Wednesday 27 February 2013

එළුවෙක් දෙන්නයි මං ආවේ!

එළුවෙක් දෙන්නයි මං ආවේ!

පූර්විකාව...

දොස්තර පියල් වල්පොලගේ ආරාධනයෙන් ලෝක ප්‍රසිද්ධ බෞද්ධ හිමිනමක් වන අජාන් ච බ්‍රහ්මවන්ශෝ හාමුදුරුවෝ මේ ළඟදී කැනඩාවේ ටොරොන්ටෝ මහා විහාරයට වැඩම කරමින් ධර්ම දේශනාවක් පැවැත්වුවා. උන්වහසේ කියපු එක දෙයක් මගේ හිතට වැදුන. 'ලොකු ගැඹුරු දේවල් පොඩි කතාවලින් විස්තර කරලා දෙන්න පුරුදුවෙන්න!'. උන්වහසේ ධර්ම දේශනාව ආරම්භ කළෙම 'වන්ස් ඔපොන් අ ටයිම්....'. කියලයි. එහෙනම් මේ ලිපියට අදාල කතාවට බහිමු.

කතාව

මේක ඇෆ්ගනිස්ථානයේ කතාවක්. ඉස්සර එක්තරා මහලු ගොවියෙක් එයාගේ වැඩිවියට පත්වුණු දරු මල්ලන්ද ඉන්න පුතුන් තුන්දෙනා (03) සමග එක ගමක වාසය කළා.මේ ගමේ මිනිස්සුන්ගේ අදායම් මාර්ගය වුනේ කිරි පිණිස එළුවන් ඇතිකිරීම.ඉතින් මේ ගොවියා ජීවත්වෙලා මරණාසන්න මොහොතට ලංවෙලා පුතුන් තුන්දෙනා ගෙන්නලා කිව්වා
 '' මගේ දේපල ගැන අන්තිම කැමති පත්‍රය ලියල තිබෙනවා.මගේ අවසන් කටයුතු වලින් පස්සේ ඒකෙ තියෙන ආකාරයට දේපල තුන්දෙනා අතර බෙදාගනිල්ල. මගේ අන්තිම කැමැත්ත මොනම අකාරයකටවත් වෙනස් කරන්න එපා" කියල. පියාගේ අවසන් කටයුතු වලින් පස්සේ පුතාල තුන්දෙනා අන්තිම කැමති පත්‍රය දිගහැරලා බැලුව. ඒකෙ තිබුනේ මෙහෙමයි.
 
මා සතු එකම දේපල අපේ පට්ටියේ සිටිනා එළුවන් 17 දෙනා පමණි . මෙම එළුවන් 17 දෙනාගෙන් භාගයක් (1/2) ලොකු පුතාටද, තුනෙන් එකක් (1/3) දෙවෙනි පුතාටද, නමෙන් එකක් (1/9) බාලම පුතාටද හිමිවිය යුතුය !

පුත්තු තුන්දෙනා පියාගේ අවසන් කැමති පත්‍රයේ සඳහන් වට්ටෝරුවට අනුව එළුවන් බෙදන්න හැදුව. බෙදාගන්න බැහැ. දා හත දෙකෙන් වත් තුනෙන් වත් නමෙන් වත් බෙදන්න බැහැ. ප්‍රථමක සංඛ්‍යාවක් නිසා. භාග ගණන් මයි එන්නේ. ලොකු පුතාට අටහමාරයි (8 1/2) . දෙවෙනියට පහයි තුනෙන් දෙපන්ගුවයි (5 2/3) බාලමයට එකයි නමෙන් අටයි (1 8/9). ඒ වුනාට බෙදන්න තිබෙන්නේ එළුවොනේ. කෑලි වලට කපන්නත් බැහැ. කිරට ඇතිකරන එළුවොනෙ. පියාගේ අවසන් කැමැත්ත වෙනස් කරන්නත් බැහැ.
පුතුන් තුන්දෙනා විශාල ජන්ජාලයක තමයි පැටලුනේ. අන්තිමට පුතාල තුන්දෙනා රණ්ඩු වෙන්න පටන් ගත්ත. රණ්ඩුවට ඒගොල්ලන්ගේ බිරින්දැල දරුවෝ එහෙමත් එකතුවෙලා ඒගොල්ල ළඟ තිබුන වෙන වෙන ප්‍රශ්නත් මේකටම ඇදගෙන විශාල කල කෝලාහලයක් ඇතිකරන්න පටන් ගත්ත සහෝදර නෑදෑයෝ අතර.
මේ රණ්ඩුව ඇහුන ගමේ යමක් කමක් හිතන්න පුළුවන් මනුස්සයෙක් ඇවිල්ල රණ්ඩුවට හේතුව ඇහුවම පුතාල අර මැරුණු ගොවියාගේ අවසන් කැමති පත්‍රය ගැන කිව්වා. ඉතින් මේ මනුස්සය ටිකක් කල්පනා කරලා කිව්වා
"ඕකට ඔය ළමයි සහෝදරයෝ අතර රණ්ඩු වෙන්න එපා. මගේ ළඟ එළුවෙක් ඉන්නවා. ඒ එළුවාත් අරගෙන එළුවෝ ගාන දහ අටක් කරගෙන තාත්තගේ වට්ටෝරුවට අනුව බෙදා ගන්න " කියල.
මුලදී අයියල මල්ලිලා මේ යෝජනාවට කැමති වුනේ නැහැ.
"තාත්ත දීපු වට්ටෝරුව වෙනස් කරන්න බැහැ. අනික මේ අහක ඉන්න මනුස්සයෙක් අපේ ප්‍රශ්නයක් නිසා නිස්කාරණයේ පාඩු කරගන්න හදනවා". එහෙමයි එයාල හිතුවේ.
මේ අය හිතන විධිය තේරුම් ගත් අර වැඩිහිටි මනුස්සය කිව්වා
 "මට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. නිකමට මගේ එළුවාත් අරගෙන බලන්න" කියල අන්තිමට කට්ටිය ඒ යෝජනාවට එකඟ වෙලා ඒ එළුවාත් අරගෙන 18 බෙදුව.
ලොකු පුතාට 18 න් 1/2 යි කියන්නේ 9 යි. දෙවනි පුතාට 18න් 1/3 කියන්නේ 6 යි. බාලමයට 18න් 1/9 කියන්නේ 2 යි.
9+6+ 2 = 17 යි . හැබැයි බෙදුවේ 18.

දැන් අර වැඩිහිටි මනුස්සය කිව්වා "දැන් බලන්න තාත්තගේ කැමැත්තෙ හැටියට එක එක්කෙනාට හම්බවෙන්න නියමිත ගානටත් වඩා වැඩියෙන් ලැබිල තියෙනවා, ( 8 1/2 ලැබිය යුතු කෙනාට 9ක්. 5 2/3 ලැබිය යුතු කෙනාට 6ක් . 1 8/9 ලැබිය යුතු කෙනාට 2 ක් . ) එළුවෝ 17 බෙදිලත් තිබෙනවා. ඉතින් මට මගේ එළුවා නැවත දෙන්න" කියල.

කතාවෙන් අපිට- සිංහල දෙමල මුස්ලිම් කල්‍යාන මිතුරන්ට, නෑදෑයන්ට.....

මේ කතාව දැනට රන්ඩුවෙන අපේ රටේ සින්හල- දෙමළ - මුස්ලිම් සහෝදරයෝ තුන්දෙනාටත් අදාලයි. අපි ප්‍රශ්න බේරගන්න ගන්න හදන්නේ අපේ පියා අපට උරම කරල දීපු ( ඒ කියන්නේ ඉතිහාසය හෝ මතවාදය හෝ වෙනත් දේශපාලන වට්ටෝරුවක් ) ඒ විධියටම අනුගමනය කරන්න යන නිසා. එහෙම කරන්න ගියොත් අපි මූල ධර්ම වාදීන් වෙනවා. මහාවංශ ක්‍රමයටම අපේ වර්තමානය හදාගන්න බැරි බව සිංහල ලොකු සහෝදරයා හිතන්න ඕනි. තමන්ගේ ජාතික ආගමික සංස්කෘතික උරුමය හොයාගන්න කුරානය මූලධාර්මවාදීව අනුගමනය කරලා හරියන්නේ නැති බව ලන්කාවේ මුලිම් සහෝදරයෝ හිතන්න ඕනි . බොදු බල සේනාව නෙමෙයි ලංකාවේ මුස්ලිම් මිනිස්සුන්ගේ ගැටලුව. ලංකාවේ දෙමල ජාතික වාදයේ පියා වෙන්නේ මැලේසියාවෙන් ලංකාවට ඉගෙන ගන්න ආපු එස් ජේ වී චෙල්වනායගම්. එයා තමයි දෙමල නිජබිමට ස්වයන්පාලනය ( ෆෙඩරල්, ඊලාම් ) මතවාදය හදල දුන්නේ. දෙමළ සහෝදරය තාම ඉන්නේ මේ මතවාදයේම මූල ධාර්මිකව එල්ලිලා. මේ විදියට ඉන්න ඉන්න රණ්ඩුව විතරයි ඉතිරි වෙන්නේ. කාටත් කියන්න වෙන්නේ එතකොට එළුවා කපා මගේ ගෙටයි - බොකු බඩවැල් තොපේ ගෙටයි කියලයි. ඒ ආකල්පයෙන් හොඳ ජාතික රාජ්‍යක් හැදෙන්න නැහැ. ජාතික රාජ්‍ය ගැන ඊ ලඟට කතා කරමු.
 
  

11 comments:

  1. මේ කතාව නම් සෑහෙන ඇත්ත. නමුත් මෙතැන තියන ප්‍රශ්නෙ ලොකු අයියා අයියගේ නෑයෝ එක්ක ඇතිකරගෙන තිබෙන ප්‍රශ්න නිසා මේ බෙදීම එහෙමත් නැත්නම් එකඟතාවයෙන් සුහදව විසීම එයාල එයාලටත් අමාරු එකේ, පොඩි මල්ලිල සහ සහෝදරයෝ ගැන කොහොම ද කියලා හිතාගන්නකො. අනික අනික් මල්ලිලත් අයියගේ පවුලේ ප්‍රශ්න දන්න නිසා ඒවායෙන් ප්‍රයෝජන ගන්නමනේ බලන්නෙ. දැන් මේ හැමෝම එකට එකතු වෙලා, පන්ඩුකාභය වගේ තීරණේකට යන්න ඕනෙ. එහෙම නේද?

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ලස්සනට ලියල තියෙනවා.කරකවල අත්හැරිය වගේ දැනුනා අන්තිමට.

      Delete
  3. තමන්ගේම මුලධර්මවාදීන්ට ඕනම ජාතියක,ආගමක පිරිස් ඉඩ දෙනවනම් ඉතින් අනිත් අයට කරදර වෙනවා වගේම තමන්ටත් කරදර වෙන එක නවත්තන්න බැහැ.

    මට අධ්‍යාපන ආයතනයකදී මුණ ගැසුණු මුස්ලිම් ජාතික මැලේසියානු තරුණියක් (පියා ශ්‍රී ලාංකික, මව බංගලි, නිත්‍ය පදිංචිය මැලේසියාව) ලංකාවේ ඥාතීන් ළඟට ඇවිත් හිටියේ ඉගෙනුමට, ඇ පදිංචි තායිලන්ත දේශ සීමා ආශ්‍රිත ප්‍රදේශයේ පවතින අන්තවාදය කාන්තාවන්ට අධ්‍යාපනයට ඉඩ නොදෙන නිසා. පාසැල් අධ්‍යාපනයට පවා ඉඩ නැතිලු.

    මේ ළඟදී මැලේසියාවට ගිය විටෙක මට මුණ ගැහුනා මුස්ලිම් ජාතික කුලී රථ රියදුරුවරියක්.ඒ අග නගරයේදී. ඒ නිදහස ලංකාවේ මුස්ලිම් කාන්තාවන්ට තිබේ ද ? ජාති භේදයකින් තොරව කාන්තාවන්ට ලංකාවේදී වැඩි අවදානමක් තිබෙන බවත් ඇත්ත.

    ඒ වගේ රටවල් අතර වගේම එකම රටේ ප්‍රදේශ වලත් අන්තවාදය වෙනස් වන්නේ පුද්ගලික මත හා අන්ධ අනුගාමිකයින් නිසා.අමතරව කුලී අන්තවාදීන්. ඔබ කියන ආකාරයටම අන්තවාදය පොදු සතුරෙක්. ඊට ඉහලින් ලාංකිකයින්ට තවත් සතුරෝ ඉන්නවා. ප්‍රධානම හතුරා තමන්මයි.

    ReplyDelete
  4. මේ ගැටළුවට මුල සාමාන්‍ය ඩනතාව නෙමෙයි. ඒ අය ජාති බේදයකින් තොරව ලංකාවේ හැම තැනම සහොදරත්වයෙන් ජීවත් වෙනවා. නැත්නම් සහෝදරත්‍වයෙන් ජීවත්වෙන්න උත්සහා කරනවා. මේ අතර ගිණි මොලවන්න දරන්නේ රස්සාවට දේශපාලනය කරන ඇත්තෝ. මාළුවට වතුර වගේ මේ අයටත් ප්‍රශ්න නැත්නම් බඩ ගෝස්තරේ හොයා ගන්න බැහැ.

    ReplyDelete
  5. ඔබ මේ බ්ලොග් වලට පැමිණීම සතුටකි.

    ReplyDelete
  6. හැමෝම පොදු සංස්කෘතියක් තුළ තමන්ගේ උප සංස්කෘතික අනන්‍යතාවයන් තබාගෙන,අනෙකාගේ සාමාන්‍ය ජීවිතය අවුල් නොකරන ලෙස ජීවත් වීමට වගබලා ගන්නවානම් කිසිම ගැටළුවක් නෑ.

    ජාති-ආගම්-ලිංග වලට බෙදන්නෙ නැතුව සියලුම පාසල් මිශ්‍ර පාසල් කරනවා නම්, පොදු සංස්කෘතියකට හැමෝම හුරු කරන්න පුළුවන්.

    මිනිසුන් බෙදන්න පුළුවන් උපරි‍මයෙන් බෙදලා පසු කාලයේ දී "සහෝදරයො වගේ" එකට එක්ව ජීවත් වෙන්න යැයි කීම තරම් විහිළුවක් තවත් නෑ.

    ReplyDelete
  7. ලංකාවේ ජාතික ප්‍රශ්නය මේ එළුවන්ගේ කතාවේ ගණිත ගැටලුවට වඩා ගොඩක් සංකීර්ණයි. හැබැයි, දී තිබෙන රාමුවෙන් පිටට ගොස් හිතන්න ඕනෑය කියන එක මේ කතාවෙන් ගන්න පුළුවන් හොඳම පාඩමයි. ඒත්, ජාතික ප්‍රශ්නය ගැන අදට අවශ්‍ය වඩා සංයුක්ත අදහස්.

    ReplyDelete
  8. ලංකාවේ ඉන්න මිනිසුන්ට ශ්‍රී ලාංකික කියන එක වැටහෙන තුරු මේක ගොඩ දාන්න බැහැ. එක එක අන්තවාද නිසා වෙනත් අන්තවාද යැපෙනවා.

    මම ඔය ශ්‍රී ලාංකික කියන වචනේ කිව්වා ගමන් බොහෝ දෙනෙක් හෙන විරෝධයක් දාගෙන එනවා. මේක මහා අසමසම මනක්කල්පිත එකක් නොවේ. අතිශයින් සාමාන්‍ය, කැනේඩියානු, ඕස්ට්‍රේලියානු, ඇමරිකානු, බ්‍රිතාන්‍ය වගේ සංකල්පයක්.

    එතනින් පහල ඒවා සංස්කෘතික මට්ටමෙන් එහාට අනන්‍ය වෙන්න ඕනේ නැහැ. කිසිවක් වෙනකකට වඩා සුවිශේශි වෙන්නත් ඕනේ නැහැ.

    ප්‍රශ්නය උදාහරණයට වඩා සංකීර්ණයි කියන මතයට එකඟයි.

    ReplyDelete
  9. කරු,
    තුති මේ කාරිය පටන්ගත් එකට. හිතුන දේවල්...
    (1) ලංකාවෙ ගණිත මහාචාර්ය වරුන්ටත් ගණිතය ගැන විශ්වාසයක් නෑ. ඒ අතින් අපි අ නාථ යි.
    (2) තවත් ගණන් කාරයො කට්ටියක් අතින් පයින් දැලි පිහියෙන් ගණන් හදන ආචාර්ය වරු. ඒ‍ ගොල්ලට මේ කතාව එළුවො දාල කිව්වට නම් තේරෙන එකක් නෑ. ඒ.‍කේ 47 හරි ටී 56 හරි ලැම්බෝගිනි කාර් හරි අරගෙන කතාව නවීකරණය කළොත් චූට්ටක් විතර වදීවි මොළේ ඇති තැනකට.
    (3) ඉස්සර වෙච්චි දේවල් හැටියට අපි තාම බයයි අර පිට මනුස්සයගෙ එළුව හාමුකරගෙන ප්‍රශ්නෙ විසඳන්න. මොකද එහෙම කරන්න ගිය හැම වෙලාවෙම අපට ඉතුරු උනේ එළුබෙටි විතරයි. ඊට වඩා අපි කැමතියි අර මහදැනමුත්ත කළා වගේ එළුවත් මරල මුට්ටියත් බිඳගන්න. මොකද ඒක මොනා නැතත් දේශීය විසඳුමක්. දැන් ජිනීවා වල පෙන්නනවනෙ නාට්‍යයක්...!
    (4) සංකීර්ණ ප්‍රශ්නවලට සරල පිළිතුරක් තියෙන්න පුළුවන් කියන එක තේරුම් ගන්න බැරි තරමට අපේ සාමාන්‍ය ජනතාව අති සංකීර්ණයි. මේක මට වඩා ‍ඉතා හොඳින් කරු දන්නවායි මගෙ‍් අදහස. ඒක නිසා මේ විසඳුම මෙහෙම නැතුව බොහෝම සංකීර්ණ විදිහට, අඩුම ගණනේ බරපතල වචන වලින් හරි පරණ රජකාලෙ නං ටිකක් අවුණල හරි 'අර යටගිය දවස බරණැස් නුවර බඹදත් නම්' කියල හරි පටන් අරගෙන ලිව්වොත්.... ?

    හිතුණ දේ හිතුණ විදිහෙන් ම ලියපු එක ගැන අමනාපයක් නැතිය හිතනවා.

    ජය.

    ReplyDelete
  10. ගැටලුව සරලද සංකීර්ණද දෙන්න ඕනේ උත්තරේ සරලද සංකීර්ණද කියන එක නොවෙයි මෙතන ප්‍රශ්නේ. විසඳගන්න ඕනෙද නැද්ද කියන එක. කොහොම වුනත් කෝඳුරු තෙල් හත්පට්ටෙයි ටිකකුයි ඕනේ වෙන විසඳුමකට වඩා සරල විසඳුමක් වැදගත් වෙයි ගැටලුවට ඇත්තටම මුහුණ දෙන මිනිස්සුන්ට.

    ReplyDelete