වෙසක් මාසය යනු ඍතු භේදයක් පවතින රටවල නම් ශීත කාලයට පසුව එළඹෙන වසන්ත කාලයයි. තම අතු පතර දරා සිටි කොළ මල් සියල්ල බිමට හලා දමමින් ශීත ඍතුවේදී දීර්ඝ නිද්‍රාවකට වැටෙන ගස්වැල් තුරු ලතා යළි අවධි වන්නේ මෙසමහිය.
සදා හරිත තුරු ලතා සහිත නිවර්තන දේශගුණයක් පවතින සමකාසන්න රටවලට පරිසරයෙහි වසරක් පාසා සිදුවන මෙම වෙනස එතරම් නොපෙනුනද ඍතු භේදය පවතින රටවල මෙසමයෙහි ඇත්තේ ඉතා චමත්කාර ජනක දසුනකි. ශීත සමයෙහි මිදී ඝනවී තිබුණ ලොකු කුඩා විල් පොකුණු ගංගා දියවී දිය ලෙළදෙවන්නට ගලන්නට පටන් ගනී. සකුරා ගස් එක යායට මල් සළු පැළඳ ගනියි. එම මල් පියලි උදුරාගන්නා නිතර හමන මද සුළං විටින් විට මල් පියලි වැසි පොලවට වස්සවයි. ඒ අතර මද පොද වැසිද වැටෙයි. අලුතින් නිල්ල නැගුන තණබිම් වල කුඩා වන මල් සිය දහස් ගණන් පිපෙයි.ඉර පායා තිබෙන රාත්‍රියේත් මී මැස්සන් ඒ වන මල්වල රොන්ගනියි. බලා නිම කළ නොහැකි චමත්කාරයක් හාත්පස ජනිත වෙයි.
එහෙත් ලෝකයට මේ චමත්කාරයෙන් වැඩක් නැත. පරිභෝජනවාදය අපව පොලඹවා තිබෙන්නේ මේ ගස් වැල් මල් ඇල දොළ ගංගා විල් පොකුණු උද්‍යාන අමතක කර ෂොපින් මෝල්වලම ලගින්නටය. ෂොපින් මෝල් නම් ජනී ජනයාගෙන් පිරී පවතී. බංග්ලාදේශයේ ඇඟලුම් කම්හලේ සිදුවූ ඛේදවාචකය ගැන කතා කරමින්ම ඔවුහු වැඩි වැඩියෙන් ඇඳුම් පැළඳුම් මිලදී ගනිති. මල් පිපුන උද්‍යානයේදී විල් තෙරදී හමුවන්නේ හැමදාම හමුවන කිහිප දෙනාම පමණි. ලෝකය වර්ඩ්ස්වර්ත් අමතක කර දමා බොහෝ කල් ගතවී තිබේ.
වර්ඩ්ස්වර්ත් නමැති බටහිර කවියා පරිසරයෙහි ලෞකිකත්වය ඉක්මවා යන අධ්‍යාත්මික චමත්කාරයක් දුටුවේය. පරිසරයෙහි එවැනි අධ්‍යාත්මික චමත්කාරයක් දැකීම පෙරදිග කාව්‍ය චින්තාවෙහිද දක්නට තිබෙන ලක්ෂණයකි. ඒ සදහා එක හොඳ නිදසුනක් වන්නේ පාලි ථෙර ථෙරී ගාථා සමුදායයි. මේවා බෞද්ධ භික්ෂු භික්ෂුනීන් විසින් පවසන ලද උදානයන්ය. ඇතැමෙක් ඒවා පද්‍ය ලෙස සැළකුවද කවි ලෙස නොසලකති. හැම පද්‍යයක්ම කවියක් නොවේ. කවියේ පරමාර්ථය රස නිෂ්පත්තියයි. ථෙර ථේරී ගාථා දේශනා කර තිබෙන්නේ රස ජනනය නමැති ලෞකික පරමාර්ථය උදෙසා නොව නිර්වාණ පරමාර්ථය උදෙසාය. ඒවා කවි නොවන්නේ ඒ අරුතිනි.
සප්පක මහ රහතන් වහන්සේගේ නෑදෑයින් උන්වහන්සේගෙන් ඉල්ලා සිටියේ වනවාසයට නොගොස් ඔවුන් අතරම සිටින ලෙසයි. එහෙත් උන්වහන්සේ තෝරාගත්තේ අජකරණී නදී තීරයේ වාසය කිරීමය.අජකරනී නදිය පිලිබඳ උපන් චමත්කාරජනක උදාන සිතුවිල්ල උන්වහන්සේ මෙසේ පද්‍යයකට නැගුහ.
යම් කලෙක පිවිතුරු සුදුපියාපත් ඇති කෙකිණි කළුමේකුළට බියෙන් තැතිගන්නා ලද්දී සැඟවෙන තැන සොයන්නී වාසස්ථානය කරා පලායන්නීද
එකල්හි අජකරනී නදිය මා සතුටු කෙරෙයි.
යම් කලෙක පිවිතුරු පඩෙරවන් වූ කෙකිණි කළුමේකුලට බියෙන් තැතිගෙන
නිලීයනස්ථාන නො දක්නී සැඟවෙන තැන සොයන්නී ද
එකල්හි අජකරනී නදිය මා සතුටු කෙරෙයි.
එහි මගේ ලෙන පිටිපස ජම්බු වෘක්ෂයෝ දෙපස ගංඉවුරු හොබවති.
ඒ වෘක්ෂයෝ එහි කවරක්හු නො පිනවත්ද,
සර්ප සමුහයගෙන් මොනොවට මිදුන ගාම්භීර නාද ඇති ඒ මැඩියෝ නද දෙති.
දැන් ගිරිනදින්ගෙන් වෙන්ව විසිය යුතු කාලය නොවෙයි.
නිර්භය වූ ඒ අජකරනී නදිය භද්‍ර වුවා අතිශයින් සිත්කළු වූ වෙයි.
එහෙත් උන්වහන්සේ විඳින්නේ පරිසරයේ මතුපිටින් පෙනෙන ලෞකික චමත්කාරය නොවේ.ගලා යන යන ගංගාව අසබඩ සැරිසරන සුදු පියා පත් ඇති කුරුල්ලන් නෙත පිනවන දසුනකි. අජකරනී නදිය අසබඩ සුදු කෙකිනියක් වැහි වලාකුළකට බියෙන් මරණ බියෙන් සැඟවෙන තැනක් සොයයි. මේ නෙත පිනවන දසුනේ ඇති ශෝකාත්මක කතාව එයයි. එහෙත් සප්පක මහරහතන් වහන්සේ එදෙස බලන්නේ දසුනේ මතුපිට පෙනෙන ලෞකික සුන්දරත්වයෙන් වශී වූ ප්‍රීතියකින් හෝ කෙකිනියගේ මරණ බිය අරභයා ඇතිවුන ශෝකයකින් හෝ නොවේ. කෙකිනිය මරණ බියෙන් තැතිගනිමින් අජකරනී නදිය අසබඩට පැමිනෙන විට මරණ බිය සදහටම අවසන් කළ උන්වහන්සේද නෑදෑයින් යෝජනා කළ වස්තු භෝග පිරි නගර වාසය හැර දමා එන්නේ මේ අජකරනී නදිය අසබඩටමය.
එකම අරමුණ පෘතග්ජනයා සහ යෝගිය දකින්නේ දෙයාකරයකටය. ගීත නාදයක් නංවමින් ගලන ගඟ, ගඟ අසබඩ සැරිසරණ සොඳුරු පක්ෂීන්, පලබර තුරු ලතා ආදිය ප්රුත්ගජනයෙකුගේ ඇලීම ගැලීම වඩවයි. එහෙත් ක්ෂීණාස්‍රවයන් වහන්සේ එය කෙනෙකු දකින්නේ ඇලීම ගැලීම වඩවන දසුනක් ලෙස නොව අත්හැරීම වඩවන දසුනක් ලෙසටය. පරිසරයෙහි ලෞකික චමත්කාරයක් මෙන්ම අලෞකීක චමත්කාරයක්ද එක විටම පැන නැගෙයි. මෙයින් කවර චමත්කාරයක් විඳගන්නේද යන්න අපසතු තෝරාගැනීමකි. ඉන් කවරක් තෝරගත්ත්තද එය ෂොපින් මෝල් චමත්කකාරයට වඩා උසස් වන බව නම් කිව යුතුය.
හරිම සුන්දර ලියමනක්..
ReplyDelete(මේ ථෙර ගාථා පාලියෙන් කියවන්න පුළුවන් තැනක් දන්නවද?)
ථේර ගාථා පාලියෙන් කියවිය හැකි ආකාරය ඔබ අසා තිබිණි. බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ ඛුද්දක නිකාය- ථෙරගාථා පාලිය හොඳම මූලාශ්‍රයයි
Deleteඅද වගේ ඔය ඔක්කෝම සැටලයිට් ටී වී එකෙන් බලන්න තිබුන නම්, සප්පක මහ රහතන් වහන්සෙත් වැඩ වාසය කරන්නේ ඇලන් මැතිනියාරාමේ හරි, නම්බර් වන් අසපුවක වෙන්න ඉඩ තියෙනවා බොහෝ විට.
ReplyDeleteThis was great to read
ReplyDelete