Monday 25 March 2013

බ්‍රහ්ම පදාර්තයට දේශපාලන පදාර්ථය මුසු වීම

නූතනවාදයේ ආගමික පදනම ලිපි පෙළ.... ඉදිරියට

මම දැඩි රාජ්‍යවාදියෙක්. ආයතනවාදියෙක්. හරියටම කියනවනම් ඇරිස්ටෝටල්ගේ ගෝලයෙක් වගෙයි. සියලු අරාජිකවාදයන්ට, අරාජිකවාදී චින්තනයන්ට එරෙහිව පෙනී සිටිනවා. ආයතන ගැන දැඩි විශ්වාසයක් තිබෙනවා. සිතට පහළවන ආයතන විරෝධී (anti - establishment) සිතිවිලි ගැන අවධියෙන් හිඳිමින් ඒවා පිටුදකිනවා. සමාජයේ සිදුවන අදේශපාලනීකරණය මට වහ කදුරු වගෙයි.

"මොකක්ද මේ දේශපාලනය ගැන ඔය තරම් තිබෙන පිස්සුව? දේශපාලනයෙන් මොකක්ද සමාජයට සිදුවෙලා තිබෙන යහපත. දේශපාලනය කියන්නේ අවසාන අර්ථයෙන් ගත්තහම ඉතා කැත රැවටිලිකාරී බල රටා ජාලයක් නොවේද?" ඔබට එහෙම අහන්න පුළුවන්. මමත් මගෙන්මත් වෙන අයගෙනුත් එහෙම අහල තිබෙනවා. ඔවු දේශපාලනය කියන්නේ සුන්දර අහිංසක දෙයක් නොවෙයි. මාවෝ කිව්වා වගේ තේ පැන් සංග්‍රහයක් හෝ විසිතුරු ගෙත්තමක් වගේ නොවෙයි.

දේශපාලනයේ පරමාදර්ශ කියල දෙයක් නැහැ. නමුත් අපි බොහෝ දෙනා හිතන්න පුරුදුවෙලා තිබෙනවා ඉතා නිවැරදි පරමාදර්ශී දේශපාලන ක්‍රමයකින් අපගේ සියලු ප්‍රශ්න විසදගන්න පුළුවන් කියා. ඒක බරපතල මිත්‍යාවක්. ඒවුනාට දේශපාලනයේ නියැලෙන වැඩිදෙනෙක් මේ මිත්‍යාවට කැමතියි. 'වඩා යහපත් සමාජයක්' නිවැරදි දේශපාලන ක්‍රමයක් ඔස්සේ කවදා හෝ නිර්මාණය කර ගත හැකි බව, එසේත් නැතිනම් සමාජ පරිනාමයේ ඉහල අවස්තාවකදී එවැනි යහපත් සමාජයක් නිර්මාණය වන බව විශ්වාස කරන්නට අප කැමතියි.

මහගමසේකර කවියා ඔහුගේ 'ප්‍රබුද්ධ' කාව්‍ය කෘතිය ආරම්භයේදීම මෙහෙම කියනවා.

එසේ වුව සොයුරනි
ඔබ ගැන මා ලියන ඒ කවිය
ඔබගෙන් බොහෝ දෙනෙකුට
අද දින නොවැටහෙන බව මම දනිමි

ලෝකය මීට වඩා යහපත් වන
අනාගතේ යම් දවසක
ඔබ එය මීට වඩා ආදරයෙන්
කියවන බව මම දනිමි .

සේකර එවැනි පරමාදර්ශයක් ගැන විශ්වාසය තැබුවා. අනාගතයේ යම් දවසක නිශ්චිතවම යහපත් ලෝකයක් ගොඩ නැගෙන බව විශ්වාස කිරීමට සේකරට බලපෑවේ සමාජවාදී චින්තනය කියල හිතන්න පුළුවන්.
 
දේශපාලනය යනු පරමාදර්ශ ගැන කතා කළාට පරමාදර්ශ හදන්න පුළුවන් ක්ෂේත්‍රයක් නොවෙයි. දේශපාලනයට මිනිසාගේ සියලුම ප්‍රශ්න වලට උත්තර හොයන්න බැහැ. දේශපාලනයට දෙන්න පුළුවන් උත්තර සර්ව සම්පූර්ණ උත්තරත් නොවෙයි. ඒවා 'පාර්ශවීය උත්තර'. (partial)  ඒ වගේම 'ආන්තික උත්තර'.(marginal). උදාහරණයක් හැටියට මිනිසාගේ ආත්මාර්ථය තෘෂ්ණාව වගේ ප්‍රශ්න වලට දේශපාලනයෙන් උත්තර හොයන්න අමාරුයි. හැබැයි ආගමේ ඒවාට උත්තර තිබෙනවා නිර්වාණය, දේව රාජ්‍යය, බ්‍රහ්ම පදාර්ථය වගේ දේවල්. ඒවා අයිති අධ්‍යාත්මික කලාපයට. නමුත් මේ අධ්‍යාත්මික කලාපයේ තිබෙන බ්‍රහ්ම පදාර්ථය දේශපාලන පදාර්ථය සමග අයිතිහාසික වශයෙන් මිශ්‍ර වෙලා තිබෙනවා. යහපත් සමාජයක් මේ මිහිපිට බිහිකර ගැනීම වෙනුවෙන් දේශපාලනිකව ක්‍රියා කරන්නට මිනිසා පොලඹවනු ලැබුවේ (විශේෂයෙන් නූතනවාදයේ ආරම්භයත් සමගම) මේ බ්‍රහ්ම පදාර්තයත් දේශපාලන පදාර්තයත් එකට එකතුවීම නිසයි.

 ඉතින් දේශපාලනයට එහෙම අධ්‍යාත්මික තත්වයක් එකතුවීම හොඳයි නේද? න්‍යායානුකූලව නම් ඉතා හොඳයි. නමුත් ප්‍රායෝගික තලයේදී ඉතා බරපතල ගැටළු මේ නිසා මතුවී තිබෙනවා. මේ ලිපි පෙලෙන් ඉදිරියට කතා කෙරෙන්නේ මේ පදාර්ථ මිශ්‍රණය නිසා ලෝකයට සිදු වූ සන්තෑසිය ගැනයි.

 නූතනවාදයෙන් සිදුවුනේ ආගමත් දේශපාලනයත් වෙන්වීම නොවේ. ඉතා ගැඹුරින් එක්වීමයි. නූතනවාදයේ ආගමික පරමාදර්ශ මේ මිහිපිට සාධනය කරගන්නට යාම නිසා ස්වර්ගයට කෙසේ වෙතත් මිනිසුන් මිලියන බිලියන ගණන් තේරුමක් නැතිව වලපල්ලට ගියා. යමින් සිටිනවා. වර්තමානයේ අධ්‍යාත්මිකව ජීවත් නොවී අධ්‍යායාත්මික අනාගතයක් හදන්නට මහා භයානක ආගමික පරීක්ෂණයක් දේශපාලනය විසින් කරමින් තිබෙන නිසා ඉදිරියටත් සිදුවන විනාශය සුළු පටු නැහැ.

මයියා මෙහෙම ප්‍රතිචාරයක් දක්වල තිබුන කලින් ලිපියකට.

"ගමනේ අවසානය දන්නේ නැතනම් කොහෙන් ගියත් කැරකිලා එන්නේ හිටපු තැනටයි කියලා චක්‍රීයේන් දෙනවා...
එහෙමත් නැත්නම් විසදුම මේකයි කියල ෆැන්ටසියක් හදලා රේඛීය එකෙන් දෙනවා...
හැබයි කවුරුත් දන්නෙ නෑ විසදුම...හැමෝම කියන්නේ කරලා බලමු කියලා....ශ්‍රේෂ්ඨ බුද්ධදර්ශනය පවා...
බහුදේවවාදය, ඒක දේවවාදයේ සිට නූතන් මහා පිපිරුම් න්‍යායේ විශ්වය ප්‍රසාරණ දක්වා ආගම, දේශපාලනය, විද්‍යාව පත අට එකට හින්දලා චක්‍රීය හරි රේඛීය නැමැති පැණි රසත් එක්ක කාසාය ටික ඇගට දා ගන්න එකයි තියෙන්නේ....."

එයට මෙහෙම් ප්‍රතිචාරයක් ඇවිත් තිබුනා 'දුගියා' ගෙන්

"...ඔබේ කියමනක් නොවුනත්, මේක නම් වැරදියි. බුද්ධාගම කියන්නේ නිශ්චිත මාර්ගයක් තියෙන එකක්. නමුත් හුඟ දෙනෙක් හිතන් ඉන්නවා ඇති කරලා බලමු කියලා. ඒක ඒ අයගේ අනවබෝධය...."

මට හිතෙන්නේ මයියා කියන කතාව හරි කියලයි. බුදුන් වහන්සේ දේශනා කරපු නිර්වාන මාර්ගය හරි කියල අපි දන්නේ කොහොමද? කවුරු හරි නිවන් ගිහින් තිබෙනවද? මෙතැනදී අපි කරන්නේ නිර්වානය ගන විශ්වාස කිරීමයි . ඒ විශ්වාසය බුදුන්වහන්සේ දුන්නේ 'කරලා බලන්න' කියල තමයි . ප්‍රමාද වෙන්න එපා. කල් තබන්න එපා. කියලයි කිව්වේ. හැබැයි අකමැතිනම් නිකන් ඉන්න පුළුවන්. එය නිශ්චිත මාර්ගයක් කියල අපි විශ්වාස කරන්නේ බෞද්ධයන් බුදුන්වහන්සේව විශ්වාස කරන නිසා. කවුරුවත් කියපු දෙයක් කියපු පලියටට විශ්වාශ කරන්න එපා කියල බුදුන් වහන්සේ 'කාලාම සූත්‍රයේ' කිව්වට එම සූත්රයෙදීම කියනවා 'විඤ්ඤුන්'කියනදේ විශ්වාස කරන්න කියල.( නලින් ද සිල්වා මේ ගැන විස්තරාත්මකව පැහැදිලි කර තිබෙනවා ) බෞධයන්ගේ ප්‍රධානම 'විඤ්ඤුන්' තමයි බුදුන්වහන්සේ. එම නිසයි නිර්වාණය ගැන බෞද්ධයන් විශ්වාස කරන්නේ.

ඉදිරියට......................

11 comments:

  1. කරුණාරත්න පරණවිතාන ගැන ජයවර්ධනපුර සරසවියේ සමහර මගේ මිතුරන්ගේ ශබ්ද කෝෂය තුල නිතර අසා තිබුණා ඔවුන්ට අනුව පරණේ ඒ කාලයේ එල කොල්ලෙක්. හැබැයි බ්ලොග් අවකාශය තුල ඔබව හමුවන විට මම හිතුවේ නෑ මේ තරම් මතවාදමය තලයේ විරුද්ධ අදහසක් දරන පුද්ගලයෙකු ලෙස අපේ හමුවීම් සිද්ධවෙයි කියා. ඒත් එහෙම වෙලා කමක් නෑ මම හිතන්නේ ඒක හොඳයි. දැන් අපිට සංවාද කරන්න පුළුවන්. ඔබ වැන්නන් බ්ලොග් අවකාශය තුලට ඇතුළුවීම අගයකොට සලකමි.
    මම ඉතා කුඩා ළමයෙකු කාලේ මට අපේ තාත්තා ඉංග්‍රීසි වචනයක් හඳුන්වල දුන්නා ඔහු ඒ දවස් වල කිව්වේ මේ වචනය ඉංග්‍රීසි භාෂාවේ දිගම තනි වචනය කියල ඒක Antidisestablishmentarianism
    මේක කියවනකොට මට මතක් වුනේ ඒක. ඔබ දැඩි රාජ්‍යවාදියෙක්. ආයතනවාදියෙක් කියල මම මිට කලින් දැනගෙන හිටියේ නෑ. රාජ්‍ය කුඩා සහ අවම කලයුතුයි කියන විරුද්ධ කඳවුරේ දේශපාලන මතයේ මම ඉන්නේ. ඉතින් ආයුබෝවන්. බලාගෙන ඉන්නව ඔබ ඔබේ රාජ්‍යවාදය වෙනුවෙන් කරුණු දැක්වීම පටන් ගන්නා තෙක්.

    ReplyDelete
  2. මෙව්වට කමෙන්ට් දාන්ට අපි පොඩි වැඩීයි.
    මතවාදය මොක උනත් කියවන්ට ඇහැක් විදිහට කියන එක ගැන සතුටුයි.

    ReplyDelete
  3. සමජයේ බොහෝ උගත් පිරිස් බ්ලිග් කියවනවා. ඒක මම අත්දැකීමෙන් දන්නවා. නමුත් ඔවුන් නිහඬයි. සිඳුවිය යුත්තෙ එය නොවෙයි. ඔවුනගේ හඳ අවදි කිරීමයි. මා මෙහිදි සම්ප්‍රදායම් තුලම ගමන් කරන්නන්ට වඩා විකල්ප අදහස් ඇති අයට ඉතා කැමතියි. එවන් වතාවරණයක, ඔබ වැනි කෙනෙක් තම නමින්ම පෙනි සිටීම ගැන ආඩම්බරයි. කරුණාකර මගදි නවතා දමන්නට එපා. මල් මෙන්ම ගල්ද බලාපොරොත්තුවෙන් එන්න. සිත් රිදවීම් බහුලයි.. එහෙත් අපි යහපත් හෙටක් ගොඩ නගමු.

    ReplyDelete
    Replies
    1. මාතලන්ගේ මම දැකපු වටිනාම ප්රaතිචාරය මෙයද මන්දා?

      Delete
  4. මාතලන් කියන්නේ සත්‍යයක්. මෙවන් මතවාදී තලයක නියම නමින් සිටීම අතිශය අසීරුයි. මන්ද යත් පහර පිට පහර වදින්නට හැකි බැවිනි. එනමුත් විය යුත්තේ ද එයයි. ගල් එමට ඒවි. සිත් රිදවාගන්න වේවි. එහෙත් අපේ ගමන අපි යමු. හොඳ සංවාදයක් බ්ලොග් තුළින් ඇති කරමු. ඔබට ජය.

    ReplyDelete
  5. ඔයා ඇරිස්ටෝටල්ගෙ ගෝලයෙක් නෙවෙයි ඔයා ප්ලේටෝ ගේ ගෝලයෙක්.

    දේශපාලනයට පරමාදර්ශයක් හදලා තියෙනවා ඇරිස්ටෝටල්. එය තමයි දේශපාලනඥයාගේ භූමිකාව නම් nomothetês නොහොත් නීතියක් ගෙන ඒම. නගර රාජ්‍යයක් සඳහා සුදුසු වූ ව්‍යවස්ථාවක් හැදීම. ඒ සඳහා නීතිය, සම්ප්‍රදාය හා ආයතන පුරවැසියන් වෙනුවෙන් සැකසීම. ඒවා හදලා ඒවා පවත්වාගෙන යමින් අවශය කලට ඒවා සංශෝධනය කිරීම. ඒ වගේ ම දේශපාලන පද්ධතිය එයින් බැහැරක වෙනතක යෑම වළක්වා ලීම.

    රාජ්‍යවාදයට පරමාදර්ශය හැදුවේ ප්ලේටෝ. ප්ලේටෝ ඉදිරිපත් කළේ දාර්ශනික රජෙක් සංකල්පය. පුරවැසියන්ට වඩා දන්න රජු පුරවැසියන් වෙනුවෙන් සියළු කටයුතු සම්පාදනය.

    ඇරිස්ටෝටල් = ඇමෙරිකාව
    ප්ලේටෝ = සෙසු ලෝකය

    උග්‍ර අරාජිකවාදියෙක් වන මම ඇරිස්ටෝටල්ගේ ගෝලයෙකි. නීත්‍යානුකූලව සකස් කරගන්නා ව්‍යවස්ථාව මිසෙක රජු හෝ දේශපාලනඥයා පුරවැසියන්ට වඩා ඉහළ දැනුමක් සතු යැයි නොසිතමි.

    ReplyDelete
    Replies
    1. කියන්න ආපු දේ නැවැත්තුවා මේ කොමෙන්ටුව දැකලා. මා කියන්නට ආපු දේම අරුණි කියා තිබෙනවා. ඔබ උග්‍ර රාජ්‍යවාදියෙක් නම් ඔබ ඇරිස්ටෝටල්ගේ ගෝලයෙක් කීම පොඩ්ඩක් විතර අභව්‍යයි.

      නමුත් //දේශපාලනයේ පරමාදර්ශ කියල දෙයක් නැහැ// යි කියන නිසා, ඔබ ප්ලේටෝගේ ගෝලයෙක් ලෙස ලේබල් කරන අරුණිගේ කොමෙන්ටුවට මා එකඟ නැහැ. ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් දෙන්නම වෙන් වෙන් විදියේ පරමාදර්ශ හදන්නට හැදු අය. ප්ලේටෝගේ Republic සහ ඇරිස්ටෝටල්ගේ Ethics බලන්න. සමානකම සහ වෙනස පැහැදිළිව බලාගන්න පුළුවනි.

      Delete
  6. දේශපාලන බලවේග ආ ආගමික බලවේග වල ගැ‍ටුම් මැදින් දිව යන අනන්‍ය අධිපති චින්තනයක බලපෑමෙන් බිහිවෙන් පරමාදර්ශී සමාජයක් ගැන කරු තබා ඇතිහැඩයි..ඒවන්නකින් බිහිවන රාජ්‍යය ආයතනගත සමාජයක් යැයි කිව හැක්කේ කේසේද?
    දෙවියන්ගේ දේ දේවියන්ටත් සීසර් ගේ දේ සීසර් ටත් දෙන්න.....

    මගේ කමෙන්න්‍ටුව ගැන කරු දෙපාරක්ම කථා කරලා තිබ්බ හින්දා එකට මේ ටිකත් ඒකතු කරනවා...

    බඹයක් පමන වූ සරීරය තුල ලෝකයත්, ලෝකය හට ගැනීමට හේතුවත්, ලෝක නිරෝධයත්,ලෝක නිරෝධයට හේතුවන ප්‍රතිපදාවත් පවතින්නේය....කොහෙන් ගියත් කැරකිලා එන චක්‍රය හදුනා ගන්න....

    මමත්වය,මනස නැති කිරීම මනසේ ඇති වන සංකල්ප වලින් විස්තර කල හැකි නම් බුදුහාමුදුරුවන් එය එසේ නොකලේ ඇයි?

    ReplyDelete
  7. ආයූර්වේදයට අනුව නම් බ්‍රහ්ම පදාර්ථය තමයි විශ්වය නිර්මාණයට දායක වන්නෙ. කෙසේ හෝ පරමාදර්ශී දේශපාලනයක් නැතුවා වගේම, පරමාදර්ශී චරිතත් නැහැ.
    හැබැයි මගේ නම් විශ්වාසය ඇත්තේ රූපායතන, සඤ්ඤායතන, සංඛාරායතන, මනායතන සහ විඤ්ඤායතන කෙරෙහි පමණයි.
    ඔබට හිමි තැන ඔබ වෙනුවෙන් විවෘතයි මිත්‍රයා. මේ ප්‍රතිචාර වලින් පෙනෙන්නෙ එයයි. මට නම් බොහෝ සතුටුයි.

    ReplyDelete
  8. වැදගත් ප්‍රවේශයක් ඔබ ලබා තිබෙනවා. ආගමික නිති-රීති වලින් මිනිසුන් බැහැරව තම ජීවිත ප්‍රවෘත්තිය ගෙන ගියද, ඔහුන් බොහෝමයක් විඥ්ඥානවාදීයි. නොදන්නා ලොවක් ස්පර්ශ කිරීමට සැමවිට ඔවුන්ගේ ආගමික බිය හෝ චින්තනය හෝ පෙරටුගාමී වේ. ඉදිරියේදී ලිපි සමඟ අනිවාර්යෙන්ම එකතු වෙනවා.

    ReplyDelete
  9. autism nam rogaya nisawen manussakama sagawa giya minisun , daruwen venuwen obe hada avadi karanna. vadi vistara obata avasi nam chathuu@gmail vetha yomu karanna.

    ReplyDelete