Wednesday, 24 April 2013

මම් කෙසේ පවසම්...... බ්ලොග් හයිකු

පොළොවේ ගැසූ පුවක් වල්ල
ගෝලීය ධනවාදයේ යකඩ හස්තියා
මහා වීරකමක් කරන්නාසේ
ඔසවා දමා ගැසුවා
වාමාංශික පුවක් වල්ල
පොළොවේ.
අනේ!
රතුපාටට බැබලි බැබලී තිබුන
පුංචි පුංචි පුවක් ගෙඩි
පොළොව මත විසිරුණා.
සී සී කඩ වෙලා ගියා.

මොළය වියලුන කල
අපිත් හරියටම අපේ රට වගේමයි
රටේ සිතියම වගේමයි
ඔලුව පුංචියි
කඳ,බඩ ලොකුයි, ලෙඩ රෝග ගොඩයි
මොහොතක් ඉඳිමු
ඔලුවෙන් හිටගෙනවත්
ලේ කඳුලක් නැති
මුනට... ඇස් දෙකට... මොළයට.... ඔලු කට්ටට
රුධිරය උනන තුරු.

සමාජ මාධ්‍ය
ජාලයක් නොවේ
ජංජාලයක්
අස්මිමානය
ඊගොයිසම්
වපුරන
සෙල්ෆ් මාර්කටින්
සෙල්ෆ් මාර්කටින්
තමන්ගේ රුපය තමන්ම බලා සැනසෙන
ජංජාලයක්

උරුලෑවෝ
දෙයක් ඉතිරි වී තිබේ නම් යම්
එයද
නුසුදුස්සාටම අයිතිවිය යුතු
උරුලෑවන් මනා වූ
දිනිය යුතු සේම
ඉත්තෑවන්ගේ ගුල්

ඌරෝ
ධන චින්තන ගුරුතුමා
දෙසුම් දෙසමින් පොත් ලියමින්
කියාදුන්නේ
එක ඌරෙක් තවත් උරෙකුට
අල හාරා දෙන්නේ නැති බවයි
ඉතින් අනුන් ගැන නොසිතා
තමන්ගේ වැඩේ කරගනිමු
හාරගෙන හාරගෙන හාරගෙන යමු

සුද්දෙක් ඔබ අමතයි
නාට්ය‍යක්..? මොන විකාරයක්ද?
ඒකට නාට්‍යයක් කියන එක
භරතමුනිට සේෆොක්ලීස්ට ශේක්ස්පියර්ට සරච්චන්ද්‍රට කරන අපහාසයක්
උදයසිරියා.... දීග ජන්තුවා...... තක්කඩියා.... ත්‍රස්තවාදියා
ඌ කෙලෙව්වා මුළුමහත් සිංහල වේදිකාවටම
එත් පුලුවන්ද අමතක කරන්න
අරුන් තුන්දෙනා වේදිකාව උඩ කරපු කතා තුන
ඇඟ හිරිවටුන නේද
මයිල් කෙලින් හිටිය නේද හසන්ත මහත්තයෝ ?
ගැලෙව්වා නේද අපේ සංස්කෘතික කලිසම
ශාලාව මැද්දෙම
ඔව් ඒක නාට්‍යයක් නොවේ
නොනාට්‍යයක්ද නොවේ

අතු දෙක
මම නැග්ග
පුවක් ගහෙත් දෙබලයක්
එක අත්තක් බලය, දැනුම, ධනය, විද්‍යාව පැත්තට
අනෙක් අත්ත
ජීවිතය සහ අධ්‍යාත්මය පැත්තට

පැදුරු සාජ්ජය
මොහිදීන්...... හා ඉතින් කියමු සින්දුව
මුත්තුසාමි ගහපන් මචන් සර්පිනාව
අන්න අතන ඩෝලේ
කෝ මේ ඩේසි ඩැනියෙල් රුක්මනී?
ආදර පාන සුදා
අම්මද බොල
අන්න එනවා හරුන් ලන්ත්‍රා
සුළං කුරුල්ලත් අරගෙන
සිංහල බෞද්ධ කොල්ලනි නටමු
අපට මේ හැටිවත් නටන්න සංගීතෙ හදල දුන්නේ
මේ කට්ටිය තමයි

වෙසක් ළඟයි!
මෙම විට පැවසෙන මුවින් මගේ

බෙග් මාස්ටර්
දවසකට පස් වතාවක් සර්ව බලධාරී අල්ලාට වැඳ
දශ බලධාරී බුදුන්ගේ ගුණ ගී ගැයූ
මේ පාරත් මගේ රටේ
පන්සලේ දන්සලේ තොරණ පොලේ
සත්‍ය ලෝකේ වැනසී යාදෝ
දුක් බරිනී මිරිකී යාදෝ
නිර්මල පිවිතුරු චරිතේ අපේ
පවිටෙන් බොරුවෙන් කෙලෙසාදෝ
අගති අයුක්තිය මාරුතයේ ප්‍රාණෙ අපේ දෙදරා යාදෝ
ඔවු මාස්ටර් මේ පාරත් කියන්න හය්යෙන්
බුද්ධං සරණන් ගච්චාමී!
 
 
සුළි සුළඟක් හැදෙන හැටි
මේ වායු ගෝලයේ
නිසි මොහොතෙදි
සැළෙන 
සමනළ පියාපතකට වුව
සුළි සුළඟක් තැනිය හැකිය.
ඔබේ පියාපත රැක ගන්න
  

5 comments:

  1. වදින තැන්වලට වදින්න, රිදෙන තැන්වලට රිදෙන්න, හිතන්න හැකි තැන්වලට හිතන්න, හැදෙන්න හැකි තැන්වලට හැදෙන්න, ලියැවුණු විස්මිත වියමනක්..

    මේ දිනවල සයිබරයේ සිදුවන දේ දිහා විමැසිල්ලෙන් බලන කල මේ කාව්‍යයේ වටිනකම ඉතාමත් ඉහළය.
    //මේ වායු ගෝලයේ
    නිසි මොහොතෙදි
    සැළෙන
    සමනළ පියාපතකට වුව
    සුළි සුළඟක් තැනිය හැකිය.
    ඔබේ පියාපත රැක ගන්න //

    මේ වැකිය යථාර්ථයක් කරන්නට ඔබට හැකිය එයට අපෙනුත් ශක්තිය ධෛර්යය.

    ReplyDelete

  2. "අපිත් හරියටම අපේ රට වගේමයි
    රටේ සිතියම වගේමයි
    ඔලුව පුංචියි
    කඳ,බඩ ලොකුයි, ලෙඩ රෝග ගොඩයි
    මොහොතක් ඉඳිමු
    ඔලුවෙන් හිටගෙනවත්
    ලේ කඳුලක් නැති
    මුනට... ඇස් දෙකට... මොළයට.... ඔලු කට්ටට
    රුධිරය උනන තුරු."

    කරු... මේ කතාවම වෙනත් වෙනත් ආකාර වලටත් ලියැවී තියෙනවා අතීතයේ දීත්.
    මේක හරියට තේරුම් ගත්ත අපේ නායකයෝ පොලිසිය, හමුදාව ලව්වා දෙන දඬුවම් වල මූලික අංගයක් හැටියට කකුල් දෙකෙන් කකුලේ මහපටැඟිලි වලින් එල්ලා තැබීම හා එල්ලා පහරදීම නොලියා නීතිගත කරලා තියෙනවා නේ ද?

    එහෙම කරලාත් අපේ මොළවලට ලේ ඇවිත් නෑ කියන එක උදක්ම පැහැදිලියි අද මේ අන්තර්ජාලය පුරාම හිනාවෙන දුමින්දගේ මූණු පොඩ්ඩ දැක්කාම.

    ලංකාවම අනික් පැත්ත කැරකුවොත් මොකද?
    අතුරු ඵලයක් හැටියට තමිල්නාඩුවට පස්ස පෙන්නන්නත් පුළුවන් එතකොට...!

    එහෙම හිතුවාම ආයෙ හිතුණා... මේ ලියවිල්ලෙන් ලංකාවෙ ඔළුවය කියලා කියා තියෙන්නේ යාපනේට නේද කියලා...! එහෙම හිතුවාම හිතුණා ඒ ඔළුවට තොප්පි දාලා ඉස කුඩිච්චි බැන්ඩේජ් බැඳලා ඉන්ජෙක්ෂන් ගහලා... බ්‍රේන් වොෂ් කරන්න අපේ සමහරු මේ තරම් දඟලන්නේ ඒ අය මේ කතාව දන්න නිසා වෙන්න ඇති කියලා...

    හිතුණු දේ නිදහසේ ලිව්වා...

    අගය කරනවා මේ බෙදාගැනිල්ල වෙනදා වගේම..

    ReplyDelete
  3. සියල්ලම උපරිමයි.

    බොහෝ සේ රස වින්දෙමි. නැවත නැවත කියවමි.

    ReplyDelete
  4. කලකට පසුව දුටුවෙමි හරඹයක් මම
    වින්දෙමි උපහාස රස අඩු නොවන්නට
    වමෙන් පටන්ගත්තේ සිත් බැඳගන්න
    සකයක් ලෙසින් යළි මුලටම පැමිණෙන්න

    සත්‍යය ලොවේ අමතක කර දමනු නොහේ
    සිත කය වදන ඉන් වෙන්කර දමනු නොහේ
    උතුරණ ලෝදියත් සැපයට අවැසි ලෙසේ
    කරනා සටන වදනින් ඔබ හරිම අගේ

    දෙබලත් ඔබේ හරහට සිටියා වාගේ
    පුහු මත දරූ උන් ජොලියට නැටුවා සේ
    උරුලෑවුන්ට සැප දෙන්නට සැදුනාසේ
    සැමදා සිදුනොවෙයි ඉන්නට දුක්ගානේ

    නිවැරදි කරන්නට වරදක් ලෙහෙසි නොවේ
    එනමුත් හරි මගෙහි යන්නන් දුලබ නොවේ
    එකමුතු කමේ මහිමය සැමවිටම පෙනේ
    කරුවා යන මගෙහි අරුමය ලොවට පෙනේ

    ReplyDelete
  5. අපට මේ හැටිවත් නටන්න සංගීතෙ හදල දුන්නේ
    මේ කට්ටිය තමයි

    ReplyDelete