Tuesday, 14 May 2013

මල්හාර වැස්ස

භාෂාවක් දියුණු කළ  හැකි ප්‍රචලිත කළ  හැකි ප්‍රමුඛම  ක්‍රමය වන්නේ එම භාෂාව වැඩි වැඩියෙන් භාෂණය සහ ලේඛනය වෙනුවෙන් භාවිත කිරීමය. භාෂාවේ වචන කෝෂය සහ ප්‍රකාශන හැකියාව කාලානුරුපව වැඩි දියුණුවන්නේ මෙකී භාවිතය සමගින්ය. අප අපගේ දේශපාලන සංවාදය අපගේ බසින් කළ යුතුය. අපගේ  බසින් කරනා සාහිත්‍ය කරණය දිරිගැන්විය යුතුය. විශ්ව දැනුම ඉංග්‍රීසි ආදී  ජාත්‍යන්තර භාෂා  මගින් මෙන්ම සිය බසින්ද පරිහරණය කළ යුතුය. එසේ නොමැති වුවහොත් අපගේ භාෂාව අතීතයේ කෙතරම්  පොහොසත් බසක්ව තිබුනද අනාගතයේදී දුප්පත් බසක් වීම නොවැළක්විය හැකිය.

මේ පසුබිමෙහි ලා බලන කල ජනමාධ්‍ය අවකාශයෙහි චූල සම්ප්‍රදායක් වන සිංහල බ්ලොග් කරුවන් කරමින් සිටිනා   එක වැදගත් කටයුත්තක් වන්නේ සිංහල භාෂාව සයිබර් අවකාශය ඇතුළත වගා  දිගා කිරීමය. බස මැනවින් හසුරුවමින් සුභාෂිතය ඔප්නංවමින් ලියන බ්ලොග් කරුවන්ට මගේ උපහාරය ! මේ පුර්විකාව ලියන්නට සිතුනේ අද දින පළමු වතාවට කියවන්නට ලැබුණු 'කඳු'  නම්(http://amaleymunasinghe.blogspot.ca/) බ්ලොග් අඩවිය  නිසාය. එය ලියන්නේ කව්දැයි පුද්ගලිකව නොදනිමි.  එය කවි බ්ලොග්  අඩවියකි. ගමන් සගයකු මුණගැසුනා වැනි හැගීමක් එය කියවන කල  සිතට නැගුණි.

එහි හැඳින්වීමේ සටහනම කවියකි. මෙපරිදිය.

සරත් සෘතුව ද ගයන්නේ
මල්හාර රාගයයි
ශ්වේත හිම පිපී
සරතය ද විකසිතයි
පෙම්වත ඔබ
හිම මලක සැඟව
එක් අඳුරු සැඳෑවක
නොපෙනී ගිය විලාසයද
මේ සර සර සර සුළඟ ගයන්නේ
ගසල් ගීයක ස්ථායි කොටස සේ


 මෙහි එන "සරත් සරත් සෘතුව ද ගයන්නේ මල්හාර රාගයයි" යන යෙදුමට මගේ සිත ඇදිණි. දැන් ලියන්නේ මෙකී මල්හාර රාගය ගැනයි. මම සන්ගීතයකු   නොවෙමි. සංගීත රසිකයෙකු පමණි.මෙය හුදෙක් රසික සටහනක් පමණි.  හින්දුස්ථානි සංගීතය රස විඳින කිසිවෙකුටත් මල්හාර රාගය මග හැර යා නොහැකිය. එය එපමණටම මිහිරි සංගීත ආකෘතියකි.
මල්හාර රාගය ගයන වයන විට අහසින් වැස්ස වැස්ස කඩා හැලෙන බවට භාරතයේ සංගීත කාමීහු විශ්වාස කළහ.

ඒ පිලිබඳ කදිම පුරාවෘත්තයක් ඇත. මෝගල් අධිරාජ්‍යය කාලයේ උතුරු ඉන්දියාවේ ජීවත් වූ තාන්සෙන් නම් සන්ගීතයා දීපක් රාගය නම් රාගයක් ගායනා කළේය. එම රාගය නිවැරදිව ගයන විට ගායකයාගේ සිරුරු ගිනිගන්නා බව කියවේ.  තාන්සෙන් එම රාගය ගයද්දී මුලුපරිසරයම උණුසුම් වී ගංගා ඇල  දොළ පවා උණුසුම් වී වාෂ්ප වන්නට වී ගායකයා ගින්නෙන් දැවී අළු වී යාමට ආසන්න විය. අධිරාජයා වහා නියෝග කළේ  මිහිතලය සිසිල් කරවන වෙනත් ගායනයක්‌ ගැයිය  යුතු බවය. එවිට ගින්නෙන් බාගෙට පිලිස්සී සිටි තාන්සෙන් මේ කියන මල්හාර රාගය ගයන්නට විය. එවිට අහස ගුගුරවා වැසි වසින්නට විය. අද අප ජීවත් වන්නේද සාමුහික 'ගෝලීය මල්හාර රාගයක්' ගෝලීය උණුසුමට එරෙහිව ගැයිය යුතු වකවානුවකය.

මල්හාර රාගය හින්දුස්ථානි රාගධාරී සංගීතයේ කාෆි නම් ප්‍රධාන රග මේලයට අයත් උප රාගයකි. මෙය පදනම් කරගත් ජනප්‍රිය ගීත බොහෝ බිහිවී ඇත. එයින් මා සිත් ගත් ගීතයක් වන්නේ මදර් ඉන්දියා චිත්‍රපටයට, මොහොමඩ් රෆි, මන්නා ඩේ, ආශා බෝස්ලේ ඇතුළු ගායක කණ්ඩායමක් ගයනා කරන ''දුක් බරේ දින්  මිතෙරේ භයා'' නමැති  ගීතයයි. එය නිර්මාණය කර තිබෙන්නේ නෞෂාඩ් නමැති ප්‍රකට සංගීතයාය. මෙම චිත්‍රපටයද ලෝක ප්‍රසිද්ධ විය. සැමියා අහිමි වූ දුප්පත් දිරිය මවක් ඉඩම් හිමියන්ගේ තාඩන පීඩන මැද්දේ තම පුතුන් දෙදෙනා ලොකු මහත් කරමින් ඉන්දියාවේ සම්මතයන්ට අනුව ආදර්ශමත් දිවි පෙවෙතක් ගත කරයි. චිත්‍රපටය අවසන් වන්නේ අපරාධකරුවකු බවට පත්වන තම පුත්‍රයා ලෝක යහපත වෙනුවෙන් මව විසින් ඝාතනය කරනු ලැබීමේ ශෝක ජනක ජවණිකාවත් සමගමය.



චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟ පාන්නේ නාර්ගීස් නම් ප්‍රකට නිළියයි. මෙම ගීතය අඩංගු ජවනිකාවේ  විශේෂ රූප රාමුවක් ඇත.

 සමස්ත ඉන්දීය උප මහාද්වීප සිතියම පුරාම ගොවියෝ ප්‍රීතියෙන් නටති. අප රටේ සිතියම මැද්දේද එක ගොවියෙකු තනිවම ගීතයට අනුව නටයි.

පහත යූ ටියුබ් සබැඳිය රස විඳිනු මැනවි .

දුක් බරේ දින්  මිතෙරේ භයා 
http://www.youtube.com/watch?v=WvaqrhWuKss

3 comments:

  1. ගස්වැල් ශබ්දයට ප්‍රතිචාර දක්වන බව මා කොතැනක් හෝ කියවා තිබෙනවා...

    මල්හාර රාගය ගායනා කරන කොට ගස්වැල් වල ශ්වසනය වැඩි වී වැඩි වැඩියෙන් කාබන් ඩයෝක්සයිඩ් අවශෝශනය කර ගන්නවා ඇති....හරිතාගාර වායුවක් වන ,දැන් නම් 400 ppm, කාබන් ඩයෝකසයිඩ් වායුගෝලයේ අඩුවීම නිසා අවට සිසිල් වෙනව ඇති...

    දැන් තියෙන්නේ ඔය කාබන් ටැක්ස් අරවා මේවා පටලවගන්නේ නැතුව මල්හාර රාගය සුපර් ස්ටාර්ලා දාල ගායනා කරවන එකයි.....

    බෝලේ වගේද ගෝලේ...රත් උනාම මොකද වෙන්නේ....

    ReplyDelete
  2. කදු යනු මාත් ගොඩවදින අගනා කව් අඩවියක්...
    සංගීතය ගැන නම් මට දැනුමක් නැති තරම්..එහෙත් ඔබ මේ පෙන්වා දෙන කරුණුත් සමග මල්හාර රාගය දැනෙන්න ගත්තා වගේ හැගුමක් ඇති වුණේ..
    මෙන්න මේ වැකිය තමයි තදටම මගේ හිතට කා වැදුණේ
    //අද අප ජීවත් වන්නේද සාමුහික 'ගෝලීය මල්හාර රාගයක්' ගෝලීය උණුසුමට එරෙහිව ගැයිය යුතු වකවානුවකය.//

    ReplyDelete
  3. උස් කඳු දකී මිටි කඳු යහමින් සෙමින
    පසසයි ඔවා දෙයි සිලිලාරය දෙමින
    තුති යැයි කියනු මිස කුමටද උපහැරණ
    ඔබ වන් සුරතකින් මා කඳු ඉස තැබිණ

    ReplyDelete

Google+ Followers