Thursday, 28 February 2013

ලියා එවන්න නම් එපා! එපා!! එපා!!!

 
'ජාතික රාජ්‍යය' ගැන ලියනවයි කියපු ලිපිය තවම ඉවර නැහැ. දේශපාලනයට අමතරව සංස්කෘතිය ගැනත් ලියන නිසා අද වෙන කෙටි පොස්ටුවක් දමන්නම්.
බ්ලොග් ලෝකයට මම ආධුනිකයෙක් නිසා මේකේ මන් හසර දැනගන්න පහු ගිය දවසක නිදි වරාගෙන සිංහල බ්ලොග් 60ක් 70ක් විතර කියෙව්වා.ඇත්තටම මෙය ඉතා අරුමැසි මාධය අවකාශයක්. ප්‍රශ්නත් නැත්තේම නැහැ. කොතනද ප්‍රශ්න නැත්තේ.? අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පාවිච්චි කරද්දී එන පොදු ප්‍රශ්න බ්ලොග් අවකාශයටත් තිබෙනවා. ප්‍රශ්න නිරාකරනය කර ගත හැක්කේ වගකීම් ගැනත් හිතුවොත් විතරයි.බ්ලොග් ලිවීම කලාවක් විධියට ගත්තොත් මම දැකපු එක දුර්වලතාවක් තමයි අනුකරණය ඉතා බහුල වීම. කෙනෙක් ලියන දේම තව කෙනෙක් පොඩ්ඩක් එහෙන් මෙහෙන් වෙනස් කරලා ලියනවා. අද ලියන්න යන්නේ මේ අනුකරණය ගැනයි.
 
හෙළ හවුලේ රැයිපියෙල් තෙන්නකෝන් කවියා 'සක් පුබුදුව " කියලා විශාල කාව්‍ය සංග්‍රහයක් කළා. එකේ තේමාව ශක්‍ර දෙවියෝ පිස්සු කෙලින හැටි. ශක්‍රයා උපහාසයට ලක් කරලයි එය ලියවිලා තිබුනේ. මේක ඒ කාලේ හැටියට ලොකු කලාත්මක අපූරු රැඩිකල් වැඩක්. සිංහල සමාජය ශක්‍ර දෙවියන් දිහා එහෙමඋපහාසයෙන් බලල තිබුනේ නැහැ ඊට ඉස්සර.නමුත් කවි පොත ඉහල  ප්‍රතිභාවක් පෙන්නු කරපු කෘතියක්. හෙළ හවුලේ නායක කුමාරතුංග මුනිදාස මේ පොත ඉතා ඉහලින් අගය කළා.
 
වැඩි කාලයක් ගියේ නැහැ මෙන්න හෙළ හවුලට සම්බන්ධ අනික් කවියොත් මේ තේමාවෙන්ම ඒ කියන්නේ ශක්‍ර දිවියෝ උපහාසයට ලක් කරලා කාව්‍ය සංග්‍රහ කරන්න පටන් ගත්ත. ශක්‍ර දෙවියෝ මනුස්ස ලෝකෙට ඇවිල්ල බූරු ගහන හැටි, ගෑනු පස්සේ යන හැටි, බේබද්දෙක් වගේ බොන හැටි. නොයෙක් සට කපටකම්, සෙප්පඩ විජ්ජා කරන හැටි වගේ දේවල් . අන්තිමට වැඩි කල් නොගොස් ශක්‍රයාගේ තේමාව පිළුණු වෙන්න පටන් ගත්ත. මේක බලාගෙන ඉන්න බැරිම තැන කුමාරතුංග මුනිදාස පඬිවරයා 'සුබස' සඟරාවට මෙහෙම කවියක් ලිව්වා.

සකා විකාරයෙන් - කුමක් කළත් තවත්
ලියා එවන්න නම් එපා එපා එපා!!
 
ප. ලි. මේ සිදුවීම වෙන්නේ 1940 දශකයේ පමණ. අපි වැඩි දෙනෙක් ඉපදිලාවත් නැහැ. කේ ජයතිලක මහතාත් මේ ගැන ලියල තිබුන. පුදුමේ කියන්නේ මේ කියන 'සුබස' සඟරා තොගයක්ම මට කැනඩාවේදී දකින්න ලැබුන. අපේ හිත මිත්‍ර ඇලෝයි පෙරේරා මහතා ටොරොන්ටෝ වේ අපි සංවිධානය කළ 'බසක වරුණ' සිංහල භාෂා දින පොත් ප්‍රදර්ශනයට ඒවා ගෙනත් තිබුන. ඇලෝයි පෙරේරා මහතා ඒ පොත් ඉතා භක්තියෙන් ආරක්ෂා කරනවා.

3 comments:

  1. මමත් ඒ වගේම එකක් ලියන්නම්කෝ. ඔන්න දිනක් මේ හෙළ හවුලේ රැස්වීමක් තිබ්බලු. මාතෘකාව එකම පදයේ කවි. කුමරුතුඟුවන් එහෙම කවි හදන්න හැකියි කියා කියද්දී එක් කාන්තාවක් අභියෝගයක් කළාලු. උදාහරණයක් කියන්න කියා.

    එතුමා මේ කත දිහා බලා එක් විටම මෙහෙම කිව්වලු,

    අ නේ
    ප නේ
    ත නේ
    පෙ නේ
    කියලා. මොකද ඇය හැද සිටියේ කර පළල් හැට්ටයක්ලු.

    ReplyDelete
  2. වරක් කුමරතුඟුවන් පැමිණි රැස්වීමකදී ඇකාරය ගැන උපහාසයෙන් කතාකරමින් "මට නම් ඔය දෙකේ වෙනස් තේරුමක් පෙනෙන්නේ නැහැ"යි කී අයෙකුට ඔහු පිළිතුරු දුන්නේ එක අතක් මේසය මත වූ පොත මත තබා "මේ අත තිබු පොත" අනෙක් අත්ල මතට පොතක් ගෙන "මේ අතැ තිබු පොත" කියා බව අසා තිබේ.

    ReplyDelete

Google+ Followers