Thursday, 16 May 2013

ජාතිකවාදය පාට වෙනස් කරන කටුස්සෙකි: මාක්ස්වාදයට ජාතිකවාදය මුණගැසීම

ජාතිකවාදය මතවාදයක් මෙන්ම දේශපාලන ව්‍යාපාරයකි. කොමියුනිස්ට්වාදය ද මතවාදයක් මෙන්ම දේශපාලන ව්‍යාපාරයකි. ජාතිකවාදයට මහා චින්තකයන් මහා දාර්ශනිකයන් නැත. කොමියුනිස්ට්වාදයට මාක්ස්වාදය නම් මහා දාර්ශනික මතවාදයක් ඇත. මාක්ස්, එංගල්ස්, ලෙනින්, රෝසා ලක්සම්බර්ග්, ට්‍රොට්ස්කි, ග්රම්ස්කි, අල්තුසර්, පුලන්ට්සාස් වැනි චින්තකයන්ද බොහෝ දෙනෙක් සිටිති. මුල් කාලයේදී මාක්ස්වාදියෝ ජාතිකවාදය පයිසයකට වත් ගණන් නොගත්හ. ජාතික විඤ්ඤාණය යනු 'ව්‍යාජ විඤ්ඤාණයක්' බවත් සැබෑ  විඤ්ඤාණනය යනු පන්ති විඤ්ඤාණය බවටත් ඔවුහු තර්ක කළහ. එහෙත් මේ ඊනියා ව්‍යාජ ජාතික විඤ්ඤාණයන් මත පදනම් වූ ජාතිකවාදී දේශපාලන ව්‍යාපාර වලට සැබෑ විඤ්ඤාණයන් යනුවෙන් හඳුන්වනු ලැබූ පන්ති විඤ්ඤාණයන් මත පදනම් වූ කොමියුනිස්ට් වාදී දේශපාලන ව්‍යාපෘති විශාල අර්බුදයකට යැවීමට හැකි විය. දෙවන සමාජවාදී ජාත්‍යන්තරය විසිරී ගියේ යුරෝපයේ මතු වූ ජාතිකවාදයේ බලපෑමෙනි. ලංකාවේ  ප්‍රථම මාක්ස්වාදී පක්ෂය වූ  ලංකා සමසමාජ පක්ෂයේ පළමු වන බෙදීම සිදුවුනේ  යුද්ධයට සහයෝගය දෙන්නේද නැද්ද යනුවෙන් ජාතිකවාදය විසින් මතුකරනු ලැබූ බරතල ප්‍රශ්නය මතය. සියල්ලටට  පෙර රට ආරක්ෂා වී තිබිය යුතු යයි විශ්වාස කළ  පිරිස බ්‍රිතාන්‍යය ආණ්ඩුවේ යුධ ව්‍යාපෘතියට සහයෝගය දෙමින්  ලංකා කොමියුනිස්ට් පක්ෂය ලෙස සමසමාජයෙන් කැඩී  ගියහ. ලෝකයේ බොහෝ මාක්ස්වාදී ව්‍යාපාර අර්බුදයට ගියේ  ජාතිකවාදයේ බලපෑම නිසාය. එය ව්‍යාජ විඤ්ඤාණයක් නම් එවැනි ව්යාජයකට  එවැනි  'හපන් කමක්' එදා මෙන් අදත්  කළ  හැකිව තිබෙන්නේ කෙසේද? මේ තත්වය ගැන විමසන සමහර ජාතික වාදීන් නම් කියන්නේ ඇත්තටම ව්‍යාජ විඤ්ඤාණනය වන්නේ ජාතික විඤ්ඤාණනය නොව  මාකස්වාදීන් ඉදිරිපත් කරන පන්ති විඤ්ඤාණය ම බවය.

 ඉහත පුර්විකාව ලියුවේ ජාතිකවාදය සහ ජාතිය ගැන කරන සාකච්චාවකදී මාක්ස්වාදය ගැන කතා කර නොකර බැරි බැවිනි. මාක්ස්වාදයට ජාතිය සහ ජාතිකවාදය ගැන ගැඹුරු න්‍යායක් තිබුනේ නැත. මාක්ස්වාදයට පමණක් නොව කිසිම දේශපාලන මහා ආඛ්‍යානයකට ජාතිකවාදය පිලිබද ලොකු පැහැදිලි කිරීමක් කළ  හැකිවී නැත. එයට හේතුව වන්නේ එක ලේඛකයකු ප්‍රකාශ කර තිබෙන පරිදි ජාතිකවාදය විටින් විට කටුස්සෙකු තම පාට වෙනස් කරන බැවිනි. ඒ ඒ අවස්ථාවේ හැටියට විවිධ පාට වලින් පෙනී සිටින බැවිනි. මාක්ස්වාදයට  ජාතිකවාදයේ මෙම 'කටුසු ගතිය' සදාකාලික ප්‍රහේලිකාවක් වී තිබේ. එහෙයින් මාක්ස්වාදය සහ ජාතිකවාදය අතර පවතින හැප්පීම විමසා බැලීම සුදුසුය.


එරික් හොබ්ස්බ්වන් නම් මාක්ස්වාදී ඉතිහාසඥයා පවසන පරිදි 1870 දශකයෙන් පසු යුරෝපයේ ප්‍රධාන දේශපාලන වැඩබිමක් වුයේ ජාතිකවාදයයි. එසේම මාක්ස්වාදයද මේ යුගයේ යුරෝපා දේශපාලනයේ බලවත් දේශපාලන මතවාදයක් බවට පත්ව තිබිණි. දෙවන කොමියුනිස්ට් ජාත්‍යන්තරය බිහිවුනේ මෙම යුගයේදීය. කෙසේ වුවද කාල් මාක්ස් ෆ්‍රෙඩ්රික් එංගල්ස් සහ ඔවුන්ගේ අනුගාමිකයන්ගේ ප්‍රධාන විශ්ලේෂණයට පාත්‍ර වූ කරුණ වුයේ ජාතිය යන්න නොවේ. ඔවුන්ගේ මූලික දාර්ශනික දේශපාලන ගැටලුව වුයේ 'ධනවාදයේ දේශපාලන ආර්ථිකය' කුමක්ද යන්න පැහැදිලි කිරීමය. මේ හේතුව නිසා මාක්ස්වාදයට ජාතිකවාදය ගැන ඒත්තු ගැන්විය හැකි ගැඹුරු න්‍යායක් ගොඩනගන්නට නොහැකි විය. නමුත් ලංකාවේ සමහර මාක්ස්වාදී වාමාන්ශිකයන් කල්පනා කරන්නේ ජාතිය සහ ජාතිකවාදය පිලිබඳ හොඳම පැහැදිලි කිරීම මාක්ස්වාදයේ තිබෙන බවය. බ්‍රිතාන්‍යයේ ප්‍රකට මාක්ස්වාදී විද්වතකු වූ ටොම් නෙයර්න් පවසා සිටියේ ජාතිකවාදය පිලිබඳ ගැඹුරු න්‍යායක් සකසා ගැනීමට නොහැකි වීම මාක්ස්වාදය මුහුණ දුන් බරපතලම දාර්ශනික පරාජය බවය. ග්‍රීක මාක්ස්වාදියෙකු වන නිකො පුල්න්ට්සාස ප්‍රකාශ කළේ ' ජාතිය පිලිබඳ මාක්ස්වාදී න්‍යායක් නැති බව පිළිගත යුතු'' බවය.


සමාජයේ ඇත්තේ තිරස් බෙදීම් නොව සිරස් බෙදීම් බව මාක්ස් සහ එංගල්ස් පෙන්වා දුන්හ. ඒ අනුව සමජයේ සැබෑ බෙදීම් ඇත්තේ ජාතීන් අතර නොව පන්තීන් අතර බව ඔවුන් ගෙන හැර දැක්වූ අදහසය. සමාජයේ  ඉතිහාසය පන්ති ගැටුම්වල ඉතිහාසයක් ලෙස පෙන්වා දුන් මාක්ස්වාදය මෙම සැබෑ බෙදීම් වලදී ජාතිය අදාළ නොවන බවත් එය මායාවක් බවත් පවසයි. මාක්ස් එක එල්ලේම පැවසුවේ කම්කරුවාට රටක්, ජාතියක් හෝ දේශයක් නැති බවය. එංගල්ස් විශේෂයෙන් පෙන්වා දුන්නේ කම්කරු පන්තික ජනයා ස්වාභාවිකවම ජාතිකවාදී අගතීන්ගෙන් නිදහස බවත් සමස්ත කම්කරු පන්තික ජන සැකැස්ම අත්‍යවශ්‍යයෙන්ම මානුෂිකවාදී සහ ජාතිකවාද විරෝධී වන බවය. ධනවාදය ලෝකය පුරා ව්යාප්තවීමෙදී නිෂ්පාදන බලවේග විප්ලවීය ආකාරයට මෙහෙයවීමත් පැරණි සම්ප්‍රදායයන් අතුරුදහන් වීමත්, ජාතිකමය බෙදීම් තුරන් වී යන බවත් ඔවුහු කොමියුනිස්ට් ප්‍රකාශනය නම් ලියවිල්ලේ සඳහන් කළහ.


 එහෙත් වෙළඳපොල ධනවාදය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික රාජ්‍යයේ බිහිවීම අත්‍යවශ්‍ය සාධකයක් බවටද තර්ක කිරීමට මාක්ස්වාදයට සිදුවිය. පොදු භාෂාවක් කතා කරන ජනතාවගෙන් සමන්විත භූ දේශපාලන ඒකක  හෙවත් ජාතික රාජ්‍යයන් ධනවාදය නිසා නිර්මාණය බව ඔවුහු පිළිගත්හ.  ඒ අනුව ජාතිකවාදය යනු ධනේශ්වර ක්‍රමයේ පැවැත්මට අත්‍යවශ්‍ය වන මතවාදයකි. නමුත් ඒ සමගම ඔවුන් ජාතිකවාදය සැලකුවේ කම්කරුවා ධනේශ්වර ක්‍රමයට එරෙහිව ගෙනයන්නාවූ අරගලයෙන් 
ඔවුන්  පීලි පන්නවන 'ව්‍යාජ විඤ්ඤාණයක්' ලෙසය.

මාක්ස්වාදය දර්ශනයක් වන්නාසේම දේශපාලන ව්‍යාපාරයක්ද වන්නේය.දාර්ශනික තලයෙදී ජාතිය සහ ජාතික වාදය පිලිබඳ ඉහත කී අකාරයේ නිශේධනීය ආකල්ප දැරුවද දේශපාලන තලයේදී ජාතිය යන්න පිළිගනිමින් කම්කරුවාදී දේශපාලන න්‍යාය පත්‍රයට විටින් විට කඩා පනින ''ජාතික ගැටලුව'' හමුවේ විවිධ ප්‍රයෝගික ස්ථාවරයන්ට පැමිණීමට මාක්ස්වාදී දේශපාලන ව්‍යාපාර වලට සිදුවිණී. එංගල්ස් හේගල්ට අනුව යමින් ජාතීන් වර්ග කර දක්වීමට ඉදිරිපත් විය. එන්ගල්ස්ට අනුව එතිහසික ජාතීන් සහ එතිහාසික නොවන ජාතීන් වශයෙන් ජාතීන් වර්ග දෙකකි. එතිහාසික නොවන ජාතීන් ලෙස එංගල්ස් හැඳින්වූවේ නැගෙනහිර යුරෝපානු ස්ලාව් ජන කොටස්ය. ඒ වෙනුවෙන් ඔහු තරමක ගර්හාත්මක යෙදුමක්ද ඔහු පාවිච්චි කළේය . එංගල්ස් මෙම ජන කොටස් හැඳින්වුයේ 'ජන නටබුන්'වශයෙනි. එංගල්ස්ගේ මෙම වර්ග කිරීමට අනුව නියම ජාතීන් වුයේ ප්‍රංශ, ඉංග්‍රීසි ආදී බටහිර යුරෝපීය මහා ජාතීන් පමණය. ධනේශ්වර ක්‍රමය සිය වානිජවාදී යුගයේදී අධිරාජ්‍යයන් ගොඩනැගුවේ මෙකී මහා බලවත් ජාතීන් මුලික කරගනිමිනි. එංගල්ස් සඳහන් කළ  ආකාරයට එතිහාසික නොවන ජාතීන්ට නියම ජාතීන් බවට පත්වීමට නම් තමන්ගේ නටබුන් ජාතිකත්වයන් අත්හැර තෝරාගත්  එතිහාසික ජාතියක් ඇතුලෙහි ස්වීකරණය විය යුතුය. ලංකාවේ දෙමල සහ මුලිම් ජන කොටස් සිංහල ජාතිය ඇතුලෙහි ස්වීකරණය විය යුතුය යනුවෙන් සමහර සිංහල ජාතිකවාදීන් අද ඉදිරිපත් කරන්නේ එදා එංගල්ස් නමැති කොමියුනිස්ට්වාදියා ඉදිරිපත් කළ  අදහසමය.

කෙසේ වුවද 'ජාතීන්ගේ සිරගෙය' ලෙස මාක්ස්වාදය විසින් ම නම් කළ  රුසියානු අධිරාජයය සහ ඔස්ට්රෝ හංගේරියානු අධිරාජ්‍යය බිදවට්ටවමින් යුරෝපයේ සිදුවූ ජාතිකවාදී නැගිටීම් හමුවේ එකිනෙකට වෙනස් විවිධ දේශපාලනික සහ දාර්ශනික ස්ථාවර ගැනීමට දෙවන සමාජවාදී ජාත්‍යන්තරයේ බුද්ධිමතුන්ට සිදුවිය. ඒ ස්ථාවරයන් සමහරක් මෙසේය.
1. ජාතිකවාදය සුළු ධනේශ්වර මතවාදයකි 
2.බුශුවා පන්තිය ජාතිකවාදය යොදාගන්නේ පීඩිත ජනයාගේ විමුක්තිය උදෙසා වන අරගලය පීලි පන්නවීමේ 'ව්‍යාජ විඤ්ඤාණයක්' වශයෙනි 
3. ජාතික විමුක්ති ව්‍යාපාරවල හෙවත් අධිරාජ්‍යවාදයට එරෙහිව යටත් විජිත රටවල ජාතික ධනේශ්වර පන්ති විසින් ඉදිරිපත් කරනු ලබන ජාතිකවාදයන්හි ප්‍රගතිශීලී ස්වභාවයක් ඇත 
4. සමාජවාදී සමාජයක් ස්ථාපනය වන තුරු වැඩවසම් අධිරාජ්‍යයන්ට ගොදුරුවී ඇති ජාතීන්ට ඒ අධ්රජ්‍යයන්ගෙන් වෙන්වී තමන්ගේම වූ රාජ්‍යයක් ගොඩ නගා ගැනීම සඳහා ඇති අයිතිය පිළිගත යුතුය.

මේ කාලයේ සිටි ප්‍රකට මාක්ස්වාදී දාර්ශනිකයන් ජාතිකවාදය සහ සහ ජාතිය සම්බන්ධයෙන් දැරුවේ එක සමාන න්‍යායික අස්තානයක් නොවේ උදාහරණයක් ලෙස ප්‍රබල ජාත්‍යන්තරවාදිනියක් වූ රෝස ලක්සම්බර්ග් කිසිම ජාතිකවාදයක කිසිම හරයක් දුටුවේ නැත. ඒ නිසා ඇය රුසියානු අධිරාජ්‍යවාදයට එරහිව පෝලන්ත ජාතික විමුක්ති අරගලය විසින ඉස්මතුකරනු ලැබූ '' ජාතීන්ගේ ස්වයන් තීරණ අයිතිය" යන සටන් පාඨයට පෝලන්ත ජාතික කාන්තාවක් ලෙස ඉදිමින්ම විරුද්ධ වුවාය.

 මීට ප්‍රතිපක්ෂව ඔස්ට්‍රියානු මාක්ස්වාදියකු  වූ ඔටෝ බවර් සංස්ක්රුතිකවාදී  ප්‍රවේශයක් අනුගමනය කරමින් ජාතිය යන්න යතාර්ථයක් ලෙස පිළිගත්තේය. ඒ අනුව ඔහු ජාතීන්ගේ ස්වයන් තීරණ අයිතිය පිලිබඳ සිද්ධාන්තයට පක්ෂවෙමින්ද ජාතීන් අතරම නැවත මතුවිය හැකි විවිධ ජන කොටස්වල සංස්කෘතික අනන්යතාවන්ද පිළිගනිමින් ඒවාටද ස්වාධීනත්වය හිමි විය යුතු බව යෝජනා කළේය. ඔටෝ බවර් ඒ අනුව එක්තරා අකාරයක කොමියුනිස්ට්වාදී ෆෙඩරල්වාදියකු ලෙස  හැඳින්විය හැකිය.

මාක්ස්වාදී චින්තන සම්ප්‍රදය තුල ජාතිය සහ ජාතිකත්වය පිලිබඳ ඉතා පැහැදිලි ස්ථාවරයක් වී අයි ලෙනින්ට තිබුනේය යන්න සාමාන්‍ය පිළිගැනීමය. එහෙත් එය වැරදි කල්පනාවකි. ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉතාමත්ම ප්‍රයෝජයතාවාදී ස්ථාවරයක් ගත් මාක්ස්වාදී නායකයා වන්නේ ඔහුය. මාක්ස්වාදය සහ රුසියාවේ ජාතික ගැටලුව ගැන ඉතා විශිෂ්ට අධ්‍යයනයක් කල වෝකර් කෝනර් නම් විද්වතා ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ලෙනින් විසින් ගන්න ලද එකිනෙකට වෙනස් ස්ථාවර තුනක් ගැන පෙන්වා දෙයි.


1. බලය ලබා ගැනීමට පෙර ලෙනින් සියලුම ජාතීන්ට ස්වයන්තීරනය සඳහා ඇති අයිතිය පිලිබඳ පොරොන්දුවක් දෙයි 
2. බලය ලැබූ පසු ලෙනින් මේ අයිතිය ප්‍රතික්ෂේප කරයි 
3. සෝවියට් කොමියුනිස්ට් පක්ෂය කිසිම ජාතිකවාදී මතයකින් දියාරු නොවන සේ දැඩි ලෙස හසුරුවයි.
ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ලෙනින් ගත් ස්ථාවරය හරියටම කුමක්ද යන්න ගැන ලංකාවේ මාක්ස්වාදීන් අතර කලක් විශාල මට්ටමේ මතභේද ඇති වී තිබුනේ  ලෙනින් රුසියානු බල දේසපාලන සන්දර්භය තුල ගත්  විවිධ ප්‍රයෝජ්‍යතාවාදී ස්ථාවර නිසාය. කෙසේ වුවද මාක්ස්වාදී ව්‍යාපාරය නිසා ජාතිකවාදී න්‍යායට එක සේවයක් වුනි. එනම් ජාතිය පිලිබඳ කෘත්‍ය නිර්වචනයක් ඉදිරිපත් කරන්නට හැකිවීමය. මේ නිර්වචනය ඉදිරිපත් කළේ ලෙනින්ගෙන් පසුව සෝවියට් දේශයේ නායකයා වූ ජෝසප් ස්ටාලින්ය.  ජාතියක් යනු නිශ්චිත භූමි ප්‍රදේශයක පොදු භාෂාවක් කතාකරන පොදු ආර්ථික ජීවිතයකට සම්බන්ධ සහ පොදු සංස්කෘතික හැගීම්  සමුදායක් සහිත  ප්‍රජාවක් ලෙස ඔහු අර්ථ කථනය කළේය.

ජාතිකවාදය පිලිබඳ මාක්ස්වාදී අදහස් පද්ධතිය විවිධ පරස්පරතාවන්ගෙන් ගහන බව ඉහත විස්තරය සලකා බලන විට පැහැදිලිව පෙනී යයි. කෙසේ වුවද ජාතිකවාදය පිලිබඳ මාක්ස්වාදී අදහස පද්ධතිය වැදගත් වන්නේ එය ජාතික වාදය ඉදිරිපත් කරන සමාජ සංවිධාන ක්‍රමයන්ට විකල්පව වෙනස් ආකාරයේ සමාජ සංවිධාන මාදිලියක් වෙනුවෙන් පෙනී සිටින විකල්ප දෘෂ්ටිවාදයක් ලෙසය.









8 comments:

  1. Tom narin and walker Conner both are fundamentally wrong. They describe Marxism in a neo liberal political context. Basically Marxism and Nationalism are two different concepts which doesn't mix with each other.
    Lenin was the only leader who clearly understood this difference and implemented that in a correct way

    Gemunu Seneviratne-Galle

    ReplyDelete
  2. මාක්ස්වාදයට ඇත්තවශයෙන්ම ජාතිකත්වය ගැන වගේ වගක් නැත. මාක්ස්වාදය ජාතිකත්වය සම්බන්ධව කොතරම් අතරමං වී ඇද්දැයි දැනගැනීමට කියවිය යුතුම පොතක් වන්නේ මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ 'ජවිපෙ උපත පවත සහ විපත' නම් පොත් පිංචයි. මාක්ස්වාදයට ජාතිකත්වය ග්‍රහණය නොවූවා නම් කමක් නැත. නමුත් සිදුව ඇත්තේ මාක්ස්වාදය විසින් මහ ජාතියක ජාතිකත්වය සහ සුළු ජාතියක ජාතිකත්වය එකම මතවාදයක ආකාර දෙකක් ලෙස සළකනවා වෙනුවට එය එකිනෙකට මුළුමනින්ම වෙනස් ප්‍රපංච දෙකක් ලෙස සැළකීමයි. මෙය කෙතරම් බරපතල තත්ත්වයක්ද යත් කම්කරු පංතිය සහ ධනපති පංතිය යනු පංතිය යන එකම සංකල්පයේ ආකාර දෙකක් වීම නිසා ඒවා අතර නෛසර්ගිකව ඇතිව තිබෙන අවම සමානත්වයවත් මහජාතික සහ සුළුජාතික ජාතිකත්වයන් අතර දැකීමට මාක්ස්වාදයට නොහැකි වෙ.

    මෙහි ප්‍රතිඵලයක් ලෙස මාක්ස්වාදය ධනපති පංතියේ දකින අවම වූ හොඳට (නිෂ්පාදන බල්වේග ක්‍රියාත්මක කිරීම, ජාතික ප්‍රශ්ණය වැනි අවශේෂ ප්‍රශ්ණ විසඳීම වැනි) ආසාන්නයෙන්වත් යන යමක් මහජාතික ජාතිකත්වය තුළ නොදකී. මෙම සමීකරණයට අනුව මහජාතික ජාතිකත්වය උපන් ගෙයි ප්‍රතිගාමී වන අතර සුළු ජාතික ජාතිකත්වය උපතින්ම ප්‍රගතිශීලී වෙයි (මෙහි 'මහ' සහ 'සුළු' යන බෙදීමද තීරණය වන්නේ 'රාජ්‍ය' යන ඒකකය තුළ අදාළ ජාතිකත්වයන්ට තිබෙන ඔළු ගෙඩි ගණන මත මිස වෙනත් අයුරකින් නොවේ). මේ සමීකරණය මත පදනම්ව ප්‍රභාකරන්ගේ අති අමානුෂික ත්‍රස්තවාදී ක්‍රියා පවා සාධාරණීකරනය කිරීමට පෙළඹෙන සුචරිත් ගම්ලත් මහජාතික අනන්‍යතාවය ප්‍රකට වෙන නම් (අතුල, රෝහණ) ඇතැම් ජවිපෙ නායකයින් විසින් භාවිතා කිරීම වැනි අවම කරුණු පවා උග්‍ර ලෙස විවේචනය කරයි.

    මාක්ස්ගේ කියවීමට අනුව ගම්‍ය වන්නේ යම් හෙයකින් ඊළාම් රාජ්‍ය පිහිටවූයේ නම් ඒ මොහොතේ සිට දෙමළ ජාතිය අදාළ රාජ්‍ය තුළ මහජාතිය විම්ම නිමිති කොටගෙන දෙමළ ජාතිවාදය පසුදිනම ප්‍රතිගාමී වීම වුවද විය හැකිව තිබූ බවයි. මෙය බැලූ බැල්මට හාස්‍යක් ලෙස පෙණුනද මාක්ස් මේවා කෙතරම් අවධාරණයෙන් පවසා ඇතිදැයි දැන ගැනීමට නම් සුචරිත් ගම්ලත්ගේ ඉහත සඳහන් පොත පමණක් කියවීම වුවද ප්‍රමාණවත් වනු ඇත.

    - ප්‍රභංග.

    ReplyDelete
    Replies
    1. ජවිපය සහ මාක්ස්වාදය අතර දුර බොහෝයි. එය මාක්ස්වාදී පක්ෂයක් ලෙස හදුන්වාදෙන අය තමුන්ගේ දර්ශනය පිලිබඳ යලිත් සිතා බැලිය යුතුයි.

      Delete
  3. //මෙහි ප්‍රතිඵලයක් ලෙස මාක්ස්වාදය ධනපති පංතියේ දකින අවම වූ හොඳට (නිෂ්පාදන බල්වේග ක්‍රියාත්මක කිරීම, ජාතික ප්‍රශ්ණය වැනි අවශේෂ ප්‍රශ්ණ විසඳීම වැනි) ආසාන්නයෙන්වත් යන යමක් මහජාතික ජාතිකත්වය තුළ නොදකී. මෙම සමීකරණයට අනුව මහජාතික ජාතිකත්වය උපන් ගෙයි ප්‍රතිගාමී වන අතර සුළු ජාතික ජාතිකත්වය උපතින්ම ප්‍රගතිශීලී වෙයි //

    මාක්ස්වාදයේ මෙහෙම අදහසක් කොහෙවත් කියා නැත.ජාතික ප්‍රශ්නය ගැන ලෙනින්ගේ සුත්‍රගත කිරීම් මාක්ස්වාදී ව්‍යාපාර පොදුවේ ජාතික ගැටලුව ගැන ස්වකීය ස්ථාවරය ලෙස සලකන අදහසයි.ගම්ලන්ගේ පොත මා කියවා නැත.ඔබ කියන දේ වැන්නක් ඔහුගේ පොතේ තිබේ නම් කිව යුත්තේ ගම්ලත්ට බරපතල වරදක් සිදුව ඇති බවයි.

    ReplyDelete
  4. //1. බලය ලබා ගැනීමට පෙර ලෙනින් සියලුම ජාතීන්ට ස්වයන්තීරනය සඳහා ඇති අයිතිය පිලිබඳ පොරොන්දුවක් දෙයි
    2. බලය ලැබූ පසු ලෙනින් මේ අයිතිය ප්‍රතික්ෂේප කරයි //

    මෙය තවදුරටත් ඔබ පහදනු ඇතැයි මම අපේක්ෂා කරමි.ලෙනින් කිසිවිට ස්වයං නිර්ණය සදහා ජාතීන් සතු අයිතිය නමැති සටන් පාඨය ඉවත් කළේ නැත.එසේ කලා යැයි ඔබ කියයි නම් ඒ සදහා ඔබ සාක්ෂි සැපයිය යුතු වේ.

    ReplyDelete
    Replies
    1. ඇනොනිමස් අංක 2 ට
      මුලින්ම ඔබ ඇතුළු සියලු දෙනාගේම ප්‍රතිචාරවලට ස්තුති කරමි.

      සුචරිත ගම්ලත් ජවිපෙ ගැන ලියු පොත මමද කියවා නැත. එහෙයින් ඒ ගැන යමක් කීමට අපහසුය.
      එහෙත් ඇනොනිමස් අංක 1 ඉදිරිපත් කරන අනෙකුත් අදහස් සමග මම එකඟ වෙමි.

      ජාතීන්ගේ ස්වයන්තීරණ අයිතිය සම්බන්ධයෙන් ලෙනින් දරු ස්ථාවරය පිලිබඳ විස්තරාත්මක ලියවිල්ලක් ඉදිරියේදී ලිවීමට බලාපොරොත්තුවෙමි.

      ලෙනින්ගේ ප්‍රයෝජ්‍යතාවාදී ස්ථාවරය පිලිබඳ මා උපුටා දක්වා ඇත්තේ වෝකර් කෝනර් නම් විද්වතා ඉදිරිපත් කර තිබෙන අදහසකි.
      pl. read- Conner Walker, The National Question in Marxist Leninist Theory and Strategy (Princeton University Press, 1973)p.38

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. ප්‍රබල සතුරා පැරදවීම සඳහා අන් සියල්ල සමග එක්වීම් යුගයේ අවශ්‍යතාවයක් ලෙස දැක කොමියුනිස්ට් පක්‍ෂය ලෙස වෙන්වූ කණ්ඩායම ගත් ස්ථාවරය මත පදනම්වී ජාතිකවාදය ගැන සටහනක් තබනවාට වඩා කොමියුනිස්ට් සමාජය ලෙස අර්ථදැක්වෙන (ලොව මෙතෙක් ඇති නොවුණ) අන්තයක් කරා යන ගමනේදී ජය ගතයුතු අර්බුධයක් ලෙස ජාතිකවාදය දැකිය හැකිවේනම්, ජාතික වාදීන් විසින් සමාජයට සිදුකරණ ව්‍යසනය ඉතා පැහැදිළිව ඔබට විස්තර කල හැකි බව මගේ ඒකායන විශ්වාසයයි. ඔබ ඔබව ජාතිකවාදියෙක් ලෙස හදුන්වාගන්නා තෙක් එම කාර්යය ඔබට දුෂ්කරවුවත්, ඉන් මිදුණු වහාම ඔබට එය සක්සුදක් සී පැහැදිලි වනු ඇත.

    ReplyDelete