හැමෝටම වෛද්‍යවරුන් වීමට අවශ්‍ය වී ඇත්තේ වෛද්‍යවරයාට තිබෙන සමාජ බලය නිසාය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ සමාජ බලය අපයෝජනය කරන බව ප්‍රසිද්ධ කරුණකි. තමන්ගේ දරුවන්ට ජනප්‍රිය පසැල් නොදෙන්නේ නම් වැඩවර්ජනය කරනවා යයි රජයට තර්ජනය කිරීමට තරම් එම සමාජ බලයෙන් මෑතකදී ඔවුහු උද්දාම වූහ. අකිල කාරියවසම් නම් එයට යට වූයේ නැත.
මේ GMOA වෛද්‍ය ත්‍රස්තවාදයට විරුද්ධ වීමට බොහෝ දෙනාට අවශ්‍යය. සයිටමය ඒ සඳහා හොඳ විකල්පයක් ලෙස ඔවුහු දකිති. ඔවුන් ඒ සඳහා හොඳ විකල්පයක් ලෙස සයිටමයට පක්ෂ වීම තෝරා ගෙන ඇත. දොස්තරලාට හොඳ පාඩමක් ඉගැන්වීමට සයිටමයෙන් හැකි බව ඔවුන්ගේ කල්පනාවයි.
අපේ අදහස නම් එයින් දොස්තරලාට කිසිම පාඩමක් ඉගැන්විය නොහැකි බවය. රජයේ වෛද්‍ය පීඨ වලට යා ගත නොහැකි තම දරුවන් සයිටමයට යැවීමට දෙමව්පියන් තීරණය කරන්නේ වෛද්‍යවරයාට ලැබෙන සමාජ බලය නිසාය. සයිටම් සිසුන්ටද වෛද්‍ය උපාධිය ලබාදී ඔවුන් රජයේ වෛද්‍ය වරුන් බවට පත්කර ගැනීම මේ දෙමව්පියන්ගේ බලාපොරොත්තුවය. සමාජ බලය ලැබෙන්නේ එවිටය. ලංකාවේ රජයේ වෛද්‍ය වරයකු යනු පෞද්ගලික අංශයේද වෛද්‍ය වරයෙකි. මෙවැනි වරප්‍රසාදයක් වෙන කිසිම රැකියාවකට නිල වශයෙන් ලැබී නැත. සයිටම් වෛද්‍යවරුන්ද රජයේ වෛද්‍යවරුන් වී හැසිරෙනු ඇත්තේ දැන් සිටින වෛද්‍යවරුන් හැසිරෙන ආකාරයටමය.
එසේම සයිටමයේ දැනට ඉගෙන ගන්න සිසුන් බහුතරයක් රජයේ වෛද්‍ය වරුන්ගේ දරුවන්ය. ඔවුන්ගේ වෘත්තීය සමිතිය මොනවා කිව්වත් දරුවා ගැන සිතීමේදී මේ වෛද්‍යවරුන් හැසිරී තිබෙන්නේ සාමාන්‍ය දෙමව්පියන් පරිදිය. මේ අනුව වෛද්‍ය වරුන්ට විරුද්ධ වීමට සයිටමයට පක්ෂවීමෙන් අපේක්ෂිත ප්‍රතිපලය ලැබෙන්නේ නැති බව පැහැදිලිය. සයිටම් ප්‍රශ්නයට විකල්ප විසඳුමක් අවශ්‍ය වන්නේ යැයි අප කියන්නේ එබැවිනි .