Thursday 31 December 2015

නව වසරේ අදහස් නිදහස් වේවා!

තාවකාලිකව නතර කර දමා තිබූ සතර දිගන්තය අද දින පටන් යළි ක්‍රියාත්මක වන බව හුදී ජන පහන් සංවේගය උදෙසා දැනුම් දීමට කැමැත්තෙමි. හුදී ජන කෙසේ වෙතත් මගේ පහන් සංවේගය උදෙසාවත් පසුගිය කාලයේ ලිවීමට නොහැකි විය. අන්තිමට ලියන විට මා සිටියේ ආණ්ඩුවේ නිලධාරියකු වශයෙනි. බ්ලොග් සටහන් වලට ලැබෙන විවිධ විෂම පාඨක ප්‍රතිචාර නිසා මා දරමින් සිටි විදේශ තානාපති සේවා තනතුරේ ගරුත්වය කෙලෙසෙන්නේ යැයිද ඒ නිසා ඔය රස්තියාදුකාරයන්ගේ මාධ්‍ය ක්‍රමය නවතා දමන්නැයිද එදවස මගෙන් ඉල්ලීමක්ද කෙරිණි. මේ බව ''නෙළුම් යාය'' බ්ලොග් සම්මාන උළෙලේදී ද ප්‍රකාශ කළෙමි.
 මා දැන් නිලධාරියකු නොවේ. ඒ නිසා නිලධාරී සිමාවන්ගෙන් ගැලවී දැන් ලිවිය හැකිය. මා දැන් දරණ මහජන මන්ත්‍රී තනතුර යනු නිරන්තරවම විවේචන නමැති ගල් මුල් එල්ලවන තනතුරකි. බ්ලොග් ලියන මන්ත්‍රී නොලියන මන්ත්‍රී යනුවෙන් එයට භේදයක් නැත. කොයි දේශපාලකයාටත් විවේචනයේ ගල් මුල් එල්ලවේ.
ගල් මුල් ගැන සදහන් කළ විට මගේ මතකයට එන්නේ හරියටම අදට වසරකට (2015 ජනවාරි 02) පෙර අපගේ ගම් ප්‍රදේශය වන පැල්මඩුල්ලේ ජනාධිපතිවරණ රැස්වීමට එල්ලවූ ගල් පහරය. එය එක ගල් පහරක් නොව ගල් වරුසාවකි. විපක්ෂයේ පොදු අපේක්ෂකයා  වූ වත්මන් ජනාධිපති තුමන් සමග මම ඒ රැස්වීමට සහභාගී වී ඔහුගේ කතාවට පෙර  රැස්වීම ඇමතුවෙමි. ගල් ගැසුවේ එතුමා සභාව අමතන විටය. ඒ ප්‍රචණ්ඩ මැතිවරණ සංස්කෘතිය එම ජනාධිපතිවරණයෙන්ම කෙළවර විය, ඊට පසු පැවති පාර්ලිමේන්තු මැතිවරණය අතිශය සාමකාමී දේශපාලන සංස්කෘතියක පසුබිමෙහි පැවැත්විණි. එම මැතිවරණයට රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරග කළ මට වැඩිම මනාප ලැබුනේද පැල්මඩුල්ලෙනි.

බොහෝ දෙනා කල්පනා කර‍න තරම් දේශපාලකයකුගේ ජීවිතය සුව පහසු සුන්දර වූවක් නො වේ. ඒ ගැන පසුව කතා කරමු. දේශපාලනයේ වගකීමක් ලෙසට තවත් දිනපතා ගල් මුල් එල්ලවන කලාපයක් වන ජනමාධ්‍ය අංශය අපට ලැබී තිබේ. නුතනවාදී ජන සන්නිවේදන මාධ්‍ය සහ පශ්චාත් නුතනවාදී සමාජ මාධ්‍ය යන අංශ දෙකම පොදු ජන යහපත උදෙසා කළමනාකරණය කරමින් මෙහෙය වීමේ බැණුම් අසන චෝදනා ලැබෙන වගකීම අප වෙත පැවරී ඇත.

 "දැන් ලංකාවෙන් තොරතුරු එන් නේ නැහැ. ලංකාව පිළිබද දැන් කිසිම විදේශ මාධ්‍යයක් වාර්තා කරන්නේ නැහැ  ඒ ඇයි?"යනුවෙන් පසුගිය සතියේදී නව දිල්ලි නුවර දී අපට මුණ ගැසුණ දකුණු ආසියානු විදේශවාර්තාකරුවන්ගේ සංගමයේ සමාජිකාවක් චෝදනා මුඛයෙන් අපගෙන් ඇසුවාය.
 "ලංකාවේ දැන් ගැටුම් නැහැ. යුද්දෙ ඉවරයි. මාධ්‍ය වලට ගැටුම් අවශ්‍යයි. ඒවා ඇරෙන්න අවශේෂ තොරතුරු මාධ්‍ය වලට එතරම් වැදගත් නැතිව ඇති" මගේ පිළිතුර එසේ විය. එතැන් පටන් අප අතර සාකච්ඡාව ජන මාධ්‍ය සහ ගැටුම් යන සංකීර්ණ තේමාව පැත්තට යොමු විය.

වැඩිපුර දේශපාලනයේත් ජනමාධ්‍යයේත් සිටින නිසා මෙතැන් පටන් සතර දිගන්තයෙහි වැඩිපුර එම විෂයයන් ගැන ලියැව‍ීම වැළැක්විය නොහැකිය.

සතර දිගන්තයට බොහෝ පාඨක පිරිසක් සිටියහ. ඒ පා‍ඨකයන්ටත් නොපා‍ඨකයන්ටත් සුබ නව වසරක් පතමි. අවුරුදු සුබ පැතුම් පතක්ද යවමින් සිටිමි. එය පහත සදහන් පරිදීය.
නව වසරේ අදහස් නිදහස් වේවා!

8 comments:

  1. හොඳයි ඔබ ලියන එකට මම බොහොම කැමතියි. ඒ ඔබ දේශපාලකයෙක් නිසා නෙමේ. කොහොම හරි ලියන එක නම් ඉතාම වටිනවා. ලියමු මමත් මගේ බ්ලොග් එක නැවත පටන් ගත්තා. එහෙනම් ලියමු............

    ReplyDelete
  2. ඔබ ව ආපහු බ්ලොග් වල දකින්නට ලැබීම සතුටක්.

    ඔබට ජනමාධ්ය විෂය ලැබී ඇත්නම් මේ තමයි හොඳම වෙලාවට ඔබේ හැකියාවන් පෙන්වන්න. ලංකාවේ මීඩියා වල පල්හැලි වලින් එහාට යමක් ගේන්න ඔබට වගකීමක් හා යුතුකමක් තියෙනවා. කොටින්ම අන්තිම වසර වල මීඩියා වල පිරිහීම රටටම බලපැවා. ඒක වෙනස් කරන්න තරම් ඔබට ශක්තියත් ලැබේවා.

    ReplyDelete
  3. ඔබට සුබ නව වසරක්. නවතැහැ ලියන්නට පටන් ගැනීම ගැන සතුටුයි. මේ අවුරුද්දේ බ්ලොග් සම්මාන උළෙලේ දී හමු වෙමු නැවතත්.

    ReplyDelete
  4. නැවත පැමිණීම හොඳයි.අපත් බලාපොරොත්තු තබාගෙන ගෙනා "යහපාලන ආණ්ඩුවේ" කතා කරන්න,විවෙවනය කරන්න බොහෝ දේ තියේනවා.ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයකු ලෙස ඔබ නැවත මෙවැනි මාධ්‍යක් තුලින් ලිවිම අපේ අදහස්,උදහස් පවසන්න වේදිකාවක් වනු ඇති විශ්වාස කරනවා.

    ReplyDelete
  5. චාරයක් නැති උන් හා එකතුවීම අපට මහත් ආඩම්බරයකි.. රත්නපුරයට ඔබෙන් සිඳිවිය යුතු යුතුකම් රාශියකි.. සැබවින්ම ඔබ ගෙනගිය මහත්මා දේශපාලනය රත්නපුරයට වී ඉතා ආදරයෙන් බලා සිටියෙමි.. ඔබ වෙනස් නොවේවා.. අපේ එකම පැතුම එයයි...

    ජයවේවා... වරේවා...!!!

    ReplyDelete
  6. නැවතත් ලියන්නට ඉසිඹුවක් ලැබී තිබීම සතුටට කරුණකි. සුබ නව වසරක්! (දශක තුනකට පමණ පෙර මොනිටර් අභ්‍යාස පොතක ලියූ රෑ ගම අන්දරයේ සිට ඔබව කියවන, සතර දිගන්තය සමඟ දිගටම රැඳී සිටි පාඨකයෙක්.)

    ReplyDelete
  7. නැවතත් ලියන්නට අාපු ඒක ගැන හරිම සතුටුයි..... වෙලාව නැති වේවි.. ඒත් හිතුවොත් වෙලාව හොයාගත්තහැකියි.... මොනවා වුණත් ඔබ අපි සමග සිටීම ඉතා වැදගත්..... ඔබේ ජයග්‍රහණය රත්නපුරයට වෙලා අපිත් බලාගෙන හිටියා..... අපේ කෙනෙක් දිනුවා කියලා දැනුණා ඒදා...... (බ්ලොග් ලියන්නෙක් නිසා) ලැබුණු අැමතිධූරයත් ඉතා වැදගත්..... හැකි දෙයක් හැකි තරමින් කරමු....

    සුභ නව වසරක් වේවා.... නෙලුම් යායේ වැඩේදී හමුවෙමු.......

    ජයවේවා

    ReplyDelete
  8. චාරයක් ඇතිවත් බ්ලොග් ලියන්න පුළුවන්.. හැබැයි සැහෙන්න ඉවසීම ප්‍රගුණ කරන්න වෙනවා ...

    ReplyDelete