Tuesday, 19 March 2013

දේව රාජ්‍යය උදා කර ගැනීම සඳහා සටන් වැදීම : නූතනවාදයේ ආගමික පදනම

නූතනවාදයේ ආගමික පදනම ලිපි පෙළ.......... 

ලෝකයේ ඇතිවීම සහ නැතිවීම පිළිබඳ පැහැදිලි කරන ආගමික විශ්වවේදයන් හෙවත් කොස්මොලොජීන් රේඛීය සහ චක්‍රීය වශයෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකි බව පසු ගිය ලිපියෙන් පැහැදිලි කෙරිණි. කෙසේ වුවද එය ඉතා සරල බෙදීමකි. ව්‍යතිරේඛයන් නැතිවා නොවේ. ඒවා ඉදිරියට පැහැදිලි කරමු. මේ විශ්වවේදයන් අතරින් නූතනවාදයට විශාල ලෙස බලපෑවේ ලෝකයට සහ විශ්වයට පැහැදිලි ආරම්භයක් සහ අවසානයක් ඇති බව කියවෙන රේඛීය විශ්වවේදයයි.මෙම අදහසේ ආරම්භය බයිබලය නොවේ. කිතුනු ආගම් බිහිවීමට පෙර සිටම මෙවැනි අදහස් විවිධ ආගමික ශාස්තෘවරු දේශනා කළහ. බුද්ධ කාලයේ ජීවත් වූ මක්ඛලි ගෝසාල නම් ශාස්තෘවරයා එවැන්නෙකි. පූර්ව ක්‍රිස්තියානි ආගමක් වූ ශාරතුස්ත්‍ර ආගමද එවැන්නකි.
මැදපෙරදිග ඇරඹි ඒකදේවවාදී ආගම්වලට අනුව ලෝකයට පැහැදිලි ආරම්භයක් සහ අවසානයක් ඇත. දෙවියන් වහන්සේ විසින් ලෝකය මවන ලද අතර දෙවියන් වහන්සේම එය අවසාන කරනු ඇත යන්න ප්‍රකට පිළිගැනීමකි.

 ලෝකයේ අවසානය පිලිබද දේශනා කරන මෙම ආගම් 'ඇපොකලිප්ටික' ආගම් (apocalyptic religion) වශයෙන් නම් කළ හැකිය. ඇපොකලිප් යන්නෙහි තේරුම ලෝකයේ අවසානයි. එසේම බයිබලයේ අලුත් ගිවිසුමේ අවසාන කෘතිය (revelation) ද මෙම නමින් හැඳින්වේ. එම කෘතියෙන් කියවෙන්නේද ලෝක අවසානය පිලිබඳ ශාන්තුවර ජෝන් විසින් කරනු ලබන හෙළි දරව්වයි.ලෝකය අවසානයේ සිදුවන්නේ නපුර පරදවා යහපත ජයගැනීම බව මෙම විශ්වවේද වලින් කියවේ. නපුර පරදවා යහපත අවසානයේ ජයග්‍රහණය කිරීම පිලිබඳ අදහස ක්‍රිස්තියානි ආගමට එකතු වූයේ ශාරතුස්ත්‍ර දර්ශනයෙන් බව අපොකලිප්ටික ආගම් පිලිබඳ අධ්‍යයනයක් කළ ජෝන් ග්‍රේ නම් චින්තකයා පවසයි. ( John Gray: Balck Mass, Apocalyptic Religion and the Death of Utopia) යහපත අවසානනයේ ජයග්‍රහණය කිරීම යන්න ඉතා සුන්දර පරිකල්පනයකි.මෙම ආගමික කල්පනාව සියවස් ගණනක් ඔස්සේ අර්ථකථනයන්ට ලක් වෙමින් බටහිර දේශපාලන චින්තනයේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත් විය.

ක්රිස්තියානියෙහි එන ත්‍රිත්ව සංකල්පය මෙහිදී සලකා බැලීම වැදගත්ය. ඒ අනුව ලෝකයේ අවධීන් තුනකි.
1. පියාණන්ගේ යුගය
2. පුත්‍රයාණන්ගේ යුගය
3. ශුද්ධාත්මයාණන්ගේ යුගය වශයෙනි.
 පියාණන්ගේ යුගය යනු දෙවියන් වහන්සේ ලෝකය මැවූ යුගයයි. පුත්‍රයාණන්ගේ යුගයේදී සිදුවන්නේ දෙවියන්ගේ පණිවිඩය ලෝකයේ ප්‍රචාරය වීමයි. (ජේසුස් වහන්සේගේ පැමිණීම වැනි ) ශුද්ධාත්මයනගේ යුගයේදී සිදුවන්නේ නපුර පරදවා යහපත ජයග්‍රහණය කර මිනිසා දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමයි. එතනින් ලෝකය අවසාන වේ.මානව වර්ගයාගේ විමුක්තිය අවසාන වශයෙන් උදාවෙන්නේ මෙතනදීය.කිරිස්තියානිය යුරෝපයේ ව්‍යාප්ත වීමත් සමගම මෙම යුග තුන පිලිබඳ අදහස දේශපාලන චින්තනයේ අංගයක් බවට පත්විය.
මධ්යතන යුගයේදී මෙම යුග තුන පිලිබඳ අදහස විවිධ අර්ථ කථනයන්ට ලක්විය. මිනිසාගේ ඉතිහාසය වනාහී ප්‍රථමික ආරම්භයක සිට ක්‍රමයෙන් ප්‍රගතිය කරා දිවයන්නක් ලෙස ගැනීම එයින් ව්‍යුත්පන්න වූ එක පිළිගැනීමකි."ක්‍රමයෙන් ප්‍රගතිය කරා පිය මැනීම" යන්න අපි අද ප්‍රශ්න නොකරම පිළි ගනිමු. එහෙත් මෙම අදහසට ඇත්තේ ආගමික මූලයකි.මිනිසාගේ පරම විමුක්තිය උදාවෙන්නේ දේව රජ්‍යය තුළය. එය ප්‍රගතිය පිලිබඳ මොඩලය බවට පත් විය. ශාන්ත ඔගස්ටින් වැනි චින්තකයන් මෙම දේව රාජ්‍යය හෙවත් ශුද්ධාත්මයාණන්ගේ යුගය අර්ථකථනය කළේ භෞතික රාජ්‍යයක් ලෙස නොව මනුෂ්‍යයාගේ අධ්‍යාත්මයේ ඉහලම අවස්තාව වශයෙනි. එහෙත් බටහිර දේශපාලන චින්තනය ශාන්ත ඕගස්ටින්ට වඩා වෙනස් අර්ථකතනයක් ඉල්ලා සිටියේය. මනුෂ්‍යයාගේ අවසාන විමුක්තිය හෙවත් දේව රාජ්‍යය මෙලොවදීම අත්පත් කර ගැනීමේ මොඩලයන් පිලිබඳ බටහිර චින්තකයෝ උත්සුක වන්නට වූහ.

 බටහිර ඉතිහාස දැක්මට, දර්ශනයට සහ දේශපාලන චින්තනයට මෙම ප්‍රගතිය පිලිබඳ අදහස, විමුක්තිය පිලිබඳ මොඩලය සහ ඉතිහාසයේ අවසානය පිලිබඳ ආගමික අදහස ඇතුලත් විය.

වඩාත් සරදම්කාරී සංසිද්ධිය වූයේ ආගමික දේශපාලනය වෙන්විය යුතු යයි විශ්වාශ කළ ලෞකිකවාදී දේශපාලන චින්තනයට මෙකී "ආගමික" ත්‍රිත්ව යුග සංකල්පයෙන් ගැලවීමට නොහැකි වීමය. හේගල්ගේ ඉතිහාස දැක්ම ත්‍රිත්වවාදීය. මනුෂ්‍ය ඉතිහාසය හේගල් දකින්නේ දයලෙක්තික යුග තුනක් වශයෙනි.
හේගල්ට අනුව නූතන ජාතික රාජ්‍යය සම්පූර්ණවීමෙන් පසු ඉතිහාසය අවසන්වේ. එම ජාතික රාජ්‍යයේ මොඩලය ජර්මානු ප්‍රසියානු අධිරාජ්‍යයේ බිහිවීමයි. ඔලුවෙන් හිටගෙන සිටි හේගල්ව දෙකකුලෙන් හිටෙව්වේ යයි කියන මාක්ස්වාදයද මානව සමාජය සම්බන්ධයෙන් ඉදිරිපත් කලේ ත්‍රිත්ව යුග සංකල්පයකි.
1. ප්‍රථමික පූර්ව කොමියුනිස්ට් යුගය
 2. පන්ති සමාජ යුගය
3.පන්තිවිරහිත කොමියුනිස්ට් සමාජ යුගය වශයෙනි.
පන්ති විරහිත කොමියුනිස්ට් සමාජයෙන් ඉතිහාසය අවසානවේ. මන්ද ඉතිහාසය යනු පන්ති ගැටුමේ කතාවය . පන්ති විරහිත සමාජයක් බිහි වූ විට ඉතිහාසයක් අවශ්‍ය නොවේ. යුරෝපයේ නට්සිවාදයේ මූලරම්භාකයකු වූ ඕගස්ට් කොම් (Auguste Comte) මානව ඉතිහාසය
1. ආගමික යුගය
2. සංක්‍රාන්ති යුගය යුගය සහ
3. විද්‍යාත්මක යුගය
වශයෙන් කොටස් තුනකට බෙදා දක්වමින් අවසානයේ සාධනය කළ යුතු සහ ප්‍රගතියේ මොඩලය පෙන්වනු ලැබුවේ විද්‍යාත්මක යුගය උදාවීමය. හිට්ලර් ලක්ෂ ගණන් මිනිසුන් මැරුවේ ඕගස්ට් කොම් ඉදිරිපත් කළ මෙම විද්‍යාත්මක යුගය පිලිබඳ පරමාදර්ශය මේ පොලොව මත නිර්මාණය කළ හැකි බව විශ්වාස කළ බැවිනි. ඔවුන් තම රජය නම් කළේ ද තුන්වෙනි රාජ්‍යය හෙවත් තර්ඩ් රීච් (Third Reich) යන නමිනි. නාසිවාදය කොම් ගේ ඉතිහාස දැක්මට ද මාක්ස්වාදය හේගල්ගේ දයලෙක්තික දැක්මට ද අනුව ලෝක අවසානය පිලිබඳ අදහස් ඉදිරිපත් කරද්දී ලිබරල්වාදය එමානුවෙල් කාන්ට් ඉදිරිපත් කළ අවසානයේ බිහිවන ලෝක සාමය පිලිබඳ මොඩලය ඔස්සේ දුවන්නට විය. ධනේශ්වර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ ලෝකපරිමාන ජයග්‍රහනයත් සමගම ඉතිහාසය අවසාන වනු ඇත වශයෙන් ෆ්‍රැන්සිස් ෆුකුයාම ඉදිරිපත් කළ අදහස ලිබරල් වාදී අපොකලිප්ටිකයේ හෙවත් ලෝකය අවසානය පිලිබඳ ලිබරල් කොස්මොලොජියේ කැපී පෙනෙන ඉදිරිපත් කිරීමකි.
නූතනවාදයේ ප්‍රධාන දේශපාලන ධාරා තුනම එනම් ජාතිකවාදය, ලිබරල්වාදය සහ කොමියුනිස්ට් වාදය පසුගිය ශතවර්ශයේදී එකිනෙකා සමග යුද්ධ කළේ ඒවා මගින් පරමාදර්ශ ලෙස ඉදිරිපත් කළ යුටෝපියාවන් හෙවත් මනෝ රාජ්‍යයන් මේ මිහිපිට ප්‍රයෝගිකව බිහි කර ගැනීමටය. මෙසේ මොඩලයක් සාධනය කර ගැනීම සඳහා සමාජය දේශපාලනික වශයෙන් සංවිධානය කිරීම ආගමික උරුමයක් සහිත අදහසක් වන ආකාරය අපි ඊ ලඟට උදාහරණ සහිතව විමසා බලමු.
 

Sunday, 17 March 2013

ධනිය ගෝපාල තොප කුරිරු ධනවාදියෙකු නොවේ !:ගොපලු උදානයක අසිරිය


'ධනිය ගෝපාල තොප කුරිරු ධනවාදියෙකි!'
 
 මේ යෙදුම දකින විට අපට මතක් වන්නේ පරාක්‍රම කොඩිතුවක්කු කවියා ය.ඔහු ලියූ 'පමා වෙලා වැහපන් වැහි වලාවේ' නම් කාව්‍ය නිර්මාණය ය. එය කලෙක උසස් පෙළ විභාගයට සිංහල සාහිත්‍ය හැදෑරුවන් සඳහා නිර්දේශිත කවි පන්තියක් විය. එය අපට 'වෙඩි වගේ'කවියක් විය. පවතින සමාජ ක්‍රමය වහා උඩු යටිකුරු කර වඩා සාධාරණ සමාජවාදී සමාජයක් අද හෙටම බිහිකර ගැනීමේ උනන්දුවෙන් සිටි අපට එකල පරාක්‍රමගේ මෙම කවිය ඇතුළු බොහෝ කවි විශාල මානසික උත්තේජනයක් ගෙන දුන් ඒවා විය.

 බෞද්ධ සාහිත්‍යයේ එන 'ධනිය ගෝපාල' නම් චරිතය ඇසුරින් පරාක්‍රම මෙම විරෝධාකල්පික නිර්මාණය ඉදිරිපත් කරයි. පරාක්‍රම මවන ධනිය ගෝපාල චරිතය යනු 'තමන්ගේ කට බඩ පුරවාගත් පසු අනෙක් උන්ට හෙන ගැහුනත් කමක් නැතැයි' සිතන වර්ගයේ නරුම පරිභෝජනවාදියෙකි. එකල එම කවිය කියවන විට අතීත දඹදිව පමනක් නොව ඒ මොහොතේ අප අවටද ධනිය ගෝපාලලා බුරුතු ගණනින් සිටින බව අපට පසක් විය. (මෙකලද වෙනසක් නැත. ප්‍රමාණය වැඩිවී තිබේ.) එහෙයින් ධනිය ගෝපාල ලෙස අප සිත්හි සටහන් වූයේ ඉතා නරුමවාදියෙකු පිලිබඳ හැගීමකි. එහෙත්බුද්ධ කාලයේ විසූ ධනිය ගෝපාල එවැනි නරුමයකු නොව ඉතා උතුම් සත්පුරුෂයකු බව පසුව මට වැටහුනේ සුත්ත නිපාතයේ එන ධනිය සූත්‍රය සහ නිකෝ කසන්ට්සාකිස් නම් ග්‍රීක ලේඛකයා ලියූ "සෝබා නම් ග්‍රීකයා" ( Zorba de Greek)  යන නවකතාව කියවීමෙන් පසුවය.

''බත උයාගෙන තිබේ. කිරිදොවාගෙන තිබේ. ගෙය මැනවින් සෙවෙලි කර තිබේ. ගිනි දල්වා ඇත. වැස්ස ඉතින් ඔබට කැමතිනම් වහින්න."' ධනිය සූත්‍රයේ පළමු ගාථාව එපරිදිය. පරාක්‍රම කියන්නේ කුරිරු ධනවාදියෙකුට වැස්ස ගැන එසේ පැවසිය හැකි වුවද රබර් කිරි කපා ජීවත් වන කම්කරු පන්තියේ ස්ත්‍රියකට
 දාව උපන් දරුවෙකුට එසේ කිව නොහැකි බවය. වැසි වැස රබර් ගස් තෙමීගියහොත් හෙට දිනයේ අම්මාට වැඩ නැතිවන බව නියතය. එම නිසා ධනිය ගෝපාල නුඹ නම් කුරිරු ධනවාදියෙකි. අනේ වැස්ස මේ ධනවාදියාගේ කීම නොඅසා පමාවෙලා වැහපන්! පරාක්‍රම තම කවියෙන් කියන්නේ එවැනි කතාවකි. එය කවියාගේ නිදහසය. එහෙත් ධනිය සූත්‍රයේ සහ සෝර්බා නම් ග්‍රීකයා නව කතාවේ එන ධනිය ගෝපාල චරිතය පරාක්‍රමගේ කවියටත් වඩා සමහර අංශවලින් අපගේ ජීවිතය ප්‍රකම්පනය කරන්නාවූ උත්තම චරිතයකි.

දැන් අපි මේ කෙටි සූත්‍රය දෙස බලමු. මෙය බුදුන් වහන්සේ සහ ධනිය ගෝපාල අතර කෙරෙන සංවාදයක ස්වරූපයෙන් ඉදිරිපත් කෙරී ඇත.

 ධනිය ගෝපාල : '' මම සිදුකළ බත් කිස ඇත්තෙමි. දෝනා ලද කිරි ඇතියෙමි. ' මහී ගංතෙර ' සමීපයෙහි අනුකූලපරිජනයා සමග වාස ඇතියෙමි. වාස ගෘහය සෙවෙනි කරන ලදී. මේඝය, ඉදින් රිසියෙහි නම් වැසි වස්ව."

ඉහත දැක් වූ පැරණි බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තනයේ භාෂාව තරමක් දුෂ්කර බැවින් අපි සරල පරිවර්තනයකින් ධනිය සූත්‍රය කියවමු.

ධනිය ගෝපාල :       " (බිරිඳ වන ගෝපිකාව විසින්) අහාරය පිළියෙළ කර ඇත. දෙනුන්ගෙන් කිරි දොවා අවසානය. මේ ගංගා තීරයේ මා හා සමාන අදහස් දරන ජනයා සමග කාලයක් තිස්සේ  වාසය කරමි. නිවස වැස්සෙන් නොතෙමෙන සේ සෙවෙලි කර ඇත. නිවස ගිනි දල්වා එළිය කර උණුසුම් කර ඇත. එහෙනම් වැස්ස, ඔබට ඔනෑ නම් වහින්න ."

බුදුන් වහන්සේ:    " ධනිය, මම කිපෙන තැනැත්තෙක් නොවෙමි. සිතේ ඇතිවන සැකය දුරුකළ තැනැත්තෙක්මි. මෙම "මහී" ගංතෙර අසල එක රාත්‍රියක් පමණක් වාසය කරමි. නුඹගේ කුටිය වසා ඇතත් මගේ කුටිය සැඟවිය යුතු ක්ලේශ ධර්ම නැති බැවින් විවෘතය. වැස්ස ඉතින් කැමති නම් වහින්න."

ධනිය ගෝපාල:     '' මාගේ ගෝපිකාවද මට ඉතා කීකරුය. ආහාරපානාදියෙහි හෝ පර පුරුෂයන් කෙරෙහි හෝ ලොල් බවක් නොදක්වන්නීය.බොහෝ කාලයක සිට ප්‍රිය මනාපයෙන් ඇසුරු කළෙමි. කිසි දිනෙක ඇය කෙරෙහි වරදක් අසන්නට නොලදිමි.වැස්ස ඉතින් කැමති නම් වහින්න". 

බුදුන් වහන්සේ:     "ධනිය, මගේ සිත මට වසඟ විය. සියලු කෙලෙසුන්ගෙන් මිදින. එය බොහෝ කාලයක් පරිභාවිත විය. මොනවට දැමුනේ විය. මම පව් නොකරමි. වැස්ස ඉතින් කැමති නම් වහින්න".

ධනිය ගෝපාල:   " මම මවිසින් සපයාගනු ලබන වැටුපින් ජීවත්වෙමි. මාගේ පුත්‍රයෝද මා සමගම සිටිති. ඔවුන්ගේද වරදක් අසා නැත්තෙමි. වැස්ස ඉතින් කැමතිනම් වහින්න".

බුදුන් වහන්සේ:     "මම කිසිවෙකුටත් දාසයෙක් නොවෙමි. මම දාස භාවයෙන් මිදී මුළු ලොවෙහිම හැසිරෙන්නෙමි. දාසකමින් මට වැඩක් නැත. වැස්ස ඉතින් කැමති නම් වහින්න".

ධනිය ගෝපාල:    " මට නහඹු වස්සෝ සිටිති. දෙන ගේ කිරි බොන වස්සෝද සිටිති. ගැබිණි දෙන්නුද ඇත. ප්‍රවේනි ඝටනා දෙන්නුද ඇත. මේ ගව ගාලෙහි ගවම්පති ගොනුන්ද ඇත. වැස්ස ඉතින් කැමතිනම් වහින්න"

බුදුන් වහන්සේ:  " මට නහඹු වස්සෝ නැත. දෙනගේ කිරි බොන වස්සෝද නැත. ගැබිණි දෙන්නුද නැත. ප්‍රවේනි ඝටනා කරන දෙන්නුද නැත. මෙහි ගවම්පති ගොනුන් ද නැත. වැස්ස ඉතින් කැමති නම් වහින්න".

ධනිය ගෝපාල:  " ගොනුන් බඳින කණු නොසැලෙන ලෙස සිටවා ඇත. මුදු තෘණ වලින් සැදී කඹ සවිකර ඇත. ගොනුන්ට ඒවා කැඩිය නොහැකිය. වැස්ස ඉතින් කැමතිනම් වහින්න"

බුදුන් වහන්සේ:    "බන්ධනයන් බිඳ ගෙන යන වෘෂභයෙකු සේ මද පට කඩාගෙන යන ඇතෙකු සේ මම යලිත් ගෘහ වාසයේ සයනයට නොයමි. වැස්ස ඉතින් කැමති නම් වහින්න".

 එම අවස්ථාවේදී මහා වැසි ඇද වැටෙන්නට විය. මහා වැසි වැටෙන හඬ අසා ධනිය ගෝපාල මෙසේ කීවේය.

ධනිය ගෝපාල: " යම් හෙයකින් අපි භාග්‍යවතුන් වහන්සේ දකින්නෙමුද ඒ නිසා අපට අනල්ප ලාභයක් සිදුවේ. අපි ඔබ වහන්සේ සරණ යමු. ඔබ වහන්සේ අපට ශාස්තෘ වන සේක්වා මගේ බිරිඳද මමද ඉතා කීකරුව බුදුන් වහන්සේ වෙත් ගොස් බ්‍රහ්මචර්යාවෙහි වසන්නෙමි. ජාති ජරා මරණයන්ගෙන් මිදෙන්නෙමු. සියලු සසර දුක් කෙලවර කරන්නෙමු".

එවිට මාරයා මෙසේ කීවේය " පුතුන් ඇති අය පුතුන් නිසා සතුටු වෙයි. ගව හිමියන් ගවයන් නිසා සතුටු වෙයි. උපාදාන (ඇලීම ආශාවන්) මිනිසාට ගෙන දෙන්නේ සතුටකි "

බුදුන්වහන්සේ : ' පුතුන් ඇති අය පුතුන් නිසා දුක් වෙයි. ගව හිමියෝ ගවයන් නිසා දුක් වෙයි. ආශාවන් මිනිසාට ගෙනදෙන්නේ දුකමය. යමෙක් ආශාවන් රහිත වූයේද හෙතෙම ශෝක නොකරයි.

 ධනිය ගෝපාල යනු කාශ්‍යප බුදුන් සමයේ මහා පින්කම් කර ඒ පිනින් ගෞතම බුදුන් සමයෙහිද මිනිසත් බව ලබා ඉපදුන බව විස්තර කෙරේ. ඔහු ජීවත් වූයේ ගොපලු ප්‍රජාවක නායකයකු ලෙස සහ ඉතා සාධාරණ ව්‍යාපාරිකයකු ලෙසය. ඔහු ජීවත් වුන "මහී ගංගා මිටියාවත" මහා වැස්සට යටවී ගංවතුරට බිලිවන බව දිවැසින් දුටු බුදුන් වහන්සේ මේ ගංගා මිටියාවතට වඩින්නේ ධනිය ඇතුළු පිරිස ගංවතුරින් බේරා ගැනීමටය.
මෙහිදී අඹුදරුවන් පිරිවර දැසි දසුන් උප භෝග වස්තු දේපල තිබීම නිසා ධනිය සතුටුව උදම් අනයි. ඒවා කිසිවක් නැති නිසාම බුදුන්වහන්සේද සතුටුව උදම් අනයි. අවසානයේදී ධනිය ගෝපාල ඔහුගේ ජීවිතයේ නිසරු බව වටහා ගනියි. මාරයාට තවදුරටත් ධනියව රැවටිය නොහැකි විය.

මේ ජීවන දර්ශනය සොබා නම් ග්‍රීකයා නවකතාවට එකතු කිරීමට එහි කතුවරයා ප්‍රයත්න දරයි. ධනිය සහ බුදුන් වහන්සේ අතර ඇති වූ මෙම කාව්‍යමය ගීතමය විචිත්‍ර සංවාදය තම නවකතාවට එකතු කළ නිකො ක්සන්ට්සාකිස් එය බටහිර බිහි වූ අපූරු කලා කෘතියක් බවට පත් කළේය.

ධනිය ගෝපාල සුත්‍රය කලාත්මක වස්තු විෂයක් ලෙස ප්‍රයෝජනයට ගැනීමේදී පරාක්‍රමට වඩා ඉදිරියෙන් නිකො කසන්ට්සාකිස්   සිටින බව පෙනේ. එහෙත් පරාක්‍රම "රශ්මි" සහ  "ආලෝක මිනිසා" වැනි කාව්‍ය කෘතීන් කරද්දී බුදු දහමේ එන ජීවන දර්ශනය කාව්‍ය නිමිති කර ගන්නා ශූර භාවය වෙනත් කිසිම කවියකු විසින් දක්වා නැති බව මට සිතෙයි. අදටත් මගේ ප්‍රියතම කවියා පරාක්‍රමය. ඔහු ලියූ සියලු කවි වලට මම කැමතිය.

පසු සටහන- ධනිය සූත්‍රයේ සිංහල පරිවර්තනය වෙනුවෙන් ඉවහල් කරගත්තේ බුද්ධජයන්ති ත්‍රිපිටක පරිවර්තනයත් කිතලගම පඤ්ඤාසීහ  හිමි විසින් රචිත "ගොපලු උදානය' කෘතියත්ය. එම පොත් මට ලබා දුන්නේ ටොරොන්ටෝ මහා විහාරයේ රතනසිරි නාහිමියන් සහ විමලබුද්ධි හිමියන්ය .

සෝර්බා නම් ග්‍රීකයා කෘතිය ඉංග්‍රීසියෙන් කියවූ හිටපු කතානායක අනුර බණ්ඩාරනායක මහතා මෙය සිංහලයට පරිවතනය කරන ලෙස තිස්ස වඩිගමංගාව මහතාට ඇරයුම් කළේය. මා කියවූයේ එම සිංහල පරිවර්තනයයි. එය මට දුන්නේ එකල ලේක් හවුසියේ අප සමග වැඩ කළ මාධ්‍යවේදිනියක වූ දේවිකා වඩිගමංගාව ය. මේ සියලු දෙනාටම තුති !

Friday, 15 March 2013

මා දැන් සැරසෙන්නේ දෙබරයකට ගලක් ගසන්නටය-නූතන රාජ්‍යයේ ආගමික පදනම

මා දැන් සැරසෙන්නේ දෙබරයකට ගලක් ගසන්නටය.

මහාචාර්ය නලින් ද සිල්වා කලක සිට නූතනත්වය හඳුන්වන්නේ 'ක්‍රිස්තියානි නූතනත්වය' ලෙසය. නලින් යනු මට අනුව ශ්‍රී ලංකාවේ බිහි වූ බැරෑරුම් චින්තකයෙකි. මේ අදහසට විරුද්ධ වන අය සිටින බව දනිමි. 'මට අනුව' යැයි පැවසුවේ එහෙයිනි.මහාචාර්ය නලින්ට අනුව මේ වනවිට මුළු ලෝකයම 'ක්‍රිස්තියානි නූතනත්වයට' යට වී ඇත. ලංකාවේද දැන් පවතින්නේ සිංහල බෞද්ධ සංස්කෘතියක් නොව 'ක්‍රිස්තියානි නූතනත්ව' සංස්කෘතියකැයි ඔහු මේ ළඟදී ලියා තිබිණි.

මහාචාර්ය නලින් අපට සැමදා බුද්ධිමය අභියෝගයක් විය. එහෙයින්ම ඔහු දිගින් දිගටම කියා සිටින මේ අදහසින් පොලඹවනු ලැබීමෙන් නූතනවාදයේ ආගමික පදනම ගැන සොයන්නට මගේ විවේක කාලයෙන් වැඩි වෙලාවක් යෙදෙව්වෙමි. මහාචාර්ය නලින් යෝජනා කරන මෙම අදහස ලංකාවේ වැඩි දෙනා සැලකිල්ලට ගන්නා බවක් නොපෙනේ.( ඔහු ඉදිරිපත් කරන බොහෝ අදහස් සමාජය පිළිගන්නේ කලක් ගතවීමෙන් පසු බව මගේ අත්දැකීමය.) කෙසේ වුවද නූතනත්වයේ ආගමික පදනම ගැන ලංකාවෙන් පිටදී ලියවුනු ශාස්ත්‍රීය ලේඛන බොහොමයක් මට කියවන්නට ලැබිණි. එම කියවීම් තවම අවසන් නැත. ඒ අනුව මේ ලිපි පෙලෙන් ඉදිරිපත් කරන අදහස් තනිකරම මගේ ඒවා නොවන බැවින් සමහර තැන් වලදී සමහර චින්තකයන්ගේ නම් සහ පොත් පත් ගැනද සඳහන් කරන්නට සිදුවනු ඇත.

අමෙරිකාවේද රුසියාවේද ඉතියෝපියාවේද ශ්‍රී ලංකාවේද මුළු ලෝකයේම ද දැන් තිබෙන්නේ නූතනවාදයේ ප්‍රතිපලයක් ලෙස බිහි වූ 'ජාතික රාජ්‍යයන්'ය. නූතනවාදය යටත්විජිතකරණය ඔස්සේ ලංකාවට පැමිණීමට පෙර ලංකාවේ රාජ්‍යයක් තිබුනද එය නූතනවාදී අර්ථයෙන් වන ජාතික රාජ්‍යයක් නොවිණි.දැන් අප සලකා බලන්නට යන්නේ එසේ ලෝකය පුරා ජාතික රාජ්‍ය බිහි කළ නූතනවාදයට ආගමික පදනමක් තිබේද තිබේ නම් ඒ කුමක්ද යන්නය.

'ප්‍රොතෙස්තන්ත සදාචාරයෙන්' ඔබ්බට............

එවැන්නක් සොයා බලන්නෙකුට ධනවාදයේ නැගීමට ප්‍රොතෙස්තන්ත ව්‍යාපාරය බලපෑ අකාරය ගැන 'ප්‍රොතෙස්තන්ත සදාචාරය සහ ධනවාදයේ සාරය' (The Protestant Ethic and the Spirit of Capitalism)
යනුවෙන් ධනවාදයේ නැගීමට ක්‍රිස්තියානිය පිටිවහල් වූ සැටි විස්තර කරමින් මැක්ස්වෙබර් පඬිවරයා ඉදිරිපත් කළ අදහස් වලින් ඔබ්බට යන්නට සිදුවනු ඇත. මන්දයත් ධනවාදය යනු නූතනත්වයේ එක අංගයක් පමණක් බැවිනි. නූතනවාදය යනු ධනවාදය පමණක් නොවන බැවිනි. නූතනත්වයේ ආගමික පදනම වනාහී ධනවාදයට මාවත හෙළි කළ ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානියට වඩා දුරකට ඇදී යන්නකි.

ආගම් විසින් සිදුකරනු ලබන එක කටයුත්තක් වන්නේ මිනිසාට තමන් ජීවත්වන ලෝකය සහ විශ්වය ගැන යම් අදහසක් ඉදිරිපත් කිරීමය. එහෙයින් බොහෝ ආගම්වල විශ්වයේ ඇතිවීම නැතිවීම ගැන ප්‍රවාදයන් තිබේ.එනම් එක් එක් ආගමට තමන්ගේම වූ විශ්වවේදයක් (cosmology) තිබේ. එක් එක් ආගම්වලට ඇත්තේ එක සමාන විශ්වවේදයන් හෙවත්  කොස්මොලොජීන් නොවේ. බෞද්ධ කොස්මොලොජියට වඩා ක්‍රිස්තියානි කොස්මොලොජීය වෙනස්ය. ලෝකයේ ඇතිවීම නැතිවීම ගැන කියන්නේ එකිනෙකට වෙනස් කතාන්දරයකි. නූතනවාදයේ ආගමික පදනම වටහා ගැනීමට මේ ආගමික කොස්මොලොජීන් දෙස හැරීමට අපට සිදුවේ.
මෙසේ වූ ආගමික කොස්මොලොජීන් චක්‍රීය කොස්මොලොජීන් සහ රේඛීය කොස්මොලොජීන් වශයෙන්  ප්‍රධාන වර්ග දෙකකට බෙදිය හැකිය. චක්‍රීය විශ්වවේදයන් විශ්වයේ සහ  ලෝකයේ ආරම්භයක් සහ අවසානයක් ගැන කතා කරන්නේ නැත. එය කතා කරන්නේ නිරන්තරව සිදුවන වෙනස්කම් ගැන පමණි. ඒවාට අනුව ලෝකයේ සහ විශ්වයේ පවතින්නේ වෙනස්වීම් ප්‍රවාහයක් සහිත චක්‍රීය විපරිනාම ක්‍රියාවලියකි.ඇරඹුමක් හෝ අවසානයක් නැත. බුදු දහමේ එන 'සංවට්ට කප්ප- විවට්ට කප්ප' සංකල්පය උදාහරණයකි. හින්දු සමයද බොහෝ දුරට චක්‍රීය විපරිනාමය අනුව ලෝකය විග්‍රහ කරන්නේ යයි මට සිතේ. හින්දු  සමය සහ බුදුසමය යෝජනා කරන්නේ මේ චක්‍රයෙන් ඉවත්වීමෙන් සත්වයාට / මිනිසාට විමුක්තිය සාදාගත හැකි බවය. ක්‍රිස්තියානිය පැමිණීමට පෙර යුරෝපයේද විශ්ව දැක්ම තරමක් මෙයට සමානව තිබූ බව ප්ලේටෝ වැනි දාර්ශනිකයන්ගේ රචනා දෙස බලන විට පෙනේ.

ආරම්භයක් සහ අවසානයක් තිබේ?

එයට වෙනස්ව රේඛීය විශ්වවේදය කියන්නේ ලෝකයට ආරම්භයක් සහ අවසානයක් ඇති බවය. අගක් මුලක් තිබෙන බවය.මෙය ක්‍රිස්තියානි ආගමේ එන අදහසකි.ක්‍රිස්තියානියට අමතරව එම අදහස් කියන තවත් ආගම් තිබේ.
මේ රේඛීය සංකල්පය අනුව යමින් ක්‍රිස්තියානි දහම විසින් මිනිසාගේ ඉතිහාසය යනු  ටීලියෝලොජිකල් ප්‍රවාහයක් ය (teleological process-අන්ත සාද්යතා ප්‍රවාහයක්) යන අදහස මතුකර තිබේ. telos යන ග්‍රීක වදනේ අර්ථය 'අවසානය' යන්නය. ඉංග්‍රීසි අර්ථය අවසානය යන අර්ථයට අමතරව 'කිසියම් ප්‍රවාහයක් විසින් සපුරාලන අවසාන ඉලක්කය' යන අර්ථයද ඇත. මේ තේරුම් දෙකම එකට ගත් කල මනුෂ්‍යාගේ ඉතිහාසය යනු කිසියම් ඇරඹුමක සිට කිසියම් අවසාන ඉලක්කයක් සපුරා ගැනීම වෙනුවෙන් ගමන් ගන්නා මිනිසාගේ කතාව ලෙස දැක්විය හැකිය. මේ ආගමික විශ්වවේදය බටහිර දේශපාලන චින්තනය ඇතුලත ක්‍රිස්තියානි දහම විසින් තහවුරු කළ අකාරය ඉතා රසවත් කතාවකි.

එය ඉදිරි ලිපියකින්...........  

Thursday, 14 March 2013

ආගම පසු බසින්නට සූදානම් නැත

නූතන රාජ්‍යය ගැන විමසන මෙම ලිපි පෙළට අත්‍යවශ්‍ය පෙරවදනක් ලෙසින් මෙම සටහන ඉදිරිපත් කෙරේ.

බහු දේව වාදය රජකළ ග්‍රීක සහ පෙරදිග පූර්ව නූතන රාජ්‍ය සමයේ දේශපාලනයට වඩා නූතනවාදයේ දේශපාලනය වෙනස්ය. ඒ දෙවියන් නැති නිසා නම් නොවේ. දේශපාලන භූමිය දෙවියන් වැඩි දෙනා විසින් හවුලේ භුක්ති විඳිනු වෙනුවට එය තමන්ට පමණක් අත් පත් කර ගැනීමට දෙවියන් දෙතුන් දෙනෙකු පොරකන නිසාය.

නූතනවාදයේ 'මහා උදාන වාක්‍යය' වූයේ ආගමින් දේශපාලනය වෙන් කිරීමට නූතනවාදය සමත් වූ බවය.ලව්කිකවාදය (secularism) කිරුළු පැළන්දූ බවය.ප්‍රංශ විප්ලවය මේ උදානයේ දේශපාලන සංකේතය විය. එහෙත් නූතන වාදයට ගැලවිය හැකි වූයේ ආගමේ පිට පොත්ත පමණි.ආගමේ හරය එලෙසින්ම දේශපාලනය ඇතුලෙහි ඉතිරි විය. "දෙවියන්ගේ දේවල් දෙවියන්ටත් සීසර්ගේ දේවල් සීසර්ටත්" දෙන ලෙස පැවසුවද දෙවියන් එය ඇහුවේ නැත. යුරෝපයේ විප්ලව සමයේදී ඉස්සරහ දොරින් පලාගිය දෙවියෝ නැවතත් පස්ස දොරින් දේශපාලන කරලියට වැඩම කළහ.

බටහිර පෙරදිග භේදයකින් තොරව ආගම දේශපාලනය ඇතුළට කඩාවැදීම කිසිවිටෙකත් 'පශ්චාත් නූතන තත්වයක්' නම් නොවේ. ගෝලීයකරණයේ නිශේධනීය ප්‍රතිපලයක්ද නොවේ. එය ආගම් බිහි වූ දා සිටම සිදු වූ සන්තෑසියකි. ආගම තවම දේශපාලනයෙන් විශ්‍රාම ගන්නට සූදානම් නැත. නූතනවාදයට දෙවියන් දේශපාලනයෙන් පිටමන් කළ නොහැකි වූයේ ඇයි? නූතන වාදයද දෙවියන්ගේ තවත් අවතාරයක් වූ බැවිනි. නූතනවාදය වනාහී ආගම තවත් ආකාරයෙන් (religion by other mean) ක්‍රියාත්මක කිරීමක් විය.
ඉදිරියට ............

Tuesday, 12 March 2013

පෙරදිගට අපරදිග මුණගැසීම (ඉතිහාසයෙන් ඔබට ගැලවීමක් නැත - 2 කොටස )

 
'යා දෙක නොරත රත - සමග පෑහීමක් නැත' කියන්නා සේ පෙරදිග සහ අපරදිග කිසිම සම්බන්ධයක් පැවතුනේ නැතිද? දහනව වන ශත වර්ෂයේ එංගලන්තයේ ජීවත් වූ රඩ්යාඩ් කිප්ලින් කවියා ඉහත කී අකාරයේ කව්යෝක්තියක් හැදුවේය.

"පෙරදිග පෙරදිගය - අපරදිග අපරදිගමය
මේ දෙදෙන කිසිදිනෙක- ඔවුනොවුන් හමු නොවෙතිය".

Oh, East is East and West is West, and never the twain shall meet,
Till Earth and Sky stand presently at God's great Judgment Seat;
But there is neither East nor West, Border, nor Breed, nor Birth,
When two strong men stand face to face, though they come from the ends of the earth!

මේ කවියේ මුල් පදයෙන් කිප්ලින් එසේ කීවාට වැඩ සිද්ද වුනේ ඒ අයුරින්ම නොවේ. පූර්ව නූතන රාජ්‍යය සමයෙහි පෙරදිගත් අපරදිගත් සිදු වූයේ සමාන සිදුවීම්ය.
පෙරදිග රාමායනය සහ මහා භාරතය යන වීර කාව්‍ය බිහිවන විට අපරදිග ඉලියඩ් සහ ඔඩිසි යන වීර කාව්‍ය බිහි විය. රාමායනයේ විස්තර වන්නේ රාම රාවන යුද්ධයයි. ඉලියඩ් හි විස්තර වන්නේ ට්‍රෝජන් යුද්ධයයි. රාමායණයෙහි එන යුද්ධයට හේතුව වන්නේ අන් සතු ස්ත්‍රියක් පැහැර ගෙන යෑමය. ඉලියඩ් හි යුද්ධයට හේතුවද එයමය. රාමාගේ බිරිඳ සුරූපී සීතාව රාවනා පැහැර ගෙන යයි. අගමෙම්නන් රජුගේ සොහොයුරාගේ බිරිඳ වන සුරූපී හෙලන් ව ප්‍රියාම් රජුගේ පුත් පැරිස් පැහැරගෙන යයි. රාමායනයෙහි යුධ වීරයා රාමය. ඉලියඩ් හි යුධ වීරයා අචිලීස්ය. දෙවි වරුද ද බටහිර පෙරදිග භේදයකින් තොරව යුද්ධයට සම්බන්ධ වූහ. ඔලිම්පස් ආදී කඳු මුදුන් වල සිට බටහිර දෙවිවරු ට්‍රෝජන් යුද්ධය මෙහෙය වූහ. රාම-රාවන යුද්ධයේදී පෙරදිග දෙවිවරු කෙලින්ම යුධ බිමට පැමිණියහ.

මේ පුරාවෘත්ත වලින් කියවෙන්නේ පෙර අපරදිග භේදයකින් තොරව පූර්ව නූතන යුගයෙහි මිනිසුන්ගේ ලෝක දැක්මෙහි තිබූ සමාන ස්වරූපයයි. භවුතිකව හමු නොවුනාට චින්තනමය වශයෙන් පූර්ව නූතන රාජ්‍යයේ වැසියාගේ දේශපාලන අදහස් වල සමානත්වයක් තිබිණි.

 පෙරදිග අප විස්මිත විශ්මිත ශිෂ්ටාචාර ගොඩ නගන සමයෙහි බටහිර ජාතීන් තනිකරම ගල්ගුහා වල පමණක් ජීවත් වූයේ නැත. ඔව්හුද එවැනිම ශිෂ්ටාචාර ගොඩ නැගූහ. එසේම පෙරදිග සමහර සමහර මිනිස් සමාජ දඩයම් කරමින් ගල් ගුහා වල වාසය කරද්දී අපරදිග සමහර සමාජ වල ජන කොටස්ද එසේම වූහ. මේ වනගත සමාජයන්හි නෂ්ටාවශේෂ අදත් පෙර අපර දෙදිගම දැක ගැනීමට ඉතිරි වී තිබේ. පෙරදිග ඉන්දියාවේ දියුණු ශිෂ්ටාචාරයක් ඇතිවන වකවානුවේ බටහිර ග්‍රීසියේද ඊට නොදෙවෙනි දියුණුවක් ඇති විය. පෙරදිග බුදුන් වහන්සේ, ජින මහාවීර, චානක්‍යය බිහිවන විට බටහිර සොක්‍රටීස්,ප්ලේටෝ ඇරිස්ටෝටල් බිහි වූහ.

ප්‍රජාතන්ත්‍රවාදය ඇරඹුණේ ග්‍රීසියේ ඇතන්ස් රාජ්‍යයෙන් පමණක් නොවේ. ලිච්චවින්ගේ ගණතන්ත්‍ර පාලනයද ප්‍රජාතන්ත්රයකි.අපේ රටේ තිබූ වරිග සභාවද ප්‍රජාතන්ත්රයකි. ප්‍රජාතන්ත්‍රය වනසමින් අධිරාජ්‍යය හැදුවේ බටහිර ඇලෙක්සැන්ඩර් විතරක් නොවේ. බුදුන් සරණ ගිය පෙර දිග අජාසත්තද ලිච්චවින් පරදවා මගධ අධිරාජ්‍යය පළල් කළේය.

පූර්ව නූතන රාජ්‍ය යුගය පිලිබඳ කව්යෝක්තිගත අගතීන් ගෙන් තොරව බලන කල පෙනෙන චිත්‍රය එවැන්නකි. භූ ගෝලීය වශයෙන් දුරස් වුවද පූර්ව නූතන රාජ්‍යය සම්බන්ධයෙන් පෙරදිගත් බටහිරත් ඇත්තේ සමානකම්ය.

අපරදිග සම්බන්ධයෙන් සමහර ජාතික වාදීන්ද පෙරදිග සම්බන්ධයෙන් සමහර නූතනවාදීන් ද තම දේශපාලන අගතීන් වැපිරීමට ඉතිහාසය කෙලි මඩලක් කර ගන්නා ආකාරය අපි දිනපතා අත් දකිමු. මේ අගතීන් ඔස්සේ යමින් අපට සිදු වන්නේ කුමක්ද යන්න වටහා ගත නොහැකිය.

මිනිසා නිර්මාණය කර ගන්නා අනෙක් සෑම සමාජ ආයතනයක් මෙන්ම රාජ්යද වෙනස් වන සමාජ ආයතනයකි. රාජ්‍යයේ ස්වභාවයද ඉතා හෙමින් නමුත් වෙනස් වෙයි. පූර්ව නූතන, ආසියාතික රාජ්‍යය වෙනස් වී නූතන රාජ්‍යය බිහි විය. අප මේ ජීවත් වෙන්නේ එම නූතනත්ව රාජ්‍යයද වෙනස් වීමකට අවතීර්ණ වී තිබෙන සමයකය. ඒ කුමන වෙනස් වීමක්ද යන්න ඉදිරියට සාකච්චා කරමු. ඒ සදහා ඉතිහාසයෙන් නූතන රාජ්‍යය දෙසට හැරෙමු.

Sunday, 10 March 2013

ඉතිහාසයෙන් ඔබට ගැලවීමක් නැත (පළමුවන කොටස )

වර්තමානය යනු අතීතයේ දරුවෙකි. අද සිටින ඔබ නිර්මාණය වූයේ ඊයේ ඔබගේ ඉතිහාසය මගිනි. ( මෙතන ඉතිහාසය යනු 'අතීතය' 'යටගියාව' යන අරුතින් යොදා ඇත. ) ඔබ ඔබට ගරු කරන්නේනම් ඔබේ ඉතිහාසයටද ගරු කරන්න. එහෙත් ඉතිහාසයට ගරු කිරීම යනු ඉතිහාසය කවියට නැගීම නොවේ. කවිය සහ කාව්‍යෝක්තීන් අපට අවශ්‍යය. එහෙත් ජීවිතය තේරුම් ගැනීම කාව්යෝක්තීන්ගෙන් පමණක් කළ නොහැකිය. නැවතත් ඉතිහාසය දෙසට හැරෙමු. ඉතිහාසයෙන් ඔබට ගැලවීමක් නැත. ඔබේ සෙවනැල්ල ඔබ සමගම එන්නේ යම්සේද ඉතිහාසයත් ඔබ සමග පැමිණෙනු ඇත.

ඔබ අන්ධකාරය දෙසට පියනගන කල ඉතිහාසය නමැති ඔබගේ සෙවනැල්ල සියලු කාව්‍යෝක්තීන් සමගින් ඔබ ඉදිරියෙන් ගමන් කරමින් ඔබ දූ කෙළියෙහි, දුරාචාරයෙහි, අවේලාවේ වීදි සංචාරයේ යොදවන පාප මිතුරෙකු සේ අන්ධකාරයට ගමන් කරනු පිණිස ඔබට මග පෙන්වයි. ඔබ ආලෝකය දෙසට ගමන් කරනවිට ඉතිහාසය නමැති ඔබේ සෙවනැල්ල කාව්‍යෝක්ති පසෙකලා විචාර බුද්ධිය සමගින් ඔබේ කල්‍යාණ මිත්‍ර ගුරුවරයකු සේ ඔබ පිටුපසින් හිඳිමින් ඔබට දිරි දෙමින් ඔබ පසු පසින් ගමන් කරනු ඇත. මේ තත්වය පුද්ගලයන්ගේ ඉතිහාසයට මෙන්ම රාජ්‍යයන්ගේ ඉතිහාසයටද අදාලය. කාව්‍යෝක්ති පමණක් ඉතිහාසය ලෙස සලකන රාජ්‍යය යන්නේ අඳුරටය. තම ඉතිහාසය විචාර බුද්ධියෙන් පිළිගන්නා රාජ්‍යය ආලෝකය දෙසට ගමන් කරයි.

සමහර නූතනවාදීන් කියන්නේ බටහිර ජාතීන් අපේ රටට එන්නට කලින් අප නිකම්ම නිකන් බයියන් පිරිසක් ලෙස ජීවත් වූ බවය. හරි හමන් දැනුමක් නැතිව හරියට අදින්නට පළදින්නට දන්නේ නැතිව නීතියක් රීතියක් චාරිත්‍රයක් දන්නේ නැතිව උපන්නාට මේ ලොව වැනෙනවා ලෙසින් ජීවත් වූ රිලා මොටයි පිරිසක් බවය. ඉතිහාසයට ගරහන්නේ එලෙසය! අනේ අතට සමහර ජාතිකවාදීන් සහ දේශප්‍රේමීන් කියන්නේ අප ඉතා ස්වර්ණමය අතීතයක සිට ක්‍රමයෙන් පරිහානිය කරා ගමන් කරන බවත් එම අතීත ශ්‍රී විභූතිය යලි අත් පත්කර ගැනීමට නම් අප අපගේ ඔරලෝසුව ආපස්සට කරකැවිය යුතු බවත්ය.  ඉතිහාසය කවියට නගන්නේ එලෙසය!.

 "අප සාගරය පරයන මහා වැව් දාගැබ් සහිත ශිෂ්ටාචාරයක් හදද්දී බටහිර ජාතීන් (සුද්දන් ) දඩමස් පලහා කමින් ගල් ගුහා වල වැද්දන් සේ ජීවත්වූ'' කතාව අප සිය දහස් වර අසා ඇත්තෙමු. මෙය වනාහී අපේ රාජ්‍යයේ ඉතිහාසය පිලිබඳ නිතර පට්ට ගසන කාව්යෝක්තියකි.'පට්ට' පට්ටන්දරයකි. කවියකි. මේ කවිය අපට මුලින්ම කිව්වේද සුද්දෙක්ය යන කාරණයද අමතක කරමින් සුද්දන්ගේ ඉතිහාසයට ගරහා අපේ ඉතිහාසය උඩ දැමීමට මේ කවිය නිතරම කියමු.

මේ කවිය මුලින්ම කිව්වේ18 වන ශත වර්ෂයේ බ්‍රිතානයේ සිටි කොන්සර්වටිව්වාදී මන්ත්‍රීවරයකු වූ එඩ්මන්ඩ් බර්ක්ය.බර්ක් එසේ පැවසුවේ ඉන්දියාවේ ජනතාව ගැනය. " a people for ages civilized and cultivated... while we were yet in the woods"යනුවෙන් ඔහු පැවසුවේ පෙරදිගට ශිෂ්ටාචාරය රැගෙන ගියේ තමන් විසින්ය යන මානයෙන් ඔලුව උදුම්මාගෙන හිටි සමහර සුද්දන්ගේ මානය බිඳ දැමීමටය. එහෙත් එංගලන්තයේ දී කිව් මේ කතාව වැඩියෙන් ජනප්‍රිය වූයේ එම රටේදීටත් වඩා ඉන්දියාවේය. ඉන්දියාවෙන් අප ශ්‍රී ලන්කාවටද පැමිණ අප රටෙත් වඩාත් ජනප්‍රිය යෙදුමක් විය.
 
නූතනත්ව යුගයට පෙර සුද්දාට ශිෂ්ටාචාරයක් තිබුනේ නැතැයි සමහර ජාතිකවාදියෝ කියති.

නූතනත්ව යුගයට පෙර අපට ශිෂ්ටාචාරයක් තිබුනේ නැතැයි සමහර නූතනවාදීයෝ කියති.

මේ දෙගොල්ලොම තරගෙට කවි කියති.

 ඊ ළඟ කොටසින්........ පෙරදිගට අපරදිග මුණගැසීම

Wednesday, 6 March 2013

ඔහොම යනකොට මටත් එහෙම වෙන්න හිතෙනවා

අපේ කට්ටිය කැම්පස් එකේ කැන්ටිමේ කොනේ මේසෙට තමයි එකතුවෙන්නේ. මේ කණ්ඩායමේ ඉන්නවා ජාතික චින්තන කාරයෙක්. එතකොට පශ්චාත් නූතන වාදියෙක්. තව.. මාක්ස්වාදියෝ දෙන්නෙක්. එයින් එක්කෙනෙක් ජාතීන්ගේ ස්වයන්තීරන අයිතිය එහෙම පිළිගන්න පොදු වාමාන්ශිකයෙක්. අනිත් එක්කෙනා ටිකක් ජවිපෙට හිතවත් වාමාන්ශිකයෙක්. තව එතන ඉන්නවා මේ මොනම මතවාදයකටවත් සම්බන්ධ නැති 'අලයෝ' කියල හඳුන්වන දෙතුන්දෙනෙකුත්.

මේ අය අතර වෙනස් මතවාද තිබුනත් කට්ටිය හොඳ යාළුවො. (දේශපාලන මතවාද නිසා කවදාවත් ගහගන්නේ නැහැ). ඔන්න කට්ටිය සින්දු කියනවා. අලය තමයි ගොඩක් සින්දු දන්නේ.අලය සින්දුවක් කියනවා දීපාල් සිල්වාගේ. මෙහෙම ...

ආනන්ද භවන් . න්. න් ..
ආනන්ද භවන් එකට ගිහින් තෝසේ  ගිලිනවා
එලියට ඇවිදින් යාපනේ දෙමළුන්ට බනිනවා ..
ආනන්ද .. අ .. අ.. අ.. .අ.. අ .. අ භවන්

අලයට එක පාරටම සින්දුව නවත්වන්න වුනේ ජාතික චින්තන කාරයගේ සද්දේ නිසා.

චින්තනයා -'' ඒයි ඔය සින්දුව නවත්තපන් ඕක දෙමල ජතිවාදෙට කත් අදින සින්දුවක් "

මේ කතාවට වාමන්ශිකයට අප්සට්.

වමා -"ඇයි සිංහල මිනිස්සු එහෙම නැහැ කියලද උඹ කියන්නේ?''
චින්තනයා -'' එකෙක් දෙන්නෙක් එහෙම ඇති. ඒක පොදු තත්වය නෙමෙයි. නමුත් මේ සින්දුවේ තියෙන්නේ සිංහලයට එරහි මතවාදයක් "

පශ්චාත් නූතනවාදියත් කට ඇරියා.

ප.නූ.වාදියා -' ඇයි සිංහලයට එරෙහි මතවාදයක් තියෙන්න බැරිද ?
චින්තනයා -''තියෙන්න පුළුවන් ක්‍රියාත්මක කරන්න දෙන්න බැහැ මේක සිංහලයන්ගේ රට"
වමා- ''මේ රට සිංහලයන්ගේ විතරද ? එතකොට දෙමල- මුස්ලිම් එවුන් අල්ලලා මුහුදට දාන්න කියලද උඹ කියන්නේ ?ඕක තමයි යකෝ ෆැසිස්ට් වාදේ කියන්නේ ?'
චින්තනයා - 'අපි එහෙම කියන්නේ නැහැ. නමුත් රටක් ගත්තහම අනන්‍යතාවක් තියෙනවා. මේ රටේ අනන්‍යතාවය සිංහල බවුද්ධ. ඒකට කවුරුත් ගරු කරන්න ඕනි "
වමා - "රටවල් වලට ඔහොම අනන්‍යතාවක් කියල එකක් නැහැ බන් "

චින්තනයා - '' මොකද නැත්තේ ? උඹලට ඉතින් යමක් පැහැදිලි කරලා දෙන්න පිට රටින්ම උදාහරණ දෙන්න ඕනි නේ. බලපන් එංගලන්තේ ඇමෙරිකාව කියන්නේ ඉංග්‍රීසි ක්‍රිස්තියානි රටවල්. එතකොට ප්‍රංශය කියන්නේ ප්‍රංස කතෝලික රටක්. ජර්මනිය ඇවිල්ල ජර්මන් ක්‍රිස්තියානි රටක්. ඉන්දියාව හින්දු රටක්.පාකිස්තානේ මුස්ලිම්. ඒවා තමයි ඒ රටවල අනන්‍යතාවය. ඒ රටවල් වල ඉන්නවනම් ඒ අනන්‍යතාවය පිලි අරගෙන ඉන්න ඕනි. ඒ වගේ තමයි ලංකාවත්. මේක සිංහල බවුද්ධ අනන්‍යතාවක් තියෙන රටක්.''
ප. නූ. වාදියා -'' ඔය කියන අනන්‍යතාවන් හැදුනේ කොහොමද කියල කියන්න පුලුවන්ද ?
චින්තනයා -' ඒක හැදෙන්නේ දවසකින් දෙකකින් නොවෙයි . ඉතිහාසේ අවුරුදු සිය දහස් ගණනක් ක්‍රියාවලියක් ඔස්සේ. මේ රටේ සිංහල බවුද්ධ වුනෙත් එහෙම ලොකු ඉතිහාසයක් ඔස්සේ.''
ප.නූ.වාදියා - '' මොන කෙහෙම්මල් ඉතිහාසයක් වත් ඔතන නැහැ. ඔය ජාතික අනන්‍යතාවන් කියන ඒවා හැදෙන්නේ ලෝකේ ධනේශ්වර ක්‍රමයේ නැගීමත් එක්ක. ලංකාවේ ඔය කියන ජාතික අනන්‍යතාව අපට තේරුම් ගන්න වෙන්නේ පශ්චාත් යටත් විජිත කතිකා සන්දර්භයක් තුලයි.
අලයා - '''මොන මගුලක් කියනවද කියල තේරෙන්නේ නැහැ බන්. සරල සිංහලෙන් කියපන්කො.''
වමා - ''ඒ කියන්නේ ලංකාවේ සිංහල කියන අනන්‍යතාව හැදෙන්නේ ඉතිහාසේ බොහෝ දුර ඉඳල නොවෙයි කියන එකයි. යටත් විජිත වාදෙන් පස්සේ තමයි ලංකාවේ ධනේශ්වර කරමය හැදෙන්නේ ධනේශ්වර ක්‍රමය සමග තමයි ජාතිය කියන එක හැදෙන්නේ'' .

ජවි පෙ සහෝදරයත් කතාවට එකතුවුනා
ජෙප්පා- '' ඔවු ජාතිය හැදෙන්නේ ධනේශ්වර ක්‍රමය එක්කයි ඊට කලින් ජාතිය බිහිවෙන්න විධියක් නැහැ. "
අලයා- ' එතකොට ඊට කලින් හිටියේ කවුද ?
ජෙප්පා - "ඊට කලින් වහල් සමාජයේ හිටියේ ගන ගෝත්‍ර , වැඩවසම් සමාජේ වෙනකොට ඒවා ජනවර්ග වුණා. විජේවීර සහෝදරයාගේ පොතේ ඕක හොඳට පැහැදිලි කරලා තියෙනවා. ලංකාවේ ජාතිය තවම හරියට හැදිලා නැහැ. තියෙන්නේ ජනවර්ග. එහෙම නැත්නම් ජාතිකත්වයන් ''
චින්තනයා - ''එතකොට සිංහල කියල ජාතියක් නැහැ?
වමා - 'ඔවු' සිංහලයෝ කියන්නේ ජනවර්ගයක් .
චින්තනයා - 'එතකොට මොකද උඹල දෙමල ජාතියේ ස්වයන් තීරණ අයිතිය පිළිගන්නේ?
වමා- ඒක දෙමල මිනිස්සුන්ගේ අයිතියක් නිසා. පීඩිත ජාතියේ ස්වය්න්තීරන අයිතියට අපි ගරු කරනවා .
චින්තනයා - 'ඒ කියන්නේ උඹලට සිංහලයෝ කියන්නේ ජාතියක් නොවෙය් නිකම්ම නිකන් ජනවර්ගයක් . හැබැයි අන්න ඒකට දෙමළ! ඒක නම් උඹලට නම් නියම ජාතියක් . දෙමලට ස්ව්‍යන්තීරණේ දෙන්න ඕනි. ඒකනේ උඹල කියන්නේ.? ඔන්න ඕක තමයි යකෝ නියම ෆැසිස්ට්වාදෙ''
ප. නූ. වාදියා - එතකොට උඹ කියන්නේ ලංකාවේ ඉන්න ජාතිය සිංහල කියලනේ එතකොට දෙමල, මුස්ලිම් ඒ අය කවුද ?
චින්තනයා - ' ඒ අය ජනවර්ග. ජාතීන් නොවෙයි .
වමා - "එතකොට සිංහල විතරයි ජාතිය ! දෙමල මුස්ලිම් ජාතීන් නොවයි. ඕක තමයි යකෝ ෆැසිස්ට් වාදේ කියන්නේ ?'
ජෙප්පා - '' අපි නම් ඔය ස්වයන්තීරන අයිතිය පිළිගන්නේ නැහැ '
ප නු.වා - ''ඇයි උඹලා මාක්ස්වාදියෝ නේද ?
ජෙප්ප- ''අපි මාක්ස්වාදියෝ තමයි. එත් අපි මේ සංකල්පය පිළිගන්නේ අවස්තානුකූලවයි. පන්ති දේශපාලනයට යටත් කරලා.''
වමා - ''ඕකට කියන්නේ මක්ස්වාදේ නෙමෙයි අවස්ථාවාදේ.''
ජෙප්පා - ''උඹ ඉන්නේ පොතේගුරුවාදේ''
ප. නු. වාදීයා - ''උඹලගේ ඔය මතවාදෙත් අන්තිමට සේවය කරන්නේ මහජාතියේ ෆැසිස්ට් වාදෙට''.
චින්තනය - ' මේ රටේ සිංහල මහා ජාතිය කවදාවත් ෆැසිස්ට්වාදී වෙලා නැහැ . ෆැසිස්ට්වාදෙට''  ගිහිං තියෙන්නේ දෙමල මුස්ලිම් අයගේ දේශපාලනෙයි. ඒ ෆැසිස්ට් වැඩේ සාධාරණය කරන උඹලගේ ඔය මතවාදේ සේවය කරන්නෙත් ෆැසිස්ට්වාදෙට''
අලයා - ''මොකක්ද බන් ෆැසිස්ස්ට් වාදෙ කියන්නේ ?
කිහිපදෙනෙක් - ''ෆැසිස්ට් වාදෙ කියන්නෙත් ජාතිවාදෙට''
අලය -''මල කෙලියයි! දැන් බලාගෙන යනකොට මම ඇරුනම මෙතන ඉන්න ඔක්කොම ජාතිවාදියෝනේ. ඔහොම යනකොට මටත් ජාතිවාදියෙක් වෙන්න හිතෙනවා.''


 

Tuesday, 5 March 2013

හුදෙකලාව පියනගන්න (එක්ල චලෝ...එක්ල චා ..ලේ එක්ල චලෝ..එක්ල චලෝ රේ ....)

 

හුදෙකලාව පියනගන්න (එක්ල චලෝ...එක්ල චා ..ලේ එක්ල චලෝ..එක්ල චලෝ රේ ....)

චන්ද්‍රරත්න බණ්ඩාර ඇතුළු අප හිත මිතුරන් පිරිසක් ලබන මැයි මාසේ 04 වෙනිදට ටොරොන්ටෝ හි ඉතා වැදගත් සංස්කෘතික වැඩක් කරන්නට සැරසෙනවා. ඒ තමයි ' තාගෝර් සැන්දෑව '! ඉන්දියානු මහා කවි රවින්ද්‍රනාත් තාගෝර් අනුස්මරණය වෙනුවෙනුයි මේ තාගෝර් සැන්දෑව පැවැත්වෙන්නේ. තාගෝර් කියන්නේ ඉන්දියාවට පමණක් නොවෙයි මුළුමහත් ලෝකයටම අයිති කවියෙක්. එත් ඉන්දියාවට, බංග්ලාදේශයට සහ ශ්‍රී ලංකාවේ අපට තාගෝර් විශේෂයෙන් වැදගත් වෙනවා.

 අසිරිමත් ඉන්දියානු නිදහස් අරගලයේ සංස්කෘතික බල කනුව වුනේ තාගෝර්. ඉන්දියානු නිදහස් අරගලයට හදවතක් බද්ධ කලේ ඔහුයි. ඔහු අයිති බෙන්ගාලයට. ඔහුගේ මව් භාෂාව වංග. සිංහල සුභාවිත සංගීතය අද තිබෙන මට්ටමට පැමිණ තිබෙන්නේ 'රවින්ද්‍ර සංගීතයේ' හෙවත් තාගෝර් අවධි කළ සංගීත සම්ප්‍රදායේ පූර්ණ බලපෑම නිසයි. ඒ අතින් තාගෝර් ශ්‍රී ලංකාවෙත් සංස්කෘතික මුල් ගලක්. මේ උතුම් මිනිසා වෙනුවෙන් පැවැත්වෙන අභිමානවත් සැමරුම් වැඩසටහනට කැනඩාවේ වෙසෙන ඉන්දියානු, බංගලි, ශ්‍රී ලාංකික සහෘදයන් වැඩිදෙනෙක් එකතු වෙනවාට සැකයක් නැහැ.

එක්තරා වංග ගීයකින් තාගෝර් මුළු ඉන්දියාවම අවධි කළා. යටත් විජිත වාදීන්ට බියවෙලා නිවට වෙලා හිටපු පොදු ජනයා අවදි කරන්න මේ ගීය සමත් වුණා. සමාජ ක්‍රියාකාරිකයන්ට අප්‍රමාන දිරියක් මේ ගීතයෙන් ලැබුන. සමාජ ප්‍රගමනය වෙනුවෙන් දිවි පරිත්‍යාගයෙන් වැඩ කරන සත් පුරුෂ ජනයාගේ මුවග රැව්දෙන ගීතයක් ගීතයක් වුණා. මහත්මා ගාන්ධිගේ ප්‍රියතම ගීතය වුනෙත් මෙයයි.
එක්ල චලෝ...එක්ල චා ..ලේ එක්ල චලෝ..එක්ල චලෝ රේ ...

අපි ඒ ගීතය අහන්න කලින් පද මාලාව දෙස බලමු. මම සරල පරිවර්තනයක් දෙන්නම්. හොඳ කවියෙකුට පුළුවන් වෙයි මීට වැඩිය හොඳ පරිවර්තනයක් දෙන්න.

හුදෙකලාව පිය නගන්න

කන් නොදුන්නත් කිසිවෙකු ඔබේ හඬට - ඔබ ඒගැන නොතකා තනිවම යන්න

බිය නොවන්න - තනිවම යන්න

නොදෙඩුවත් කිසිවෙකු ඔබ හා -මගේ අසරණ මිතුර

ඉවත බැලුවත් බියෙන් ගැහුනත් හැමදෙනා

ඔබේ ආත්මයට දිරිය ගන්න - ඔබේ සිතේ නලියන අදහස ලෝකයාට බිය නොවී පවසන්න

තනිවම කතාකරන්නට පටන් ගන්න

අඳුරු වලාකුලින් අහස වැසෙන විට- සත්‍යයද අඳුරින් වැසී යනවිට

ඔබ ගිනි සිළුවක් වන්න - ලෝකයා බියගුල්ලෙකු සේ හැකිලී දනින් වැටෙන විට

ඔබ ලොව අඳුර නසනා ගිනිසිලුවම වන්න - ම මිතුර බිය නොවන්න

තනිවම දැවී එලිය දෙන්න

වංග පද මාලාවෙන් කොටසක්

ජොඩි තොරි ඩක්සුනෙ කිව් නා ආශේ - තොබේ එක්නා චලෝ රේ//

එක්න චලෝ එක්න චලෝ එක්න චාලේ එක්න චලෝ රේ

ජෝඩි කිව් කොත තනාහේ

ඔරේ ඕ ඔබගහා කිව් කොත තනාහේ

ජෝඩි සොයි තුකේ මුක්පිරයේ සොයි කොරේ බොජ්

තොබේ පෙරෙන කුලේ - ඕ තුයි මුක් පුචේ තොරේ මොනර් තෙකා

එක්ල බෝලෙරේ

මේ ගීතය ඉන්දියාවේ බොහෝ ගායක ගායිකාවන් ගායනය කළා. සම්මානනීය ඉන්දීය ගායිකා
ශ්‍රියා ගොසාල් ගයන කරන ගීතයට සවන් දී බලන්න.

 http://www.youtube.com/watch?v=yPqdlR_X1Vk

 

Monday, 4 March 2013

රාජ්‍යයට මං ආසයි (දෙවන කොටස)

සමාජයේ අනිත් සෑම දේශපාලන ආයතනයක් මෙන්ම රාජ්‍යයේ ස්වභාවයත් වෙනස් වෙමින් තිබෙනවා. මේ වෙනස් වීම් ක්‍රියාවලිය ඇතුළෙම තමයි අපට හොඳ රාජ්‍යයක් හැදෙන්නේ කොහොමද කියන කාරණය කතා කරන්නට සිද්ධ වෙන්නේ. සාමාජික මනුෂ්‍යයාට තමන්ගේ මනුෂ්‍යත්වය උපරිම ලෙස පුබුදුවාගෙන ජීවත් වීම සඳහා ගැලපෙන්නේ මොන වගේ රාජ්‍යයක්ද ?ඉතිහාසයේ අප එතෙක් මෙතෙක් අත්පත් කර ගෙන තිබෙන දේශපාලන දැනුම සහ අත්දැකීම් ඇසුරින් අපට එවැන්නක් ගැන හිතන එක අමාරු නැහැ.
හොඳ රාජ්‍යයක් නිර්මාණය කර ගැනීමේදී අංග තුනක් අතර ස්ථාවර සමතුලනයක් ඇති කර ගත යුතුව තිබෙනවා. ඒවා

01. රාජයේ විධානය භූමි ප්‍රදේශය පුරා එක ලෙස ක්‍රියාත්මක වීම

02. නීතියේ පාලනය තහවුරු වීම

03. වගකීම් සහගත ආණ්ඩුකරණය

වශයෙන් දක්වන්න පුළුවන්.
 මේවායින් එකක් හෝ දුර්වල වෙලා අනිත් අංග හොඳින් ක්‍රියාත්මක වුනාට දියුණු රාජ්‍යයක් ඇතිවෙන්නේ නැහැ.
උදාහරණයක් හැටියට නීතියේ පාලනය සහ වගකීම් සහගත ආණ්ඩුකරණයේ අංගයක් ලෙස දැක්විය හැකි මැතිවරණ පැවැත්වීම අරගෙන බලමු. ඇෆ්ගනිස්තානය කියන රාජ්‍යය 2004 ඉඳල මැතිවරණ පවත්වාගෙන යනවා. එහෙත් රටේ නීතිය මුළු රාජ්‍යයේ භූමිය පුරාම ක්‍රියාත්මක කරන්නට එම රට අපොහොසත්වෙලා තිබෙනවා.මැතිවරණ වලින් පත්වෙන ආණ්ඩුවට අමතරව තවත් ආණ්ඩු ගණනාවක විධානය එම රටේ ජන ජීවිත මත ක්‍රියාත්මක වෙනවා.

රුසියාව කියන කියන රාජ්‍යයේ විධානය එහි අස්සක් මුල්ලක් නෑර ක්‍රියාත්මක වෙනවා. එහි මැතිවරණත් කලින් කලට පවත්වනවා. එහෙත් එහි පාලකයන් නීතියේ පාලනය කියන අංගය ගැන එතරම් තැකීමක් කරන්නේ නැහැ. එතැනත් අර මුලින් කියපු සමතුලනය බිඳෙනවා.

සිංගප්පුරුවේ රජයේ විධානය ඉහලයි. නීතියේ පාලනයත් ඉතා විශිෂ්ටයි. කාටවත් සිංගප්පුරුවේ පිස්සු කෙලින්න බැහැ. නමුත් වගකීම සහගත පාලනය දුරවලයි.

මේ දැක්වූයේ උදාහරණ කිහිපයක් පමණයි ඔබ කැමති ඕනෑම රාජ්‍යයක් ඉහත කී නිර්ණායක ඔස්සේ තක්සේරු කරලා බලන්න පුළුවන්.
රාජ්‍යය ගැන කතාකරද්දී සමහරු හිතන්නේ රාජ්‍යයේ විධානය ගැන පමණයි. බොහෝ මිලිටරි වාදීන් හිතන්නේ එහෙමයි. සමහරුන් රාජ්‍යයේ විධානය අමතක කරලා නීතියේ පාලනය ගැන විතරක් හිතනවා . තවත් සමහර අය රජ්‍යයේ ස්ථාවරත්වය මුළුමනින්ම අමතක කරලා වගකීම්සහග ආණ්ඩු කරණය ගැන පමණක් කතා කරනවා. මේ හැම දෙනාම දේශපාලන අන්තවාදීන්. යහපත් රාජ්‍යයක් හදා ගැනීමේදී මේ එක අන්තවාදයකටවත් යට වෙලා බැහැ. මේ අංග තුන අතර හොඳට පත්තියන් වෙන තුලනයක් ඇති කර ගැනීමයි කළ යුතු වන්නේ. මම ආස ඒවගේ රාජ්‍යයක ජීවත් වෙන්නයි.
 
සමාජයක් කියන්නේ එකතු වූ 'පුද්ගලයන්' මෙන්ම පුද්ගයන්ගේද 'එකතුවකි'. එක වගේ පෙනුනට මෙතන වෙනස් කමක් තිබෙනවා. එකතුව පුද්ගලයට එරෙහිව හෝ පුද්ගලයා එකතුවට එරෙහිව හෝ නොයා යුතුයි. මේ තත්වය රැකගැනීමට නම් සමාජයත් කිසියම් ක්‍රමයක් ඔස්සේ හැසිරවිය යුතුයි. රාජ්‍යය ඇතුළු ආයතන අපට අවශ්‍ය වන්නේ මේ හැසිරවීම ක්‍රියාත්මක කිරීමටයි.

Friday, 1 March 2013

රාජ්‍යයට මං ආසයි -01

දේශපාලනයේදී රාජ්‍යවාදීන් සහ අරාජිකවාදීන් යනුවෙන් දෙපිරිසක් හමුවෙනවා.
 
රාජ්‍යවාදීන් යනුවෙන් හඳුන්වන්නේ රාජ්‍යයේ පැවැත්ම පිළිගනිමින් දේශපාලනය කරන අයයි. අරාජිකවාදීන් රාජ්‍යය ප්‍රතික්ෂේප කරනවා. බලයේ අනෙක් සියලුම ස්වරූපයන්ට වගේම රාජ්‍යයේ බලයටත් අරාජික වාදීන් විරුද්ධයි.අරාජික වාදීන් ඉතිහාසයේ විවිධ අවස්ථාවල මුණ ගැසෙනවා.මනුෂ්‍යයාගේ නිදහස වෙනුවෙන් සහ බලයේ බලපෑමට එරෙහිව ඔවුන් පෙනී සිටිනවා. ඒ වගේම සමහර දේශපාලන මතවාද වලත් අරාජක වාදයේ බීජ අන්තර්ගතයි.රාජ්‍යය සහ එහි අධිකාරී බලය ප්‍රතික්ෂේප කරන ලිබරල් වාදීන් අපට හමුවෙනවා. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇති වුනු සමාජ ආතතියෙන් පසු 'හිපි' කණඩායම් වගේ අරාජික වාදීන් මතු වුනා. අරාජික වාදීන් අතර ඉතා සුන්දර කලා කරුවන් , කවියන් සිත්තරුන් ආදීන් දකින්නට පුළුවන්. ඔවුන් ඉතා විශාල මනුෂ්‍යත්වයක් ගැන කතා කරනවා.
 
මාක්ස්වාදයත් අවසාන අර්ථයෙන් ගත්තහම අරාජිකවාදයක්. කොමියුනිස්ට් සමාජයක් බිහි වීමෙන් පසු පන්ති පීඩක උපකරණයක් වන රාජ්‍යය හැකිලී අහෝසි වී යනු ඇත යන්න සම්භවය මාක්ස්වාදයේ එක පිළිගැනීමක්. ඒ අනුව මාක්ස්වාදීන්ගේ අරමුණ අරාජික සමාජයක් ඇති කිරීමයි. එහෙත් ප්‍රායෝගික භාවිතාවේදී වැඩියෙන්ම රාජ්‍ය වාදීන් වෙන්නේ ( ඇතැම් විට ලිබරල් වාදීන්ට සහ ජාතික වදීන්ටත් වඩා ) මාක්ස්වාදීන්මයි. ජෝසප් සටලින්, මාවෝ සේතුන් ගේ පටන් බොහෝ මාක්ස්වාදීන් දැඩි රාජ්‍ය වාදීන්.
 
සාමාන්‍ය ජීවිතයේදී අරාජිකවාදී අදහස් අපට ආවත් ප්‍රායෝගික දේශපාලනයේදී අපි හැමෝටම කටයුතු කරන්න වෙන්නේ රජ්‍යවාදීන් ලෙසයි. දේශපාලනයේ මූලිකම අංගය වන්නේ රාජ්‍යය සකසා ගැනීමයි. අපි චන්දය දීල විටින් විට පත්කරගන්න ආණ්ඩු වලට සහ පාලකයන්ට අපි බනින්නේ රට හරියට හදන්නේ නැහැ කියලයි. ඒ කියන්නේ රාජ්‍යය හරියට හදාගනීමක් ගැනයි. රාජ්‍යය කෙතරම් කරදරයක් වුනත් අරාජික සමාජයකට වඩා  රාජ්‍ය හොඳ බව අපට ඉවෙන් වගේ දැනෙනවා.ඇත්තෙන්ම රාජ්‍යය විරහිත සමාජයක් කියන්නේ එක්තරා ආකරයක ෆැන්ටසියක්! ඒක ෆැන්ටසියක් හැටියට හොඳ වුනත් අත්හදා බලන්න සුසුසු අදහසක් නොවෙයි.
 
රාජ්‍ය විරහිත සමාජයක් ගැන හිතන්න.උදාහරණයක් හැටියට සෝමාලියාව නම් භූමි ප්‍රදේශයේ දැන් හරි හමන් රාජ්‍යයක් නැහැ. එය අරාජිකවාදීන්ගේ පාරාදීසයක්.එත් කොයි ලිබරල් වාදියද කොයි කොමියුනිස්ට්වාදියද මේ රාජයය විරහිත සෝමාලියානු සමාජයට කැමති වෙන්නේ.මුළු ලෝකයම සෝමාලියානු සමාජයට කියන්නේ ශක්තිමත් රාජ්‍යයක් හදාගන්න කියලයි. මේ ලඟදි ලංකාවේ අපටත් සෝමාලියාවට ඒක කියන්න සිද්ධ වුනා. සෝමාලියානු මුහුදු කොල්ල කරුවන් අපේ ධීවර පිරිසක් පැහැර ගත්තට පස්සේ ඔවුන් නිදහස්‌ කර ගැනීමට තිබුන ප්‍රධාන බාධාව තමයි සෝමාලියාවේ ශක්තිමත් රාජ්‍යයක් නොතිබීම.
 
රාජ්‍ය නැතිව සාමාජික මිනිසාට පවතින්න බැහැ. රාජ්‍යය මිනිසා හදාගත්තේ ඒ නිසයි. රාජ්‍යය සමාජ සම්මුතියක් ය කියන හොබ්ස්, ලොක්‌ , රූසෝ වැනි චින්තකයන් ඉදිරිපත් කළ 'සමාජ සම්මුති වාදය' රාජ්‍ය පන්ති පීඩක උපකරණයක් කියන මාක්ස්වාදී අදහසට වඩා ප්‍රබලයි තාර්කිකයි. ප්‍රායෝගිකයි.
රාජ්‍යය මනුෂ්‍ය සමාජයේ කොහොමද ඇතිවුනේ? 1990 දශකයේදී 'ඉතිහාසයේ අවසානය' නම් සුප්‍රකට ප්‍රවාදය ඉදිරිපත් කළ ෆ්‍රැන්සිස් ෆුකුයාමා මේ දිනවල මේ ප්‍රශ්නයට උත්තරයක් ලියමින් ඉන්නවා. සමාජයේ දේශපාලන ආයතන ඇතිවුනේ කොහොමද කියන එකයි ඔහු විස්තර කරන්නේ. The Origin of Political Order යන ඔහුගේ එම විශාල කෘතියේ පළමු වන වෙළුම දැන් ප්‍රකාශයට පත් වෙලා තිබෙනවා. ෆුකුයාමා තර්ක කරන්නේ ආර්ථික ආයතන සමාජයේ ඇතිවෙන්නටත් කලින් දේශපාලන ආයතන ඇති වූ බවයි. මෙය මාක්ස්වාදයේ එන උපරිව්‍යුහ- අධෝ ව්‍යුහ කතාවට සපුරා වෙනස් එකක්. ඒගැන පසුව සලකා බලමු.
මමත්රාජ්‍යවාදියෙක්.දැඩි රාජ්‍ය වාදියෙක්.
රාජ්‍යයට මං ආසයි !
මම ආස කරන රාජ්‍ය මොන වගේ එකක්ද?
ලිපිය දැනටමත් දිග වැඩි නිසා ඒ ගැන ඊළඟ කොටසින් කතාකරමු . (හරියට වැල් ටෙලි නාට්‍යයක් වගේ නේද ?)