇත්තේ බෞද්ධයාගේ හෘද සාක්ෂියේ පතුළටම ඇනෙන්නට වැදූණ පිළිතුරකි. එම දරුවාගේ අධ්‍යාපන අයිතියට එරෙහිව හෙන ගෙඩියක් සේ පාත් වූ දෙමව්පිය උද්ඝෝෂණය විසින්ම දරුවාගේ අධ්‍යාපන අයිතිය තහවුරු වීම සරදමකි. එහෙත් එබදු සරදම්කාරී පිළිතුරු වලින් නොව ව්‍යුහාත්මක වෙනස් කම් මගින් පමණක් විසදාගත යුතු අප අධ්‍යාපන පද්ධතියේ නිදන්ගතව පවතින ප්‍රශ්නයක් මේ දරුවාගේ සිද්ධිය මගින්ද යළි ඉස්මතු කර තිබේ. එනම් ප්‍රජාතන්ත්‍රවාදී රටක අධයාපන ක්‍රමයක් විසින් සුරැකිය යුතු සමානාත්මතා මූල ධර්මය අපේ අධ්‍යාපන පද්ධතිය විසින් උල්ලංඝනය කරමින් තිබෙන බවයි.


සමානාත්මතාව යනු සමාජ විමුක්ති අදහසකි. සමාජයක් අවමානුෂිකකරණයෙන් ගලවාගන්නේ සමානාත්මතාව උදෙසා වන සමාජික ක්‍රියාකාරකම් මගිනි. සමානාත්මතාවාදය අප ජීවන දෘෂ්ඨියක් ලෙස හුරු කර ගත යුතුය. ජිවන භාවිතාවක් ලෙස ප්‍රගුන කළ යුතුය. එය පහසු කටයුත්තක් නොවේ.  එහෙත් කිසියම් සාර්ථකත්වයකින් යුතුව හෝ සමානාත්මතාව අදහසක් ලෙස සහ ජීවන චර්යාවක් ලෙස පුරුදු පුහුණු කරගත හැක්කේ සමානාත්මතාව මුලධර්මයක් ලෙස පිළිගෙන ආරක්ෂා කරන්නා වු අධ්‍යාපන ක්‍රමයක පැවැත්මක මගිනි. කුලියාපිටිය සිද්ධිය පෙන්නුම් කරන්නේ මේ වැදගත් මුල ධර්මය අලුයම ලූ කෙල පිඩක් සේ බැහැර කරමින් අපේ මිණීවල අපම කපා ගන්නා මුග්ධ සමාජයක් වෙත ගමන් කිරීමට සූදානම් සමාජයක් අප දැනටමත් නිර්මාණය කරගෙන තිබෙන බවය.

මනුෂ්‍යත්වයට නිගාදුන් වැඩවසම් සමාජ පර්යායකින් අප මේ තරමට හෝ නිදහස් වුයේ අප රටේ  ඇති වු දේශපාලන විප්ලවයක් නිසා නොව යටත් විජිත උරුමයක්  ලෙසම අපට ලැබුන අධයාපන ක්‍රමය නිසාමය. යටත් විජිත අධ්‍යාපන ක්‍රමය විසින් ඉටුකරන ලද සමාජ  විමුක්ති කාර්ය භාරය අධයාපන විශේෂඥයන්ටත් වඩා හොදින් අපේ සමහර සාහිත්‍ය කරුවන් අතින් විග්‍රහ වී තිබේ. මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ලියු 'සෙංකොට්ටං' නවකතාව එයට උදාහරණයකි. පීඩිතයාගේ විමුක්තිය සැළසූ එකම මාවත වුයේ අධ්‍යාපනය බව පෙන්වන යටි කතාවක් මේ කෘතිය අස්සෙන් සොයාගත හැකිය. 

එහෙත් එබදු සමාජ විමුක්ති විභවයක් සහිත වූ අධ්‍යාපනය අප අද මේ වන විට යොදා ගන්නේ මුග්ධ ස්වාර්ථකාමයක් සාධනය කිරීම වෙනුවෙනි. මේ ස්වාර්ථකාමය අද පොදු ජන අධ්‍යාපන දෘෂ්ටිය බවට පත් වී ඇත. ඡන්ද දේශපාලනය මේ ස්වාර්ථකාමී පොදු ජන දෘෂ්ටිය ඉදිරියේ යටත් වී ඇත. පොදු ජනයා අධ්‍යාපනය භාර ගත්තේ සමාජ විමුක්ති අර්ථයකින් නොව  අතිශය පුද්ගලවාදී අර්ථයකින් බව  'පුංචිරාල' නව කතාව ලියූ කේ ජයතිලක බොහෝ කලකට පෙර පෙන්වා දුන්නේය.කුලියාපිටිය සිද්ධියෙන් පෙන්නුම් කරන්නේ පුංචිරාළලාගේ සමාජයෙන් ගැලවී අගලක්වත් අප ඉදිරියට ගොස් නැති බවය.


Thursday, 11 February 2016

කාන්තා නියෝජන පනත

පලාත් පාලන ආයතනවලට සියයට විසි පහක අනිවාර්ය කාන්තා නියෝජනයක් සහතික කරන්නාවූ වැදගත් පනතක් පසුගිය අගහරුවාදා
(පෙබරවාරි 09) පාර්ලිමේන්තුවේදී සම්මත විය. අවාසනාවකට විපක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් එදින පාර්ල්ිමේන්තුවේ කෑකෝ ගසමින් හූ කියමින් යකා නැටූ නිසා මෙම වැදගත් පනත ගැන සාරවත් විවාදයක් කිරීමේ අවස්ථාව මග හැරුණි. ඒ නිසාම  මෙම දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය ගැන නිසි ජනතා අවධානයක් ඇති වුයේද නැත.

 කෙසේ වෙතත් පලාත් පාලන ආයතන වලට කාන්තා නියෝජන කෝටාවක් ලබා දීම දැන් රටේ නීතියක් බවට පත් වී හමාරය. ඊ ළග පලාත් පාලන මැතිවර‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ණයේදී එය ක්‍රියාත්මක විය යුතුය.

මේ පනත වැදගත් වන්නේ ඇයි?

අප රටේ කාන්තාවන්ට දේශපාලන නායකත්වය ලබා ගැනීමට නම් ඔවුන්ට දිවංගත ස්වාමි පුරුෂයන් දිවංගත පියවරුන් සහෝදරවරුන් ආදීන් සිටිය යුතුය. ලෝකයේ පළමුවන අගමැතිවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මතිණියගේ පටන් එදා මෙදාතුර ලංකාවේ බිහිවු  කාන්තා නායිකාවන් සම්බන්ධයෙන් මේ තත්වය අදාළය. ව්‍යතිරේඛ එකක් දෙකක් තිබුනද සාමාන්‍ය තත්වය මෙයයි

 මේ පිරිමි නායකත්ව සෙවනැල්ල නොමැතිව තමාගේම දෙකකුලෙන්  සිට ගනිමින් දේශපාලන නායකත්ව තත්වයන් අත් පත් කර ගැනීමට කාන්තාවන්ට හරස්වන බාධක කිහිපයක්ම තිබේ. පළමුවැන්න අතිශය ප්‍රචණ්ඩ මුහුණුවරක් ගෙන තිබෙන ලංකාවේ මැතිවරණ සංස්කෘතියයි. මැතිවරණයක් යනු කාන්තාවන්ට තම ගෞරවය රැක ගනිමින් ලෙහෙසියෙන් ඉහ ගැහීමට හැකි කටයුත්තක් නොවේ. දෙවැන්න දැනට පවතින මැතිවරණ ක්‍රම පිරිමි හිතෛෂී මැතිවරණ ක්‍රම වීමය. මේ ක්‍රම අනුව තරග කරන කාන්තාවන්ට මහජන නියෝජිතයන් ලෙස පත්වීමේ ඉඩකඩ අඩුය. මේ නිසා කාන්තාවන්ට නාම යෝජනා ලබාදිම සම්බන්ධයෙන් ඇත්තේ අඩු උනන්දුවකි.

මෙවැනි පසුබිමක් යටතේ මහජන නියෝජිත ආයතන වලට කාන්තා සහභාගීත්වය සහතික කළ හැකි ක්‍රමය වන්නේ විශේෂ නියෝජන සිද්ධාන්තය අනුගමනය කරමින් කාන්තා කෝටා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමය. පසුගිය දා සම්මත වු පනත එවැනි ක්‍රමයක් යෝජනා කරයි. එ අනුව ඉදිරි මැතිවරණ වලදී සෑම පක්ෂයක්ම කණ්ඩායමක්ම පලාත් පාලන ආයතන සදහා තරග කරන අපේක්ෂක ලැයිස්තුවට අමතරව  තරග නොකරන කාන්තා ලැයිස්තුවක්ද ඉදිරිපත් කළ යුතුව තිබේ. ඒ ඒ පක්ෂ ලබා ගන්නා ඡන්ද ප්‍රමාණයට සමානුපාතිකව ඒ ඒ පක්ෂ වලට හිමි කාන්තා ලැයිස්තු මන්ත්‍රීවරියන් ගණන තීරණය කෙරෙනු ඇත.

ආරම්භයේදී මෙයින්  හොදම ප්‍රතිපලය බලා පොරොත්තු විය නොහැකි වුවද මෙය කාන්තා නියෝජනය සහතික කිරීමේ සහ පිරිමි නායකත්ව සෙවනැල්ලේ බලපෑමෙන් තොරව කාන්තා නායිකාවන් මතු කරගැනීමට ඉවහල් වන දැවැන්ත ඉදිරි පියවරකි.

Tuesday, 5 January 2016

පුරවැසි ව්‍යවස්ථා සම්පාදන අවකාශයක් ගොඩ නගමු

හදන්නට යෝජිත අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව පළමුවන වර්ගවාදී ආගම්වාදී ප්‍රහාරය පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන විසින් මුදා හැර තිබේ. මේ මහතා කියන්නේ බුද්ධාගමට රාජ්‍යය තුළ තිබෙන ප්‍රම්‍රඛස්ථානය සහ රාජ්‍යයයේ එකීයභාවය නැති කිරීම අලුත් ව්‍යවස්ථාවේ අරමුණ බවය. ආණ්ඩුවට එරෙහිව ජාතිවාදී ආගම්වාදී වෛරයක් සමාජය කෙරෙන් මතු කර ගැනීමට දිනේෂ් ගුණවර්ධන පන්නයේ අයට තිබෙන හදිස්සිය තේරුම් ගත හැකිය.මේ දිනවල මුස්ලිම් අයගේ නිවෙස් තාප්පවල 'සිංහලේ' යනුවෙන් යනුවෙන් ලියමින් යන ස්ප්‍රේ කරුවන් පිටුපස සිටින අයටද ඇත්තේද වර්ගවාදී ගැටුමකින් ලේ ගලා යනු දැකීමේ එවැනිම වු හදිස්සියකි. තවමත් කෙටුම්පත් කර නැති ව්‍යවස්ථාවක තිබෙන්නේ යැයි තමන්ගේ මනසින් මවා ගත් දේ අවිචාරවත්ව ඇද බාමින් ලාබ ගනයේ වර්ගවාද‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍යකට ගුණවර්ධන මහතා ඇද වැටිම ගැන අප පුදුම නොවන්නේ පසුගිය කාල යේ මෙරට වගා දිගා වු ව්‍යාජ දේශප්‍රේමීන්ට අඩුම තරමින් තමන්ගේ කල්ලිය කුලප්පු කරගැනීමටවත් සෑහෙන සටන් පාඨයක් නිර්මාණය කරගැනීමට නොහැකි බව හොද හැටි ඔප්පු කර ඇති බැවිණි. ගම්මන්පිළගේ 'කලු කොඩි දැමිල්ලට' බන්දුල ගු‍‍‍‍‍‍‍ණවර්ධනව වත් පොළඹවාගැනීමට නොහැකිවීම එසේ ඔප්පු වූ අවස්ථාවකි.

ජනවාරි නම වනදා සිදුවන්නේ අලුත් ආණ්ඩුක්‍රමව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමක් නොව අලුත් ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සදහා මුලු පාර්ලිමේන්තුවම කෙටුම්පත් කොමිටියක් ලෙස රැස්විය යුතු යැයි ආණ්ඩු පක්ෂයෙන්යෝජනා කිරීමකි. පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් චෝදනා කර තිබුනේ අඩුම තරමින් මේ වන විට ව්‍යස්ථාවේ අඩංගු විය යුතු කරුණු පිළිබද ආණ්ඩු පක්ෂයේ යෝජනා හෝ ප්‍රසිද්ධ කිරීමට  ආණ්ඩුව කටයුතු කර නැති බවය.කෙටුම්පත් කළ ව්‍යවස්ථාවක් තබා එවැනි කෙටුම්පතක් බිහිකිරීම සදහා රජය විසින් දිය යුතු යෝජනාවක් ඉදිරිපත් වී නැති අවස්ථාවක මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කියන කතාවේ විකාරය රසය විදිමින්ම ව්‍යවස්ථා සම්පාදනයේදී නුතන සමාජ විසින් අනුගමනය කළ යුතු අත්‍යවශ්‍ය ක්‍රියා මාර්ගයක් ගැන දෙස හැරී බලමු.

 අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සමාන්‍යයෙන් කෙරෙන්නේ ආණ්ඩුපක්ෂ විපක්ෂ ආදී කොට ඇති දේශපාලන ප්‍රභු තන්ත්‍ර වල සහ ජනවාර්ගික කණ්ඩායම් වල දෘෂ්ටිකෝණ මුල් කර ගනිමිනි. සැමදාම සිදු වුයේ එයයි. පුරවැසි පර්යාවලෝකනයකින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ දෙස බැලීම සහ එම මානය පෙර දැරි කරගත් ප්‍රතිසංස්කරණ ඇති කර ගැනීම තවමත් අපට නුහුරු කටයුත්තකි. පාර්ලිමේන්තු කමිටුව මගින් පමණක් ව්‍යවස්ථාව කෙටුම්පත් කෙරෙන විට සිදු වන්නේ දේශපාලන ප්‍රභුවාදයට සහ මේ ප්‍රභුන් බෙහෙවින් ලොල් වඩන ජනවාර්ගික ජාතිකවාදයන්හි පහල මට්ටමට ව්‍යවස්ථා සම්පාදනය ඌණනය වීමය. එවැනි ව්‍යවස්ථා කල් නොපැවතීමටත් ප්‍රතිගාමි ව්‍යවස්ථා බවට පත් වීමටත් බලපානා හේතුව එයයි. එහෙයින් පාර්ලිමේන්තු කමිටු ක්‍රියාවලියට සමාන්තරව එය  පුරවැසි පර්යාවලෝකනයකින් පෝ‍ෂණය කරන්නාවු පුරවැසි ව්‍යවස්ථාකරණ අවකාශයක් ගොඩ නැගීමක් ඔස්සේ මේ අභියෝගය ජය ගත හැකිය.  එය වෙනදාට වඩා අද තාක්ෂණික වශයෙන් පහසුය. සමහර විටෙකදී රටේ ප්‍රබලම මතය සමාජ මාධ්‍ය අවකාශයේ ගොඩ නැගෙන මතය වන අයුරු අපි දැක ඇත්තෙමු.  පුරවැසි ජනමාධ්‍ය කරුවන්ට අද කළ හැකි එක් කටයුත්තක් වන්නේ මේ පුරවැසි ව්‍යවස්ථා සම්පාදන අවකාශය ගොඩ නැගීමය.

Thursday, 31 December 2015

නව වසරේ අදහස් නිදහස් වේවා!

තාවකාලිකව නතර කර දමා තිබූ සතර දිගන්තය අද දින පටන් යළි ක්‍රියාත්මක වන බව හුදී ජන පහන් සංවේගය උදෙසා දැනුම් දීමට කැමැත්තෙමි. හුදී ජන කෙසේ වෙතත් මගේ පහන් සංවේගය උදෙසාවත් පසුගිය කාලයේ ලිවීමට නොහැකි විය. අන්තිමට ලියන විට මා සිටියේ ආණ්ඩුවේ නිලධාරියකු වශයෙනි. බ්ලොග් සටහන් වලට ලැබෙන විවිධ විෂම පාඨක ප්‍රතිචාර නිසා මා දරමින් සිටි විදේශ තානාපති සේවා තනතුරේ ගරුත්වය කෙලෙසෙන්නේ යැයිද ඒ නිසා ඔය රස්තියාදුකාරයන්ගේ මාධ්‍ය ක්‍රමය නවතා දමන්නැයිද එදවස මගෙන් ඉල්ලීමක්ද කෙරිණි. මේ බව ''නෙළුම් යාය'' බ්ලොග් සම්මාන උළෙලේදී ද ප්‍රකාශ කළෙමි.
 මා දැන් නිලධාරියකු නොවේ. ඒ නිසා නිලධාරී සිමාවන්ගෙන් ගැලවී දැන් ලිවිය හැකිය. මා දැන් දරණ මහජන මන්ත්‍රී තනතුර යනු නිරන්තරවම විවේචන නමැති ගල් මුල් එල්ලවන තනතුරකි. බ්ලොග් ලියන මන්ත්‍රී නොලියන මන්ත්‍රී යනුවෙන් එයට භේදයක් නැත. කොයි දේශපාලකයාටත් විවේචනයේ ගල් මුල් එල්ලවේ.
ගල් මුල් ගැන සදහන් කළ විට මගේ මතකයට එන්නේ හරියටම අදට වසරකට (2015 ජනවාරි 02) පෙර අපගේ ගම් ප්‍රදේශය වන පැල්මඩුල්ලේ ජනාධිපතිවරණ රැස්වීමට එල්ලවූ ගල් පහරය. එය එක ගල් පහරක් නොව ගල් වරුසාවකි. විපක්ෂයේ පොදු අපේක්ෂකයා  වූ වත්මන් ජනාධිපති තුමන් සමග මම ඒ රැස්වීමට සහභාගී වී ඔහුගේ කතාවට පෙර  රැස්වීම ඇමතුවෙමි. ගල් ගැසුවේ එතුමා සභාව අමතන විටය. ඒ ප්‍රචණ්ඩ මැතිවරණ සංස්කෘතිය එම ජනාධිපතිවරණයෙන්ම කෙළවර විය, ඊට පසු පැවති පාර්ලිමේන්තු මැතිවරණය අතිශය සාමකාමී දේශපාලන සංස්කෘතියක පසුබිමෙහි පැවැත්විණි. එම මැතිවරණයට රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරග කළ මට වැඩිම මනාප ලැබුනේද පැල්මඩුල්ලෙනි.

බොහෝ දෙනා කල්පනා කර‍න තරම් දේශපාලකයකුගේ ජීවිතය සුව පහසු සුන්දර වූවක් නො වේ. ඒ ගැන පසුව කතා කරමු. දේශපාලනයේ වගකීමක් ලෙසට තවත් දිනපතා ගල් මුල් එල්ලවන කලාපයක් වන ජනමාධ්‍ය අංශය අපට ලැබී තිබේ. නුතනවාදී ජන සන්නිවේදන මාධ්‍ය සහ පශ්චාත් නුතනවාදී සමාජ මාධ්‍ය යන අංශ දෙකම පොදු ජන යහපත උදෙසා කළමනාකරණය කරමින් මෙහෙය වීමේ බැණුම් අසන චෝදනා ලැබෙන වගකීම අප වෙත පැවරී ඇත.

 "දැන් ලංකාවෙන් තොරතුරු එන් නේ නැහැ. ලංකාව පිළිබද දැන් කිසිම විදේශ මාධ්‍යයක් වාර්තා කරන්නේ නැහැ  ඒ ඇයි?"යනුවෙන් පසුගිය සතියේදී නව දිල්ලි නුවර දී අපට මුණ ගැසුණ දකුණු ආසියානු විදේශවාර්තාකරුවන්ගේ සංගමයේ සමාජිකාවක් චෝදනා මුඛයෙන් අපගෙන් ඇසුවාය.
 "ලංකාවේ දැන් ගැටුම් නැහැ. යුද්දෙ ඉවරයි. මාධ්‍ය වලට ගැටුම් අවශ්‍යයි. ඒවා ඇරෙන්න අවශේෂ තොරතුරු මාධ්‍ය වලට එතරම් වැදගත් නැතිව ඇති" මගේ පිළිතුර එසේ විය. එතැන් පටන් අප අතර සාකච්ඡාව ජන මාධ්‍ය සහ ගැටුම් යන සංකීර්ණ තේමාව පැත්තට යොමු විය.

වැඩිපුර දේශපාලනයේත් ජනමාධ්‍යයේත් සිටින නිසා මෙතැන් පටන් සතර දිගන්තයෙහි වැඩිපුර එම විෂයයන් ගැන ලියැව‍ීම වැළැක්විය නොහැකිය.

සතර දිගන්තයට බොහෝ පාඨක පිරිසක් සිටියහ. ඒ පා‍ඨකයන්ටත් නොපා‍ඨකයන්ටත් සුබ නව වසරක් පතමි. අවුරුදු සුබ පැතුම් පතක්ද යවමින් සිටිමි. එය පහත සදහන් පරිදීය.
නව වසරේ අදහස් නිදහස් වේවා!

Tuesday, 4 November 2014

මගේ බූරුවා සහ ඔබේ බූරුවා

නො ලියා සිටියා නො වේ. ලියූ බොහෝ දේ පළ නො කළා පමණි. ලියන දේ එළියට දෙන්නට නලියන සිත අකමැත්තෙන් වුව පාලනය කරන්නට සිදු වී තිබෙන්නේ තව ම ඒවා එළියට දැමීමට සුදුසු කාලය පැමිණ නැති බැවිනි.

කෙසේ වෙතත් ඇයි නො ලියන්නේ? යනුවෙන් සතර දිගන්තයට එකතු වූ පාඨකයන් කෙනෙක් දෙන්නෙක් ඉදහිට අසති. එබදු එක් මොහොතක දී මට දැනුනේ අර සගවා සිටින දේවල් එළියට දමන තුරු මේ බ්ලොගය නො ලියා නො සිටිය යුතු බව ය.

"මොනවා හරි ලියපං" ලිවීම පුරුද්දක් කරගත් තවත්  මිතුරෙක් මට නිතර ම කිය යි.
එසේ කියන එක් මොහොතක මතක් වුනේ හපිස් (Hafiz) ගේ කවියකි.
හපීස් යනු  දොළොස් වන ශත වර්ෂයේ පර්සියාවේ සිටි කවියෙකි. සම්සුදීන් මොහොමඩ් යන නමින් ද හු හැදින්විණි. හපීස්ගේ කවි ඕමාර් ඛයියාම්ගේ රුබය්යාට් කවිවලට බෙහෙවින් ළග ය.

හපිස්ගේ කවි පොතක් මට තෑගි දුන්නේ හැම දිනක ම බ්ලොග් පිටුවක් ලියා එවන ලිවීම ජිවිතය කරගෙන සිටින මා මිතුරකු වන මාලින්ද සෙනෙවිරත්න ය. ඔහු එය තෑගි දෙන විට මෙවැනි සටහනක් ද පොතේ මුල පිටුවක ලියුවේ ය.

අරුමැති රහස් ඇති
මේ පොත
නුඹ හදවතට
තුරුලු කර ගනු

Hold this book
to your heart
for it contains
wonderful secrets

දැන් හපීස් ගේ කවියට එමු. කවියා මෙසේ අසයි.

නුඔ හද පොපියනු කැමතිව
කල් බලමින් සිටිනා
නෙක් වණින් දිදුලන සියොතුන් හා සතුන්
මා තුළ නලියද්දී
ඇයි  අයදින්නේ?
මා තුළ වෙසෙන බූරුවාට පමණක්
අමතන ලෙස
ඔබ තුළ වෙසෙන බූරුවාට

Why
Just ask donkey in me
To speak to the donkey in you
When I have so many other beautiful animals
And brilliant colored birds inside
That are all longing to say something wonderful
and exciting your heart

Thursday, 10 July 2014

කුකුළන් කෙටවීම හෙවත් කාලකන්නි කම සාමූහිකව බෙදා හදා ගැනීම

අප රටේ රූපවාහිනී නාලිකා වල රාත්‍රියට කෙරෙන දේශපාලන සංවාද විවාද වනාහී වත්මන් ප්‍රවණ්ඩ දේශපාලන සංස්කෘතියේම අත්‍යවශ්‍ය අංගයක් මිස පුරවැසියාගේ දේශපාලන විඤ්ඤාණය පොහොසත් කරමින් දියුණු විවාරශීලී පුරවැසියකු බිහිකිරීමට උදව් වෙන ඒවා නොවේ.

ජන මාධ්‍ය ජීවත් වන්නේ බඩ වියත සරි කර ගන්නේ ගැටුම් සමථකරණය කිරිමෙන් නොව ගැටුම් ප්‍රවර්ධනය කිරීමෙනි. ගැටුම් වැඩියෙන් පෙන්වන මාධ්‍යයයේ රේටින්ස් වැඩි වේ. එවිට එයට වැඩියෙන් දැන්වීම් ලැබී ආදායම තරවේ. ජන මාධ්‍යයට සමාජයේ තිබෙන ගැටුම රසකාරක දමා වාර්තා කළ හැකිය. ඊට අමතරව ජන මාධ්‍ය ආයතනයටද තමන්ගේම නිර්මාණ ලෙස ගැටුම් ඇති කළ හැකිය. නාලිකා වල කෙරෙන දේශපාලන සංවාද වනාහී ජන මාධ්‍ය විසින්ම ප්‍රවණ්ඩත්වය වගා දිගා කිරීම සදහා තනා ගත් මෙවලමකි. මේවා නිර්මාණය කරන්නන්, මෙහෙය වන්නන්, මේවාට සහභාගී වන්නන්, සහ රෑ නිදිවරමින් මේවා බලා සිටින්නන් අවසාන වශයෙන් බෙදා හදා ගන්නේ සාමුහික කාලකන්නිකමක් මිස දැණුමක් හෝ ප්‍රඥාවක් නොවේ.

මේ විවාද දෙස ජනයා බලා සිටින්නේ කුකුළන් කෙටවීම ගොන් පොර වැනි මිලේච්ඡ විනෝදය මිනිසාට ලබා දුන් සමහර පැරණි සුදු ක්‍රීඩා නරඹන මානසිකත්වයකිනි. මේවායේ ගැටුම සිදුවන්නේ වාචික ප්‍රවණ්ඩත්වය උපරිම ලෙස මතු කිරීමෙනි. වාචික සංවරය ශීලයක් ලෙස පිළිපැදිය යුතු යැයි වසර දහස් ගණනක තිස්සේ ආගමික උපදෙස් අසමින් සිටින සුභාෂිතය මංගල කාරණයක් සේ අදහන රටක මහජන සංවාද අවකාශය වාචික ප්‍රවණ්ඩත්වයෙන් දූෂණය වී තිබෙන ආකාරය තේරුම් ගන්නේ කෙසේද?

මේ ඊනියා සංවාද වැඩ සටහන් වලට සහභාගි වන දේශපාලකයන් හා වෙනත් මතධාරින් හොදින් දන්නා කරුණක් වන්නේ මේවායේදී කිසිදු වැදගත් යමක් කීම අත්‍යවශය නොවන බවය. අවශ්‍ය වන්නේ මේවා ඇතුළේ දිගටම මොන මොනවා හෝ කියමින් එක දිගටම පෙනී සිටීමය. කියන පණිවුඩය වැදගත් නැතත් මාධ්‍යයයේ එක දිමට පෙනී සිටිය හොත් ඕනෑම හරසුන් මිනිසෙකුට දේශපාලන සුපර්ස්ටාර් කෙනෙක් විය හැකිය. මේ සුපිරි තාරකා ඉල්ලා සිටින යුගයක් මිස සැබෑ මිනිසුන් ඉල්ලා සිටින යුගයක් නොවේ.

වචන වලට හිමිව තිබූ සම්මත අර්ථ පවා මේ වාවික ප්‍රවණ්ඩත්වය හමුවේ බිද වැටෙමින් තිබේ.

මබ තුමා තක්කඩියෙක්!

ඹබ තුමා පහත් මිනිහෙක්!

වැනි වචන අපට ඇසේ. ඔබ තුමා යන වචනය සැදී ඇත්තේ ඔබ+ උතුමා යන වචන දෙක සන්ධි වීමෙනි. පුද්ගලයකුට එකම මොහොතක උතුමෙකු සහ පහත් මිනිසෙකු හෝ තක්කඩියෙකු විය හැකිද යන්න මේ වචන දොඩවන අයට වැදගත් නැත. අවශ්‍ය වන්නේ මොනවා හෝ කිම පමණි. ප්‍රතිවාදියාට “ ඇට්ටි හැලෙන්න“ පහර දීම පමණි

වාචික ප්‍රචණ්ඩත්වය දැන් කායික ප්‍රවණ්ඩත්වය දක්වාම දිග හැරෙන බව දයාසිරි - හරින් සංවාදයේදී අපි දුටුවෙමු. මුලින්ම පහර දුන්නේ හෝ සපා කෑවේ දයාසිරිද හරින්ද යන්න එතරම් වැදගත් නැත. සංවාද මේසයේදීද ඔවුන් කළේ වචනවලින් හපා කා ගැනීමකි. චවනවලින් පහර දීමකි. මේ පහර දීම කෙළවැගිරෙන මුවින් දෙනෙත් හයා ගෙන කිසිදු හිරිකිතයකින් ලැජ්ජාවකින් තොරව බලා සිටි අපි අතින් පයින් පහර දීමේ සහ සපා කෑමේ ‘වැරැද්ද‘ ගැන පමණක් දැන් කතා කරමු. ඇත්ත වශයෙන්ම අප තේරුම් ගත යුත්තේ සාමුහික කාලකන්නි කමක් අප බෙදා හදා ගනිමින් සිටින බවය.

අස්මිමානයට හෙවත් ඊගෝවට මුල් තැන දෙන හොස්ස ළගින් මැස්ස යන්න බැරි අන්‍යොන්‍ය ගරුත්වය දියකරගත් සමාජයක් අප හැමදෙනා විසින්ම ඉමහත් වැර වෑයමින් ගොඩ නගමින් සිටින බව නොපෙනේද?

මේ ප්‍රචණ්ඩ සංවාද වලින් රටට ලබා දිය හැකි අලුත් පණිවිඩයක් නැත. රට වෙනස් කරන පණිවිඩයක් මෙවැනි සංවාද වලින් දිය හැකි වන්නේද නැත. ලෝකයේ ශිෂ්ට මිනිසුන් දැන් ගොන් පොර කුකුළන් කෙටවීම ආදී සූදු කෙළි නරඹන්නේ නැත. සංවිධානය කරන්නේද නැත. මවුහු ඒවා සත්ව හිංසාවේ ලක්ෂණ ලෙස බැහැර කරති.

දේශපාලනය යනු කීණ බලු රෑනක් මස්වැදැල්ලක් අරභයා කරන පොර කෑමක් නොව මිනිසාට තම සමාජික ජීවිතයේ අර්ථය සාදා දීමේ සාමුහික ක්‍රියාවක්ය යන පණිවුඩය ගෙන යා හැකි නව සංවාද භාෂාවක් නව දේශපාලන ව්‍යාකරණයක් අප රටට වුවමනා කර තිබේ.


























Thursday, 26 June 2014

භක්තිය සහ යුක්තිය

බටහිර රටවල් කිසිදු ආගමක් බිහි කර නැත. බුද්ධාගම, හින්දු ආගම, යුදෙව් ආගම, ක්‍රිස්තියානි ආගම, ඉස්ලාම් ආගම, සික් ආගම ආදී ලෝකයේ අද දක්නට ඇති හැම ප්‍රධාන ආගමක්ම බිහි වී ඇත්තේ පෙරදිගය.

පෙරදිග රටවල් කිසිදු දේශපාලන දාර්ශනික මතවාදයක් නිර්මාණය කර නැත. ප්‍රජාතන්ත්‍රවාදය (?), ලිබරල්වාදය, කොමියුනිස්ට්වාදය, සමාජවාදය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, පැසිස්ට්වාදය, ජාතිකවාදය යනාදී මේ හැම දේශපාලන මතවාදයක්ම  බිහි වී ඇත්තේ බටහිර රටවලය.

බටහිර රටවල් ආගම පෙරදිගින් ණයට ගෙන ඇත. පෙරදිග රටවල් දේශපාලන දර්ශනය බටහිරින් ණයට ගෙන ඇත.

පෙරදිගින් ණයට ගත් ආගම වෙනුවෙන් කුරුස යුද්ධ ඇති කරගත් බටහිර රටවල් දැන් ආගමික යුද්ධ වලට පැටලෙන්නේ නැත. එසේම තමන්ම හදාගත් ලිබරල්වාදය, කොමියුනිස්ට්වාදය සහ පැසිස්ට්වාදය වෙනුවෙන්ද පසුගිය සියවසේ ඇති තරම් මිනිසුන් මරා ගත් බටහිර රටවල් දේශපාලන මතවාද වෙනුවෙන් යුද්ධ කිරීමද අත හැර දමා ඇත.

එහෙත් පෙරදිග රටවල් තමන් හදා ගත් ආගම වෙනුවෙන්ද තමන් ණයට ගත් දේශපාලන මතවාද වෙනුවෙන්ද තවමත් මිනී මරා ගනිමින් සිටිති.

පෙරදිගට දැන් අවශ්‍ය වන්නේ මේ ආගමික යුධගින්න නිවාලිය හැකි ආගමකි. දේශපාලනයකි. මේ දේශපාලන යුධ ගින්න නිවාදැමිය හැකි දේශපාලනයකි. ආගමකි.


භක්තිය සහ යුක්තිය වෙනුවෙන් අලුත් අදහසක් පෙරදිගට අවශය වී තිබේ.

Google+ Followers