Saturday, 4 January 2014

අපට අපගේ සිරස්පත අහිමි වුනේ ඇයි ?

 අද අවශ්‍ය වන්නේ සංස්කෘතික ආත්ම විශ්වාසයකින් යුක්ත මිනිසකු ගොඩනැගීමය. සංස්කෘතික ආත්ම විශ්වාසයක මූලික ලක්ෂණය වන්නේ බාහිර ලෝකයට බිය නොවීමය. ආරක්ෂණ වාදයට යටත් නොවී විචාරාත්මක දැනුමට සහ අදහස් වලට ඉඩ දීමය.

 අවාසනාවකට මේ කියන විචාරාත්මක භාවය වෙනුවට සිංහලයාගේ වර්තමාන සංස්කෘතික චර්යාව වී තිබෙන්නේ අධානග්‍ග්‍රාහීත්වයයි. සරු දේ සරු ලෙසත් නිසරු දේ නිසරු ලෙසත් තෝරා බේරා ගැනීමේ හැකියාව අහිමි කර ගත්  නිවට සහ නියාලු  මෙන් ම  පුහු උද්ධ්ච අධානාග්‍රහීත්වයක හෙවත් ඩොග්මාවක අප සිරවී ඇත. මෙය බෞද්ධ සමාජයකට උරුම විය යුතු ඛේදවාචකයක් නොවේ. මන්ද යත්  බුදු සමය තරම් අධානග්රහී චර්යාවන් විවේචනය කළ තවත් සමය දර්ශනයක් නොමැති බැවිනි. බෞද්ධ සමාජයක් සංස්කෘතික අවිචාරයක ගිලේ නම් අධානග්රාහීත්වය නමැති  පල වලේ එරී තිබේ නම් එවන්  සමාජ වල ඇත්තේ බෞද්ධ හමක් මිස බෞද්ධ කමක් නොවේ. සිංහල බෞද්ධ සමාජයේ බොහෝ මෑත කාලීන සහ සමහර ඈත කාලීන චර්යාවන් දෙස බලන කල පෙනීයන්නේ අප ආරක්ෂා කර ගන්නට වෙර දරන්නේ බෞද්ධ පිට හමක් හෙවත් බෞද්ධ පිට පොත්තක් මිස බෞද්ධ අභ්‍යන්තරයක් හෙවත් බෞද්ධ කමක් නොවන බවය.

මෙවැනි ඩොග්මාවක සිරකරුවන් වීමට බලපෑ ඈත කාලීන හේතු ගැන මදක් විපරම් කර බලමු. සෑම ශිෂ්ටාචාරයකම වාගේ ජනිත වන ඉතා වටිනා අදහස් ඒවාට හිමි විය යුතු වටිනාකම අහිමි කර දමමින් වල දමා තිබීම මානවයාගේ සමාජ සංස්කෘතික  ඉතිහාසයේ දක්නට ලැබෙන ඉතාම කනගාටුදායක තත්වයකි. කලාම සූත්‍රයෙන් බුදුන්වහන්සේ ඉදිරිපත් කළ විචාරාත්මක ප්‍රවේශය ද  එසේ නොසැලකිල්ලකට ලක් වූ එක්  අදහසකි. එය සූත්‍ර පිටකයේ අදටත් නිසි සැලකිල්ලක් නොලැබ  වැසී තිබෙන මාණික්‍ය රත්නයකි. කලාම සූත්‍රයෙන් පුද්ගලයාගේ බුද්ධිමය සහ චින්තනමය ස්වාධීනත්වය උපරිම ලෙස තහවුරු කරන අදහසක් බුදුන්වහන්සේ ඉදිරිපත් කළහ. එහෙත් බෞද්ධ සමාජ මේ සංකල්පයෙන් එතරම් වැඩ ගත්තේ නැත. බන පොතේ කුමක් තිබුනද බන දෙසන්නන් කුමක් දේශනා කලද විචාරාත්මක පුරවැසියන්ගේ සමාජ වෙනුවට නිවට නිවට නියාලු එහෙයියන් වැඩි පුර සිටින සංස්කෘතීන්  ආසියාතික බෞද්ධ  සමාජ අතරින් බිහිවිය.

 මෙයට හේතුව බටහිරයන් පැමිණ අපගේ කොන්ද කඩා දැමීමය යනුවෙන් ජනප්‍රිය ගැලවිජ්ජා  සූත්තරයක් අපි නිර්මාණය කර ගෙන තිබෙමු. ඒ සූත්තර කෙතරම් දෙසා බෑවද අප එරෙමින් සිටින අඳුරු අගාධයෙන් ගැලවීමට එම කතන්දර  ඉවහල් නොවන බැවින් අපි අපට ඇත්ත වශයෙන්ම වැරදුනේ කොතනදැයි විචාරාත්මකව විමසා බලමු.

රෙනේ දෙකාර්ට්ස්ගේ දර්ශනය අඳුරු යුගයකින් ගැලවීමට යුරෝපයට පාර කියා දුන්නේය. යුරෝපයේ පුනරුදය ගැන අපට කොතරම් විවේචන තිබුනත් දෙකාර්ට්ස්ගේ චින්තනය  එක්තරා අඳුරු යුගයක අවසානය සලකුණු කළ චින්තාවක් විය. කලාම සූත්‍රයෙන් බුදුන්වහන්සේ ඉදිරිපත් කල විචාරාත්මක ප්‍රවේශය දෙකාර්ත්ස්ගේ සංකල්පයට වඩා බොහෝ ඉදිරියෙන් තිබෙන්නකි. එසේ තිබියදීත් එය පදනම් කොට ගෙන විචාරාත්මක ශාස්ත්‍රීය සම්ප්‍රදායක් සංස්කෘතික චින්තන සම්ප්‍රදායක්  අඩුම තරමින් ථෙරවාදී බෞද්ධ සමාජ වල ගොඩ නොනගුනේ ඇයි? අපට අපගේ බුද්ධිමය සිරස්පත අහිමි වුනේ ඇයි? ඔබේ උදහස් නොවු අදහස් සමග අපි මේ ගැටලුව කතා කරමින් ඉදිරියට  යමූ.

1 comment:

  1. ///එසේ තිබියදීත් එය පදනම් කොට ගෙන විචාරාත්මක ශාස්ත්‍රීය සම්ප්‍රදායක් සංස්කෘතික චින්තන සම්ප්‍රදායක් අඩුම තරමින් ථෙරවාදී බෞද්ධ සමාජ වල ගොඩ නොනගුනේ ඇයි? අපට අපගේ බුද්ධිමය සිරස්පත අහිමි වුනේ ඇයි? ///

    බුද්ධාගම ඉන්දියාවෙන් අතු ගෑවිලා යන කොට ඒක එහෙම උනේ ඉන්දියාවේදී බුද්ධාගම මහායාන විදිහට වෙනස් උන හින්දයි කියලා හිතපු හාමුදුරුවරු...ලංකාවේදී ඒක එහම වෙන්න දෙන්න බෑ කියලා හිතලා විකල්ප මතවාද ගේන අයව මිත්‍යා දෘශ්ටියන් ලෙස බෞතීස්ම කරපු හින්දා....:)))

    තියරිය ආරක්ශා කරන්න ගිහිල්ලා තියරිම වරද්ද ගෙන වගේයි මට පේන්නේ.....

    ReplyDelete

Google+ Followers