ඔහු මිය ගොසිනි. අද මහ සිකුරාදා නිවාඩු දිනයේ ලංකාවේ ප්‍රවෘත්ති සොයමින් වෙබ් අඩවි පීරමින් සිටිද්දී මහාචාර්ය සුචරිත ගම්ලත් මිය ගොස් බව ත්‍රිමාණ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනු දුටුවෙමි.
ගම්ලත් දැවැන්ත පඬිවරයෙකි. ඔහුගේ දැනුම හමුවේ මම නිකම්ම නිකම් පඟර නැට්ටෙක්මි. යම් හෙයකින් ඔහු මළවුන්ගෙන් නැගිට මේ ලිපිය කියවුවහොත් මෙහි තිබෙන දහසකුත් එකක් ව්‍යාකරණ අක්ෂර වින්‍යාස වැරදි ගැන මහා ගෝරනාඩුවක් නගා 'හඩු බසින් ලියන්නේ' යයි චෝදනාකරනු ඇත. .
අපි දේශපාලන වශයෙන් දෙමගක ගියෙමු. දේශපාලනයේදී අපි එකිනෙකා කිසිවිටෙකත් පෑහුණේ නැත. ඔහු මාක්ස්වාදී ට්‍රොට්ස්කිවාදියෙකි. මම ජාතිකවාදියෙක්මි. ඔහු "දෙමළ ජාතියේ ස්වයං තීරණ අයිතිය" නම් ප්‍රවාදය පිළිගනිමින් ශ්‍රී ලංකාව ඇතුළත ස්වාධීන දෙමළ රාජ්‍යයක් පිහිටුවීමේ අදහසට ජීවිත කාලය පුරා පක්ෂව සිටියේය. මම එම අදහසට ජීවිත කාලය පුරා විරුද්ධව සිටින්නේක්මි. සිංහල ජාතිකවාදීන්ට ගම්ලත්ව පෙනුනේ ''දෙමළ ජාතිවාදයට'' උඩ ගෙඩි දුන් තැනැත්තෙකු ලෙසය. ගම්ලත්ට මාද ඇතුළු ජාතිකවාදීන් පෙනුනේ 'වර්ගවාදීන්' ලෙසය. මෙසේ තිබියදීත් ගම්ලත් අප කිසිවෙකුටවත් පහසුවෙන් මග හැර යා නොහැකි චරිතයක් විය.
ගම්ලත් අපට නිල වශයෙන් ඉගැන්වූවේ නැත. අප කොළඹ සරසවියේ ඉගෙන ගනිමින් සිටියදී ඔහු සිටියේ රුහුණු සරසවියේය. එහෙත් ඔහු ලියූ අති විශාල පොත් පත් ලිපි සම්භාරය ඇසුරින් කිහිපයක් විෂය නිර්දේශිත පාඨ ග්‍රන්ථ ලෙස අපි පාඩම් කළෙමු. ඔහුගේ රසවාද විවරණය, කව් සිළුමිණි විනිස අපගේ අත් පොත් විය. ඔහු ඉතා රමණීය භාෂාවකින් ලියුවේය. කුමාරතුංග මුනිදාස, ජේ. බී. දිසානායක හැරුණු විට සිංහල භාෂාව කෙරෙහි මගේ ආදරය දල්වාලූ අනෙක් තැනැත්තා වූයේ මෙම ඊනියා "දෙමළ ජාතිවාදියාය". ඔහු සිංහල භාෂා සාහිත්යයේ අභිවෘධියට කළ මෙහෙය සුළු පටු වූවක් නොවේ. ඔහු අලුත් වදන් තැනුවේය, ශබ්ද කෝෂ නිර්මාණය කළේය. ඉතා වටිනා විදේශ කෘතීන් සිංහලයට පරිවර්තනය කළේය. 'ලුඩ්වික් පොයර්බාහ් : සම්භාවය ජර්මන් දර්ශනවාදයේ අවසානය' නම් මාක්ස්වාදී කෘතියද ඔහුගේ එම පරිවර්තන අතර විය. පැරණි සිංහල පොත පතට විවරණ සැපයුවේය. සිංහල සාහිත්ය විචාරයේ එක මතවාදී ධාරාවක් පෝෂණය කළේය. සිංහල භාෂාව කෙලෙසන්නේ යයි ඔහු නිගමනය කළ සිද්ධීන් මුණ ගැසෙන විට ඔහු නයෙකු සේ කිපුනේය. තම ලිපි ලේඛන සහ මුවග වදන් ඇසුරින් ඒවාට පහර දුන්නේය. ඔහු දිවයිනට ලියූ සුබස් මිණි ආර , ඔහු සංදේශයට ඉදිරිපත් කළ ගී මිණි ආර වැඩසටහන මග හරින්නේ නොමැතිව කියවීමේ ඇසීමේ පුරුද්දක් අපට තිබිණි. කොළඹ ඩීන්ස් පාරේ තිස්ස බාලසූරිය කේන්ද්‍රයේ නිර්මාණ සංවාද කුලකය සංවිධානය කළ සම්මන්ත්‍රණ වලදී සහ වෙනත් තැන් වලදී ඔහු කළ දේශන වලට සවන් දීමට අපි ගියෙමු. සමහර විට අපි ඔහු සමග මතවාදීව ගැටුනෙමු.
ගම්ලත් සමග මතවාදී ආරවුල් ඇති කර නොගත් අයකු සොයා ගැනීම දුෂ්කරය. මා ඔහුගේ දේශපාලනය සමග එකඟ නොවූවා සේම ඔහුගේ සමහර සාහිත්‍ය විචාර මතවාද සමගද එකට සිටියේ නැත. මහාචාර්ය පියසීලි විජේගුණසිංහ සහ ඔහු අතර ඇති වූ විවාදයෙදී මා සිටියේ පියසීලි විජේගුණසිංගේ පාර්ශවයට තල්ලුව දෙමිනි. ඔහු පියසීලිට එරෙහිව ලියූ සමහර සාහිත්‍ය විචාර ලිපි ගැන අදටත් මගේ කිසිදු කැමැත්තක් නැත. එහෙත් අපගේ මතවාදී ගැටුම් ඒවාට පමණක් සීමා විය. මා සම්බන්ධයෙන් නම් ඔහු ඒ කිසිවක් පුද්ගලිකව භාරගත් කෙනෙකු නොවීය. මගදී මුණ ගැසුණු විට සිනහ මුසු මුහුණින් කතා කර විහිළු තහළුවක් කරන්නටද අමතක නොකළේය.
රුහුණු සරසවියට සහකාර කථිකාචාර්යවරුන් බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් වෙනුවෙන් මගේ මතකයේ හැටිය 1996 වර්ෂයේ දිනයක මමත් ලියනගේ අමරකීර්තිත් රුහුණට ගියෙමු. මට විශ්ව විද්‍යාලයට බැදෙන්නට කිසිම වුවමනාවක් නොවිණි. මම ගියේ අමරෙගේ තනියටය. එම තනතුර සඳහා උපරිම සුදුසුකම් තිබුනේද අමරෙටය.
සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ මහාචාර්ය ගම්ලත් සිටියේය.මගේ සහතික පත් බැලූ ඔහු
"මූලික සුදුසුකම් නම් තිබෙනවා බලමු එහෙනම් විෂය දැනුම" කියමින් විෂය ආශ්‍රිත ප්‍රශ්න අසන්නට සැරසුනේය.
එන පොට හොඳ නැති බව වටහා ගත් මම මෙසේ පැවසුවෙමි.
"සර් මම මේ පරීක්ෂනෙට ආවේ නිකම් විනෝ දෙට. මේ තනතුර බලාපොරොත්තුවෙන් නොවේ."'
"විනෝදෙට! මහා පුදුම කතාවක් නේ මේක' ගම්ලත් කියයි.
"ඔව් සර් මම අවේ මගේ යාළුවගේ උදව්වට. නිකම් ඇප්ලිකේෂන් දැම්ම නිසා ආවා."
"තමුසෙත් හරි හාදයෙක් තමයි. එහෙනම් අපි වෙන මොනවා හරි කතා කරමු ආපු එකේ. කියමින් විනාඩි පහක් දහයක් මා සමග කොළඹ තිබෙන සාහිත්‍ය කලා දේශපාලන ඔප දූප ගැන කතා කළේය. මුළු සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයම මා නිසා එකම විහිළුවක් බවට පත් විය.
"හොඳයි එහෙනම් රස්සාවත් එපානම් යන්න පුළුවන්"'. අවසානයේදී ඔහු විහිළුවෙන්ම පැවසීය. මම කාමරයෙන් එලියට පැමිණියෙමි.
අමරෙටද එම තනතුර නොලැබිණි. ඒ ඔහුගේ හොඳටය. එහෙත් ඔහු කොහේ හෝ විශ්ව විද්‍යාලයක සිටිය යුතු චරිතයක් බව ගම්ලත් එහිදී ඔහුට පැවසු බව අමරේ මා සමග ආපසු එන විටදී පැවසීය.
ඔහු සිළුමිණ පත්‍රයේ ශාස්ත්රීය සංග්‍රහයට විවාදාත්මක ලිපි මාලාවක් ලියමින් සිටින අවධියේ මට ලේක් හවූසියේ කර්තෘ මණ්ඩල ප්‍රධානියකු ලෙස වැඩ භාර ගන්නට සිදුවිය. ඔහු මහාචාර්ය ජේ. බී දිසානායක සමග 'කව් ලැකියද ලෙව් ලැකියද" නම් භාෂා ශාස්ත්‍රීය වාදයකට කරුණාරත්න අමරසිංහ ඇතුළු තවත් කිහිප දෙනෙකුද එකතු කරගනිමින් පැටලී සිටියේය. ගම්ලත් ලියූ මෙම ලිපි පෙළ නොරිස්සූ එක් ප්‍රබල පුද්ගලයෙක් මා ලවා කතුවරයාට බලපෑම් කොට එම ලිපි පෙළ නවත්වන්නට උත්සාහ ගත්තේය. ඒ තැනැත්තා කතා කළේ වැරදි පුද්ගලයාටය. එම ලිපි පෙළ කිසිම බධාවකින් තොරව තමන් කැමති ආකාරයකට ශාස්ත්‍රීය සංග්‍රහයෙහි පල කරගෙන යන්නයි මම එකල සිළුමිණ කතුවරයාව සිටි තිලකරත්න කුරුවිට බන්ඩාර මහතාට උපදෙස් දුනිමි.ගම්ලත්ගේ මතයට විරුද්ධ ඕනෑම කෙනෙකුට ප්‍රති උත්තර ලිවීමේ ඉඩක් පමණක් වෙන්කර දෙන්නයි මම තව දුරටත් සිළුමිණ කතුවරය්ගෙන් ඉල්ලා සිටියෙමි. මා දන්නා පමණින් මහාචාර්ය ජේ බී හැරෙන්නට වෙන කිසිවෙක් ඒවාට විරුද්ධව බරපතල යමක් ලියන්නට ඉදිරිපත්වූයේ නැත.
ඔහු ඉතා දැවැන්ත සිංහල ශබ්ද කෝෂයක් නිර්මාණය කර එය මුද්‍රණය කරගන්නට ක්‍රමයක් නොමැතිව ලතවෙමින් සිටියේය. ඒ කාලයේ ඔහු මා සොයා පැමිණියේය. ඔහු මා ළගට එවන්නට ඇත්තේ කුරුවිට බණ්ඩාර හෝ කරුණාරත්න අමරසිංහ විය යුතුය.
''පරනේ .. මේක ජාතික මට්ටමේ වැඩක්. මේ ශබ්ද කෝෂයට මම ගොඩක් මහන්සි වුනා. මේක මුද්‍රණය කරන්න කව්රුවත් භාරගන්නේ නැහැ. වියදම ටිකක් සැර තමයි. බැරිද මේකට රජය මැදිහත්වෙලා මොකවත් කරන්න .."' ඔහු මගෙන් ඉල්ලා සිටියේය .ඔහුගේ එම ශබ්ද කෝෂය ගැන ඒ වන විට මම අසා තිබුනෙමි.
"හරි සර් මම වැඩේ බාරගන්නම්" කියමින් ගම්ලත්ව පිටත් කළ මම සූදානම් වූවේ ලේක් හවුසියේ වාණිජ මුද්‍රණ අංශයේ ව්‍යාපෘතියක් ලෙස එය මුද්‍රණය කර ප්‍රකාශයට පත් කිරීමටය. එයට එකලද ලක්ෂ විසි පහක පමණ ආරම්භක පිරිවැයක් දැරීමට සිදුව තිබිණි. ගම්ලත් ඉදිරිපත් කර තිබූ කොන්දේසි කිහිපයක්ද තිබිණි. සංස්ථාවේ සභාපතිව සිටි ජනදාස පීරිස් මහතාවද එකඟ කරවාගෙන මේ සියල්ලට අනුව අනුමැතිය ලබා ගැනීම සඳහා සංස්ථා මණ්ඩල පත්‍රිකාවක් සැදු මම බරපතල වැඩක් බැවින් ජනමාධය අමතිවරයගේද අවසරය ඉල්ලුවෙමි.
"හොඳ වැඩක් වගේ... කරන්න පුළුවන් නම් කරන්න. අපේ විරුද්ධත්වයක් නැහැ". ඇමතිවරයා කීවේය.
බාධාව ආවේ වැඩේ පටන්ගනිද්දීමය. ගම්ලත්ගේ කොන්දේසි සහ රජයේ කාර්ය පටිපාටිය එකට ගැලපුනේ නැත. විවධ මූල්‍ය රෙගුලාසි ගම්ලත්ගේ කොන්දේසි වලට එරෙහිවද ගම්ලත්ගේ සමහර කොන්දේසි සමහර වැදගත් රජය මූල්‍ය නීති රීති වලටද එරෙහිව මතු වන්නට විය. අවසානයේ වැඩේ නොකෙරන තැනට පත්විය.
"සර් අර පොත ගහන්න වෙන්නේ නැහැ" මම ගම්ලත්ට කරුණු පැහැදිලි කලෙමි .
"මම ඕක හිතුව.. උඹ මහලොකුවට ජාතිය ගැන කතා කලාට ජාතියට මෙච්චර වටිනා වැඩක් වත් කර ගන්න බැහැනේ.. කියමින් මහා හඩින් සිනාසුනු ඔහු "හොඳයි මම වෙන අතක් බලාගන්නම්" යි පැවසුවේය .
ඊට වසර කිහිපයකට ඔහු එම මහා ශබ්ද කෝෂය ප්‍රකාශයට පත් කරවාගෙන තිබුණි. මට කළහැකි එකම කටයුත්ත වූයේ එය මිලදී ගැනීම පමණි. එහි පිටපතක් පසුගිය වසරේ ටොරොන්ටෝවේ පැවතී 'බසක වරුණ' සිංහල භාෂා දින වැඩසටහනේ ප්‍රදර්ශනයට තැබීමට අපි කටයුතු කළෙමු. සිංහල භාෂා සාහිත්යයේ උන්නතිය වෙනුවෙන් කැපවුණු හික්කඩුවේ සුමංගල, බටුවන්තුඩාවේ දේවරක්ඛිත, කුමාරතුංග මුනිදාස,රත්මලානේ ධර්මාරාම වැලිවිටියේ සෝරත, පියදාස සිරිසේන, සෙනරත් පරණවිතාන, එදිරිවීර සරච්චන්ද්‍ර විල්හෙල්ම් ගයිගර්, මහාචාර්ය හෙට්ටිආරච්චි,ගුණපාල මලලසේකර, ඩී. බී. ධනපාල, ආදී හිටපු ගිහි පැවිදි පඬිවරුන් රැසකගේ රුව රැගත් අලේඛ්‍ය චිත්‍ර එම භාෂා දින වැඩ සටහන් පැවතී ශාලාවේ ප්‍රදර්ශනයට තැබූ එහි සංවිධායකයකු වූ බන්දුල කුරුවිට ආරච්චි මහතා මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ රුව රැගත් අලේඛ්‍ය චිත්‍රයක්ද එතන තැබුවේ 'මේකත් මෙතන තිබෙන්නට අතවශ්‍යම පින්තූරයක්" යයි කියමිනි.
ගම්ලත් ලඟින් ඇසුරු කළ ඔහු සමග විවිධ තැන් වලදී එකඟ වුන විවිධ තැන් වලදී විරුද්ධ වුනු සියලු දෙනාටම කියන්නට මෙවැනි කතා බොහෝ තිබෙන බව මම දනිමි. ඔහු අප සැමගේ ජීවිත හරහා ඔහුටම ආවේනික ගමනක නියැලී සිටිමින් එම ගමන දැන් අවසන් කර ඇත.
ගුරුතුමනි ඔබට මගේ ආචාරය !
එහෙමත් නැත්නම් විසදුම මේකයි කියල ෆැන්ටසියක් හදලා රේඛීය එකෙන් දෙනවා...
හැබයි කවුරුත් දන්නෙ නෑ විසදුම...හැමෝම කියන්නේ කරලා බලමු කියලා....ශ්‍රේෂ්ඨ බුද්ධදර්ශනය පවා...
බහුදේවවාදය, ඒක දේවවාදයේ සිට නූතන් මහා පිපිරුම් න්‍යායේ විශ්වය ප්‍රසාරණ දක්වා ආගම, දේශපාලනය, විද්‍යාව පත අට එකට හින්දලා චක්‍රීය හරි රේඛීය නැමැති පැණි රසත් එක්ක කාසාය ටික ඇගට දා ගන්න එකයි තියෙන්නේ.....
ලෝක ඉතිහාසය හා සමාජ දර්ශන පිළිබඳ මගේ දැනුම අල්පයි. ඒත් ත්‍රිත්ව සංකල්පය ගෑවුණු හැම දෙයක්ම ආගම හා සබැඳීම ආගමේ සේයාවන් ලෙස දැකීම විශේෂයෙන් ක්‍රිස්තියානි ආගමේ සේයාවන් ලෙස දැකීම දුර්වල කමක් ලෙස මට පෙනෙන්නේ.
මගේ හිතිවිල්ල නම් සියළු ආගම්, විශ්වයේ සත්‍යතාවන් තේරුම් ගැනීම සඳහාත් විග්‍රහ කිරීම සඳහාත් මිනිසා විසින්ම නිර්මාණය කරගත් සංකල්ප හා දර්ශන බවයි. අපි අපේ නිරීක්ෂණ හෝ ජන්මය මත ඔයින් එකක් හරිය හෝ අනෙක්වා වැරදිය වශයෙන් වර්ග කරනවා. මෙතැන දී ආගමික සංකල්ප තුලට ත්‍රිත්වය ඇතුළු වී ඇත්තේ එය ස්වාභාවික වූ බොහෝ දේ තේරුම් ගැනීමට උපකාරී වන සංකල්පයක් නිසා කියායි මම හිතන්නේ. උදාහරණයක් ලෙස ප්‍රෝටෝන. ඉලෙක්ට්‍රෝන. නියුට්‍රෝන වැනි විද්‍යාත්මක සංකල්ප තුල හමුවන ධන, ඍණ හා උදාසීන ත්‍රිත්වයෙත් සුලමුල ක්‍රිස්තියානි ආගම ද?
එමෙන් ම හිට්ලර්ගේ Third Reich නාමීකරණය ජර්මානු ඉතිහාසය හා බැඳුණක් මිස ආගමික සංකල්පයක් නොවන බව මගේ ජර්මන් මිතුරෙක් කියනවා.
මගේ අල්ප දැනුමට අනුව බටහිර, විශේෂයෙන් කැනඩාව හා උතුරු ඇමරිකාව ආගම හා රජය වෙන්කර තැබීමයැයි අදහස් කරන්නේ රටේ නායකයින් දේශපාලකයින් ආගමක් ඇදහීමවත් ආගමික හැදියාව සංකල්ප අත්හැරීමවත් නොවෙයි. මා දකින විදිහට නම් එය රටේ පාලකයින් අදුර්ශමාන හා සර්වබලධාරීවූ බලවේගවල නිලලත් නියෝජිතයින් ලෙස පෙනී සිටිමින් අත්තනෝමතිකව රට පාලනය කිරීමේ ක්‍රමය අතහැරීමක්.
අදත් ඉතින් හිතුණ දේ හිතුණ ලෙසින්ම ලිව්වා.
You instead of writing on the danger of identity political religion of Sinhala Buddhism and its neo-militancy as witnessed in Lanka, are earger to write on kind new "christian cue' thesis guilty of promoting a western modernity. That does not fit into a honest intelctual enagement. I see the shadows of your guru Nalin De Silva.
This is like digging wells while the house is on fire: a selective double blindness.
Your writting falls between the translocal nationalism and postmodern critique both which reject the reality that is presented by the critical historical analyses.
but still you are a great friend with whom I engage.
මේ වගේ ප්‍රතිචාර ලැබෙන කොට ඉතින් පටන් ගත්ත වැඩේ කොහොමවත් නතර කරන්න බැහැ. මේ බ්ලොගය පටන්ගත්තේ කැනඩාවේ උෂ්ණත්වය ඍන 20 ට විතර පහළ බැහැල තිබුණු ශීත කාලේදී. දැන් ශීත කාලේ අවසන් වෙගෙනයි එන්නේ. රට වගේම බ්ලොගයත් ටික ටික උණුසුම් වේගෙන එනවා. ශීත කාලෙට වඩා දැන් කාර්යබහුල වුනත් කොහොම හරි වෙලාව හොයාගෙන ලියන්නම්. අපි මූලික වශයෙන් කතාකරන්නේ රාජ්‍යය ගැනයි. ඉඳල හිටලා 'ලයිට් රීඩින්' එකක් දෙකක් එහෙම දැම්මත් ඒවාත් අපේ මූලික මාතෘකාවට සම්බන්ධ කරන්න උත්සහ ගන්නවා.
කාලයක් ලිවිල්ල නවතලා හිටපු මට ඔබේ මේ ප්‍රතිචාරත් සමග ලිවීම සඳහා උනන්දුව දිරිය වැඩිවෙලා තිබෙනවා. මේ බ්ලොගය සහ එහි ලිපි විවිධ ක්‍රමවලින් හුවමාරු කරන සියලුම මිතුරන්ට ස්තුතියි. අපි සංවාද කරමින් ඉදිරියට යමු මේකත්"දියවැලක් ඔස්සේ..........." (සිරිලාල් කොඩිකාරගෙන් ණයට ගත් කියමනක් ) යන ගමනක්.