Monday, 23 December 2013

සංස්කෘතික ආත්ම විශ්වාසයක් ගොඩ නැගීම

අපි සංස්කෘතිය නමැති පළල්  මාතෘකාවෙන් පටන් ගනිමු.  සංස්කෘතිය යනු කුමක්දැයි විග්‍රහ කිරීම සඳහා  බොහෝ කතන්දර ඉදිරිපත් වී තිබේ ඒවා සියල්ල මෙහි ලිවීම කාලය කා දැමීමකි. සංස්කෘතිය නමැති වැඩ බිමෙහි කටයුතු කරන විශාලතම ජාත්යනතර සංවිධානය වන යුනෙස්කෝව සංස්කෘතිය  ගැන ඉදිරිපත් කර තිබෙන අර්ථකථනය පමණක් මෙහි ගෙනහහැර දක්වා අපගේ කතිකාව ඉදිරියට ගෙන යමු.

යුනෙස්කෝව මෙසේ කියයි. සංස්කෘතිය යනු  '' සමාජයක හෝ සමාජ කණ්ඩායමක අනන්‍යතාව පෙන්නුම්කරණ භාවමය, බුධිමය, භෞතිකමය, අධ්‍යාත්මික සියල්ලෙහි  සංකීර්ණ සුවිශේෂත්වයයි '' මේ කියන සියල්ල කිසියම් සමාජයක් තනිවම නිපදවා ගන්නේ නැත. හැම සංස්කෘතියකම දකින්නට තිබෙන්නේ " හුවමාරු කිරීම් වල සහ ණයට  ගැනීම් වල මිශ්‍රණයකි". අවාසනාවකට අපගේ ජාතිකවාදයන් මේ කරුණ භයානක ලෙස අමතක කරමින් තේරුමක් නැති නැති සංස්කෘතික ආරක්ෂනවාදයක් කරා පල්ලම් බැසීමට අපට යෝජනා කරමින් සිටියි. ඔවුන් වඩා කැමති  දොර කවුළු පියන්  පත් ඇරීමට නොව පුළුවන් තරම් වසා තැබීමටය. 

මහාත්මා ගාන්ධි සහ රවින්ද්‍රනාත් තාගෝර් යන නායකයෝ  ජාතික වාදයේ මේ අවගමනාත්මක ලක්ෂණය ගැන දනුම්වත් වූහ. " සතර අතින් හමනා සුළන් වලට ඔබගේ ගේ කුටියට  ඇතුළුවීමට ඉඩ  ලැබෙන සේ ඔබගේ  කුටියේ කවුළු  පියන්  පත් විවර කර තබන්න . එහෙත් ඒ සුළන්  වලට ඔබ උදුරා ගෙන යාමට ඉඩ නොතබන්න" ඒ ඔවුන්ගේ සංස්කෘතික දැක්ම පෙන්වන ප්‍රකට කියමනකි.

 අපගේ සියලු අට අනුවක් රෝග සහ නව අනුවක් ව්‍යාධි වලට  එකම හේතුව බටහිර සංස්කෘතිය අප මත කර තිබෙන බලපෑම යයි අවිචාරාත්මක අදහසක් වගා දිගා වෙමින් තිබේ. බටහිර යුරෝපානු සංස්කෘතියේ වැදගත් ලක්ෂණය වන්නේ  එය කිසි විටකත් තමන්  වසා ගැනීමේ වරදට හසු  නොවීමය. එය අතීතයේ සිටම පැවතියේ විවෘතාවය. පෙරගදිග ඇතුළු වෙනත් සංස්කෘතියකින් ලබා ගැනීමට තිබූ කිසිම දෙයක් එය ඇත හරියේ නැත. බටහිර ජනයා පෙරදිගින් දැනුම සහ සංස්කෘතිය උකහාගත් ආකාරය අප මවිත කරන තරමේ  වෘත්තාන්තයකි. එහෙත් අපගේ ජාතික වාදී කතිකාව මේ අසිරිමත් කතාවේ  අල්ලා ගත්තේ පිට පොත්ත පමණි.

"සංස්කෘතික වශයෙන් ආත්ම විශ්වාසයක් ඇති සමාජයක්  බාහිර බලපෑම් සඳහා වඩා විවෘත වන අතර එමගින් වැඩි වාසියක් ලබයි. අනෙක් අතට ආරක්ෂණ වාදී සමාජයක් වැඩි වැදගත් කමක් ලබා දෙන්නේ හිරි වැටී ඇති සම්ප්‍රදායන්ටය." නො එසේ නම් පසුගාමී සම්ප්‍රදායන්ටය. සංස්කෘතික ආත්ම විශ්වාසයක් ඇතිකර ගැනීමෙහි පදනම වන්නේ විචාර චින්තාවට ඇති ඉඩකඩයි. සන්ස්කෘතික ආරක්ෂනවාදය වෙනුවට සනස්කෘතික විචාරය බලගන්වන චින්තන ධාරාවක් අපගේ ජාතිකවාදී කතිකාව ඇතුලට  රැගෙන ආ යුතුය " ජාතිකවාදීන් එක්ක මොනව කතාකරන්නදැයි'' අපගේ මිතුරෙකු උපහාසයෙන් යුතුව මේ මෑතකදී පැවසුවේය. ජාතිකවාදය දේශපාලන භූමියෙන් ලෙහෙසියෙන් පල්ලම් බැස යන්නේ නැති නිසා වඩා යහපත් ජාතිකවාදයක් වෙනුවෙන් වැඩ කිරීම ජාතිකවාදය බැහැර කිරීමට වඩා ප්‍රාරයෝගික වන බව අපි ඔහුට යෝජනා කළෙමු.

සංස්කෘතික විචාර චින්තනයකට අවශ්‍ය විචාරාත්මක නිදහස අපගේ සංස්කෘතියට උරුමද ? අපි ඒ ගැන ඊ ලඟට කතා කරමු.

2 comments:


  1. වැදගත් සටහනක් .... සුබ නත්තලක් වේවා ඔබට ...

    ReplyDelete
  2. සෑහෙන්න පරක්කු වෙලයි මේක දැක්කේ. සංස්කෘතික ෆොබියාවක්‌ විනා සුරකින සංස්කෘතික රාමුවක් මේ උදවිය කියා දෙන්නේ නැහැ. බටහිරෙන් රැකගතයුතු අපේ ඒක මොකද්ද කියා කතා වෙන්නේවෙත් නැහැ.

    දැනට සමාජයේ තියෙන අපේ කම හෙවත් කෙල්ලන්ට කේක් වලට දාන්නවත් මත්පැන් මිලට ගන්නට තහනම්, කන්යාවියන් ලෙස විවාපත් විය යුතු, කොණ්ඩය කොටට කපන, පච්ච නොකොටන, කිස් කිරීම තුලින් සදාචාරය පිරිහෙන අටමගල ජනේලේ බලෙන් ඇර කාමරේට සුළි සුළඟක් ගසා එහි තිබූ සියල්ල එලියට විසි කොට බලෙන් පුරවා සීල් තබන ලද වික්ටෝරියානු සම්ප්‍රදායයි. ඔබ එය ආරක්ෂනවාදයක් ලෙස දකින්නේ එය අපට කොටා පෙවූ හාම්පුත්තු එය සුරකින්නට බහිරවයන්ට මෙන් අපට පුහුණු කල නිසාය.වික්ටෝරියාට විහාරමහාදේවි කියා නම වෙනස් කළ පමණින් මෙය අපේ නොවේ.

    මං හිතන්නේ අවුල ඇත්තේ මෙතන. දන බලන්න ලංකාවේ වර්තමාන අපේ කම හෙවත් සංස්කෘතික රාමුව කඩා ගන්නේ කවුද? නාගරික සංකර කියන අයද ග්‍රාමීය අමිශ්‍ර අවංකවම අපේ අයද? කෙල්ලන් කොල්ලන් එක්ක රිසි සේ ඉන්න එක සුලබ නාගරික මධ්‍යම පන්තියේද? ග්‍රාමීය අහුමුලු වලද? එහෙම වීමෙන් කියවෙන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් රටක ජෙනුයින් සංස්කෘතිය තියෙන්නේ අමිශ්‍ර ප්‍රත්‍යන්ත වල, නවීකරණය වන නාගරික ප්‍රජාව තමා එයින් දුරස වන්නේ. ඒත් අපිට අපේ කම ගමේ කම කියාදෙන බොහෝ දෙනෙක් නාගරික මධ්‍යම පන්තිකයින්. එයාලා කියල දෙන මොඩලය වැඩියෙන කැඩෙන්නේ හද්ද ඩොටේ ගම්වල. එකෙනුත් පෙනෙන්නේ සංස්කෘතිය ආපු දිහාව. අපේ කම කියන පිටකම.

    සුද්දගේ ආක්‍රමණයත් එක්ක මේ පුංචි දූපතේ අනන්‍යතාවයක් ඉතුරු වෙන්නේ නැහැ. කෝට්ටේ යාපන රාජ්‍ය දෙක පරංගි ඇල්ලුවේ සියවසකට පොස්සක් අඩුවෙන්. ඒ සමග වටේ පිටේ අනිකුත් පොඩි එව්වත් අල්ල ගත්තා. අන්තිමට දේශීය කියන එක නියෝජනය කරන්න ඉතුරු වුනේ පරඳි සෙනෙවියෙක් හා බිලිඳු වියේ සිට පරංගි යටතේ හැදුණු කුමාරිකාවක්. මේ අය දේශපාලනමය වශයෙන් අපේ වීරයන් වුනාට ඔය කියන සංස්කෘතික අනන්‍යතාවය සම්බන්ධයෙන් "අපේ' වෙනහැටි හිතා ගන්න බැහැ. අපේ කියන එක රකින්න තිබ්බ කන්ද උඩ රට පාලනයට ගත්තේ ඔක්කොම පිට අය බොහෝ විට යුරෝපීයයන්. ඊටත් පස්සේ රජාත් ඉන්දියාවෙන් ආනයනය කළා. මට කියන්න ඕනේ, අපේ කියන සංස්කෘතික අනන්‍යතාවයක් නොමැරී ඉතුරුවෙලා ඇතිනම් එය ඉතා කුඩා බවයි.

    ලංකාවේ අවුලත් මේකයි. සංස්කෘතික අනන්‍ය මහා සම්ප්‍රදායක් වෙනුවට තියෙන්නේ හැම එකාම පහරලා ගියපු වලත්තකමක්. ලංකාවේ වර්තමාන ගෝලීය සංස්කෘතික ප්‍රවාහයෙන් දුරස වෙච්ච තැන්වල තියෙන්නේ මහා කුහක ඉරිසියාකාර කාලකන්නි චින්තනයක්.

    හොඳ ගති නැතුවා නොවේ. සුහදශීලී කම උදව් වීම, අනිකා ගැන ඇති එම්පතිය, බෞද්ධ චින්තනයෙන් එන දානය වගේ ගති තියෙනවා. ඒත් ඒ තරම්ම මහා කාලකන්නි සිරිත් තියෙනවා. අපිට ගම ගැන උගන්වන බොහෝ දෙනෙක් නගරයේ හැදුණු අය වීමත් ගමක උපන් බොහෝ දෙනෙක් ගම ගැන ඇත්ත දන්නා අය වීමත් වෙන්නේ මේ නිසා.

    ඔන්න ඔය නිසයි අපිට මේ වෙලාවේ සංස්කෘතිය හද්ද මඥ්ඥමක් වෙලා තියෙන්නේ.

    ReplyDelete

Google+ Followers