Tuesday 24 December 2013

උඳුවප් බෝසත්

ජේසු තුමන්ගේ උපත සමරන උදුවප් මාසයේ නත්තල උදාවෙමින් තිබේ. මහා මැදුරක වුවද, කානු පල්ලක සිදු වුවද  මිනිස් දරුවකු ලොවට බිහි වීම අසිරිමත් සිදු වීමකි. ඒ අරුතින් ගත්  කල වල්ග තරු පෑයූ රාත්‍රියක දිළිඳු මාපිය යුවලකට දාව සිදු වූ ජේසු උපත ද මහා අසිරිමත් මානව උප්පත්තියකි.එහෙත් ජෙසුතුමන්ගේ මරණය එබඳු අසිරිමත් මරණයක් නොවේ. බුදුන්වහන්සේගේ නම් පරිනිර්වාණයද මංගල්‍යයක් ලෙස බෞධයෝ සලකති. ජේසු තුමන් ස්වභාවික ලෙස මිය ගියේ නැත. එනම් සිය ජව සම්පන්න තුරුණු වියේදීම කුරිරු  මරණ දඬුවමකට ලක් වී සිරුරු කිහිප පොලකින්ම විද ලී කුරුසියකට තබා  ඇණ ගසා වතුර පොදක් වත් බොන්නට නොදී වේදනාවෙන් හා පිපාසයෙන් මිය යන්නට සැලැස්වීමේ එකල ඊශ්‍රායලය ක්‍රියාත්මක කල මිලේච්ඡ දඬුවම් ක්‍රමයට ජෙසුතුමන් ගොදුරු විය .

කුරුසියේ ඇණ ගසන අවස්ථාවේ විලාප හඩින් කෑ ගැසූ ජෙසුතුමන් " එලොයි එලොයි ලාමා සබක්තානී " නම් වචන කිහිපයක් කියා ඇත. ඒවා  ජෙසුතුමන්ගේ අවසාන වචන ලෙස පිළිගැනේ. මේ වචන හතරට විවිධ අර්ථ කථන දී තිබේ. බයිබලයේම එකිනෙකට වෙනස් කතා තුනක් කියවේ. " මගේ දෙවියනි ... මගේ දෙවියනි ඔබ මා ඇත හරියේ ඇයි ?'' යන්න එකකි. '' පියාණනි ඔබගේ අතට මගේ ආත්මය භාර දෙමි '' යනුවෙන් තවත් අර්ථ කථනයකි. " සියල්ල අවසානයි " යන්න තවත් නිර්වචනයකි. භාෂාවේදීන් පවසන ආකාරයට ජෙසුතුමන් කතා කර තිබෙන්නේ එකල  ප්‍රභූ පැලැන්තියේ ජනතාව කතා කළ භාෂාව වූ හීබ්රු භාෂාවෙන් නොව පොදු ජනයාගේ භාෂාවක් ව තිබු 'අරමයික ' භාෂාවෙන්ය. ඒ අනුව ඔවුන් කියන්නේ අරමයික බස හීබ්රු බසට පෙරලීමෙදී පරිවර්තන දෝෂයක් සිදු වී ඇති බවය. 'ලාමා සබක්තානී ' යනුවෙන් ජෙසුතුමන් අවසාන මොහොතේ කතා කර ඇත්තේ තමාගේ ගුරුවරයෙකු වූ ටිබෙට් රටේ බෞද්ධ ලමාවරයෙකුට යයි මත දක්වන්නෝ කියති .

මේ කරුණ ඉදිරිපත් කළේ  ජෙසුතුමන්ගේ අවසාන වචන ලෙස බයිබලයේ සඳහන් වී තිබෙන කරුණු අභියෝගයට ලක් කිරීමේ අදහසින් නොව සිය ළදරු වියේදීම මවත් සමග උපන් බිම වූ  ගලීලයෙන් පලාගිය ජෙසුතුමන් ආසියාවේ ටිබෙට් දේශයට පැමිණ බුදු දහම හදාරා නැවත ඊශ්‍රායලයට යන්නට ඇතැයි යනුවෙන් අනුමාන කෙරෙන ප්‍රබල මතයක් පවතින බැවිනි. ලෝකයේ ආගම් ගැන විශාල අධ්‍යයනයක යෙදුන ඉන්දියාවේ පෙරලිකාරී චින්තකයකු හා දාර්ශනිකයකු වූ භාගවාන් රජ්නීෂ් හෙවත් ඕෂෝ කියන්නේ ජෙසුතුමන් ඉන්දියාවට පැමිණි බව සඳහන් කෙරෙන ඉතා පැහැදිලි වාර්තා තවම ලබා ගත හැකි බවය.  ලෝකයේ බොහෝ ප්‍රජාවන් තම ඉතිහාසය ලියා තබා නැත. ඊශ්‍රායලයේ ඉතිහාසය බයිබලය නමින් යුදෙව්වන් අතිනුත් ලංකාවේ ඉතිහාසය මහාවංශය නමින් සිංහලයන් අතිනුත් කාශ්මීරයේ   ඉතිහාසය ''රාජ තරන්ගනිය ' නමින් කල්හාන නම් ඉතිහාස කරුවා අතිනුත් ලියවී තිබීම ඒ අතර විශේෂ කරුණකි . කල්හානගේ ඉතිහාස පොතේ ජෙසුතුමන්ගේ ඉන්දියානු ජීවිතය යයි සැලකිය හැකි කතාවක් තිබේ .

"ජේසුස් නම් බුද්ධ ශ්‍රවකයනෝ '' නම් පොත ලියූ කොලට් සේනානායක සහ නාරද කරුණාතිලක එය මෙසේ පරිවර්තනය කර පෙන්වති . 

 ''............... ඉසනා නමින් ඇති ප්‍රසිද්ධ සාන්තුවරයෙක්  ඩල් ගංගාව අසල ඉසබාර්හි විසුවේය. ඔහුට බොහෝ ශිෂ්‍යන් සිටි අතර ප්‍රධාන ගෝලයා 'සව්දිමතී' නම් විය. සියලු රටවැසියෝ සව්දිමතී ඔවුන්ගේ රාජ්‍යය හෙබවීමට සුදුස්සා  බව කීහ. භීතියට පත් (එවකට එරටේ සිටි ) නපුරු රජතුමා  සව්දිමතී  කුරිසියේ තබා ඇණ ගැසුවේය.  මෙය  ඇසු ඉසනා එහි ගොස් සව්දිමතීගේ නාසයට සුවඳ තෙලක් පිම්බේය . තුන් දිනකින් සව්දිමතීට සිහිය ලැබුනි ......''

 කුරුසියේ  ඇණ ගසා දඬුවම් කිරීම කාශ්මීරයේ තිබූ  දඬුවම් ක්‍රමයක් නොවේ.  මේ වනාහී තමන් ඇසු කතාවක්  කල්හාන තම කාශ්මීර ඉතිහාස පොතට ඇතුලත් කිරීමකි. එයින් තේරුම් ගත යුත්තේ කාශ්මීරයේද ටික කලක් සිටි සාන්තුවරයෙකු පසු කලෙක වෙනත් දේශයකදී කුරුසියේ ඇණ  ගසනු ලැබූ බව පමණි. ජෙසුතුමන්ගේ පෙරදිග ගමන ගැන කියන අර්ථ දක්වන මෙවැනිනි කතන්දර තව කොතෙකුත් තිබේ. 

ජෙසුතුමන්ගේ පෙරදිග ගමන පිලිබඳ කතාව මෙපණටම වැදගත් වන්නේ එතුමන් ඊශ්‍රායලයට හා එහි ඉතිහාසය ලියවී ඇති ඉබලයේ පරණ ගිවිසුමට හෙවත් යුදෙව් ආගමට සපුරා වෙනස් ලෙස පෙනෙන දර්ශනයක් ඉගැන්වීමක් පතුරුවා හළ  බැවිනි. නව අදහස් ඉදිරිපත් කිරීමට ජෙසුතුමන්ට දැනුම  ලැබුනේ පෙරදිගින් බව සිතන්නට පෙළඹවීමක්  ඇතිවන්නේ ඒ අනුවය.

ජෙසුතුමන් ඊශ්‍රයල්යෙදී කළේ ආගමක් දෙසීමක්ද නැතහොත් පීඩාවට පත් ජනතාවක් ගලවා ගැනීම වන දේශපාලන මෙහෙයුමකද යන්න අතිශයින් විවාදිත කරුණකි. ජේසු තුමන් උපන් යුගයේ ඊශ්‍රායලය තිබුනේ රෝම අධිරාජ්‍යයට යටත් රෝමයේ යටත්  විජිතයක් වශයෙනි. රෝම සීසර් වරයා මේ යටත් විජිතයේ ප්‍රජා පීඩනය පවත්වා ගෙන ගියේ අන්ත ප්‍රතිගාමී පූජක පැලැන්තියක පිහිටෙනි. ජේසු තුමන් මේ පූජක පැලැන්තියටත් ඔවූන් දේශනා කළ  යුදෙව් ආගමටත් මුළුමනින්ම පටහැනි දේ කළේය. කීවේය. ' ඇසට ඇසක්- දතට දතක් ' නම්  පළි ගැනීමේ යුදෙව් නීතිය වෙනුවට ඔහු  මයිත්‍රියේ  දේශනාව ඉදිරිපත් කළේය. යුදෙව් ආගමේ දශ පනත අමු අමුවේ කඩ කරමින්  නිවාඩු දිනයේ හෙවත් සබත් දිනයේ පවා ජනතාව වෙනුවෙන් වැඩ කළේය. මහජනයා පීඩාවට පත් කරන  පාලකයන්, පූජකයන්, ගිනි පොලී කරුවන්, ජාවාරම් කරුවන්, වන්චාකාරයන්ට එරෙහිව ඔහු  අති තියුණු වචන මාලාවක් සහිතව ජනතාව සංවිධානය කළේය. එසමයෙහි අතිශයින් පරිහානණියට පත්වෙමින තිබූ යුදෙව් ජන ජීවිත නගා සිටුවන නව අදහස් ඉදිරිපත් කළේය. මුළු මහත් යුදෙව් ජීවන දෘෂ්ටියම කණපිට හැරවීය.

මේ සියලු කරුණු අනුව පෙනී යන්නේ ජෙසුතුමන් කළේ ආගමික මෙහෙයකට වඩා දේශපාලන කටයුත්තක් බවය. මැතිව් මෙසේ සඳහන් කරයි 

"............. යෙරුසිලමේ දුවරුනි ... සතුටින් ඔල්වරසන් දෙන්න 
               අන්න බලන්න .... ඔබලාගේ රජතුමා පැමිණේ 
               එතුමා ජයග්රාහීය ...... විජයග්රාහීය 
               නිහතමානී බැවින් කොටලුවකු පිටේ 
               පැමිණෙන්නේය 
              එතුමා ජාතිය සාමය දේශනා කරන්නේය ........

කොටලුවකු පිටේ නගිමින් තැනින් තැන යමින් යුදෙව් ජාතික විමුක්ති අරගලය සංවිධානය කළ  ජේසු තුමන්ට එරහිව නැගුනු ප්‍රධාන චෝදනාව වූවේද යුදෙව්වන්ගේ රජු ලෙස පෙනී සිටියාය යන කරුණය. අනෙක් චෝදනාව වූයේ තමන් දෙවියන්ගේ පුත්‍රයා යයි කියමින් දෙවියන්ටද නින්දා අපහාස කළ බවය.  එහෙත් නඩුව විමසු  පිලාත් නම් ආණ්ඩුකාරවරයා මුල් වටයේදී " මට මොහුගේ කිසි වරදක්  පෙනෙන්නේ නැතැයි'' කියමින් චෝදනාව බැහැර කළේය. අවසානයේදී ජෙසුතුමන්ට දඬුවම් දිය යුතු යයි එක හඬින්  කෑ ගසමින් ඉල්ලා සිටියේ එතුමන් සමග සිටි ජනතාවමය. 

ජෙසුතුමන්ව  කුරුසියේ තබා ඇණ  ගැසීමෙන් පමණක් රෝම පාලකයන්ට තම ප්‍රජා පීඩන පාලනය කරදරයකින් තොරව පවත්වා ගෙන යා හැකි වූයේ නැත.  ජෙසුන්ගේ අනුගාමිකයන් වූ හා සම කාලීනයන් වූ ජෝන්ද බැප්ටිස්ට් , ජේම්ස්, සිමොන් පීටර් ආදීන්ද මරා දැමීමට සිදුවිය.  මේ ඝාතනත් සමගම රෝම පාලකයන්ට එරෙහිව මහා ජනතා සටනක් අවිලිනි. රෝම හමුදාව ජෙරුසලමේ මහා දේවාලය ගිනිබත් කළහ. ජෙරුසලමේ වැව ලෙයින් රත් පැහැ  ගන්වෙමින් මිනිස් හිස් වලින් පිරිණ.  දස දහස ගණන් යුදෙව්වෝ වහලුන් ලෙස රෝමයට අල්ලාගෙන යන ලදහ. සිර කරුවෝ එකොලොස් දහසක් බඩගින්නේ මිය ගියහ. ජෙසුතුමන් ආගමික  සුරුවමක් බව පත් වූයේ  මේ සියලු කලබගෑනි අවසාන වී රෝම අධිරාජ්‍යය බිඳ වැටීමෙන් පසුවය .

 මේ අසිරිමත් චරිතය  විවිධ  අය  විවිධ අයුරින් දකිති. කියවති. අර්ථ කතනය කරති.  කිසියම්  බෞද්ධයකුකට  ජේසුතුමාව  අධිෂ්ටාන, වීර්ය, ප්‍රඥා පාරමිතා  පිරූ  බෝසත්  වරයකු ලෙස පෙනෙන්නේ නම් එය   පුදුමයට හෝ තරහ ගැනීමට  කරුණක් නොවේ.

(මෙය 2009 දෙසැම්බර 20 දින  දිවයින පුවත් පතේ සංහිතාව තීරුවේ පල වූ ලිපියක් ඇසුරින් සකස් කරන  ලද්දකි)






2 comments:

  1. හ්ම්ම්ම් මේකනම් අර බුදුන් වහන්සේ ලාංකිකයෙක් කියන ජාතියේ ආටිකල් එකකි. අවාසනාවකට මේවගේ එව්වා යන්නේ ලංකාවේ සිංහල මාධ්‍යයේ පමණි. එහි ප්‍රතිපල අපි අගේට භුක්ති විඳිමු.

    ReplyDelete
  2. නොදන්න දේවල් ගැන නොලියා ඉන්නවා නම් හොඳයි. ලියන්නම හිතෙනවා නම් එහෙන් මෙහෙන් අහුල ගත්තු තුට්ටු දෙකේ මූලාශ්‍ර දෙක තුනක් මත යැපෙන්නෙ නැතුව පුළුල් අධ්‍යයනයක් කරලා ඉන්න. ජේසුස් වහන්සේ ආසියාවට ගියා කියන මුසාව පැත්තකින් තිබ්බත්, මේ ලිපියේ බරපතල වැරදි කීපයක් තියෙනවා. "ඒලොයි ඒලොයි ....." කියන්නේ ජේසුස් වහන්සේගේ අවසාන වචන නෙමෙයි. ඒක පරිවර්තනය කිරීමේදී කිසිම අපහසුවක් වෙලා නැහැ. ඔබ සඳහන් කර ඇති සියලුම ප්‍රකාශ ජේසුස් වහන්සේගේ මුවින් නික්මුණ බව බයිබලයේ සඳහන්. 'ලාමා' කියලා කියන්නේ උන්වහන්සේ කිසිම දවසක දැකලාවත් නැති ලාමාවරයෙකුට නෙමෙයි. මේ වචන බයිබලයේ ම තියෙන ගීතාවලිය පොතේ 22වන ගීතිකාවේ ආරම්භක වචනයි. ඇත්තෙන්ම උන්වහන්සේ මේ කරන්නේ දෙවියන් වහන්සේට යාච්ඤා කිරීමක්.
    ජේසුස් වහන්සේට එල්ල වූ ප්‍රධාන ම චෝදනාව තමන් දෙවියන් වහන්සේගේ පුත්‍රයා බව පැවසීමයි. තමන් පැමිණියේ දේශපාලන විප්ලවයකට නොවන බව ජනතාවට ඒත්තු ගැන්වීමට උන්වහන්සේ ඉතා පරෙස්සම් වුණා. ඒක තේරුම් ගන්න ශුද්ධවූ බයිබලය ප්‍රවේසමෙන් අධ්‍යයනය කරන්න ඕනෙ. බයිබලය කියන්නේ එහෙන් මෙහෙන් කෑලි අහුලගෙන විග්‍රහ කරන්න පුළුවන් පොතක් නෙමේ. ඒක සමස්තයක් විදිහට හදාරන්න ඕනෙ.
    මනස්ගාත ලියලා අනිත් අයව නොමග අරින්න එපා. මෙලොව බිහිවුණු ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයාට අපහාස කරන්නත් එපා.

    ReplyDelete