Friday, 1 March 2013

රාජ්‍යයට මං ආසයි -01

දේශපාලනයේදී රාජ්‍යවාදීන් සහ අරාජිකවාදීන් යනුවෙන් දෙපිරිසක් හමුවෙනවා.
 
රාජ්‍යවාදීන් යනුවෙන් හඳුන්වන්නේ රාජ්‍යයේ පැවැත්ම පිළිගනිමින් දේශපාලනය කරන අයයි. අරාජිකවාදීන් රාජ්‍යය ප්‍රතික්ෂේප කරනවා. බලයේ අනෙක් සියලුම ස්වරූපයන්ට වගේම රාජ්‍යයේ බලයටත් අරාජික වාදීන් විරුද්ධයි.අරාජික වාදීන් ඉතිහාසයේ විවිධ අවස්ථාවල මුණ ගැසෙනවා.මනුෂ්‍යයාගේ නිදහස වෙනුවෙන් සහ බලයේ බලපෑමට එරෙහිව ඔවුන් පෙනී සිටිනවා. ඒ වගේම සමහර දේශපාලන මතවාද වලත් අරාජක වාදයේ බීජ අන්තර්ගතයි.රාජ්‍යය සහ එහි අධිකාරී බලය ප්‍රතික්ෂේප කරන ලිබරල් වාදීන් අපට හමුවෙනවා. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇති වුනු සමාජ ආතතියෙන් පසු 'හිපි' කණඩායම් වගේ අරාජික වාදීන් මතු වුනා. අරාජික වාදීන් අතර ඉතා සුන්දර කලා කරුවන් , කවියන් සිත්තරුන් ආදීන් දකින්නට පුළුවන්. ඔවුන් ඉතා විශාල මනුෂ්‍යත්වයක් ගැන කතා කරනවා.
 
මාක්ස්වාදයත් අවසාන අර්ථයෙන් ගත්තහම අරාජිකවාදයක්. කොමියුනිස්ට් සමාජයක් බිහි වීමෙන් පසු පන්ති පීඩක උපකරණයක් වන රාජ්‍යය හැකිලී අහෝසි වී යනු ඇත යන්න සම්භවය මාක්ස්වාදයේ එක පිළිගැනීමක්. ඒ අනුව මාක්ස්වාදීන්ගේ අරමුණ අරාජික සමාජයක් ඇති කිරීමයි. එහෙත් ප්‍රායෝගික භාවිතාවේදී වැඩියෙන්ම රාජ්‍ය වාදීන් වෙන්නේ ( ඇතැම් විට ලිබරල් වාදීන්ට සහ ජාතික වදීන්ටත් වඩා ) මාක්ස්වාදීන්මයි. ජෝසප් සටලින්, මාවෝ සේතුන් ගේ පටන් බොහෝ මාක්ස්වාදීන් දැඩි රාජ්‍ය වාදීන්.
 
සාමාන්‍ය ජීවිතයේදී අරාජිකවාදී අදහස් අපට ආවත් ප්‍රායෝගික දේශපාලනයේදී අපි හැමෝටම කටයුතු කරන්න වෙන්නේ රජ්‍යවාදීන් ලෙසයි. දේශපාලනයේ මූලිකම අංගය වන්නේ රාජ්‍යය සකසා ගැනීමයි. අපි චන්දය දීල විටින් විට පත්කරගන්න ආණ්ඩු වලට සහ පාලකයන්ට අපි බනින්නේ රට හරියට හදන්නේ නැහැ කියලයි. ඒ කියන්නේ රාජ්‍යය හරියට හදාගනීමක් ගැනයි. රාජ්‍යය කෙතරම් කරදරයක් වුනත් අරාජික සමාජයකට වඩා  රාජ්‍ය හොඳ බව අපට ඉවෙන් වගේ දැනෙනවා.ඇත්තෙන්ම රාජ්‍යය විරහිත සමාජයක් කියන්නේ එක්තරා ආකරයක ෆැන්ටසියක්! ඒක ෆැන්ටසියක් හැටියට හොඳ වුනත් අත්හදා බලන්න සුසුසු අදහසක් නොවෙයි.
 
රාජ්‍ය විරහිත සමාජයක් ගැන හිතන්න.උදාහරණයක් හැටියට සෝමාලියාව නම් භූමි ප්‍රදේශයේ දැන් හරි හමන් රාජ්‍යයක් නැහැ. එය අරාජිකවාදීන්ගේ පාරාදීසයක්.එත් කොයි ලිබරල් වාදියද කොයි කොමියුනිස්ට්වාදියද මේ රාජයය විරහිත සෝමාලියානු සමාජයට කැමති වෙන්නේ.මුළු ලෝකයම සෝමාලියානු සමාජයට කියන්නේ ශක්තිමත් රාජ්‍යයක් හදාගන්න කියලයි. මේ ලඟදි ලංකාවේ අපටත් සෝමාලියාවට ඒක කියන්න සිද්ධ වුනා. සෝමාලියානු මුහුදු කොල්ල කරුවන් අපේ ධීවර පිරිසක් පැහැර ගත්තට පස්සේ ඔවුන් නිදහස්‌ කර ගැනීමට තිබුන ප්‍රධාන බාධාව තමයි සෝමාලියාවේ ශක්තිමත් රාජ්‍යයක් නොතිබීම.
 
රාජ්‍ය නැතිව සාමාජික මිනිසාට පවතින්න බැහැ. රාජ්‍යය මිනිසා හදාගත්තේ ඒ නිසයි. රාජ්‍යය සමාජ සම්මුතියක් ය කියන හොබ්ස්, ලොක්‌ , රූසෝ වැනි චින්තකයන් ඉදිරිපත් කළ 'සමාජ සම්මුති වාදය' රාජ්‍ය පන්ති පීඩක උපකරණයක් කියන මාක්ස්වාදී අදහසට වඩා ප්‍රබලයි තාර්කිකයි. ප්‍රායෝගිකයි.
රාජ්‍යය මනුෂ්‍ය සමාජයේ කොහොමද ඇතිවුනේ? 1990 දශකයේදී 'ඉතිහාසයේ අවසානය' නම් සුප්‍රකට ප්‍රවාදය ඉදිරිපත් කළ ෆ්‍රැන්සිස් ෆුකුයාමා මේ දිනවල මේ ප්‍රශ්නයට උත්තරයක් ලියමින් ඉන්නවා. සමාජයේ දේශපාලන ආයතන ඇතිවුනේ කොහොමද කියන එකයි ඔහු විස්තර කරන්නේ. The Origin of Political Order යන ඔහුගේ එම විශාල කෘතියේ පළමු වන වෙළුම දැන් ප්‍රකාශයට පත් වෙලා තිබෙනවා. ෆුකුයාමා තර්ක කරන්නේ ආර්ථික ආයතන සමාජයේ ඇතිවෙන්නටත් කලින් දේශපාලන ආයතන ඇති වූ බවයි. මෙය මාක්ස්වාදයේ එන උපරිව්‍යුහ- අධෝ ව්‍යුහ කතාවට සපුරා වෙනස් එකක්. ඒගැන පසුව සලකා බලමු.
මමත්රාජ්‍යවාදියෙක්.දැඩි රාජ්‍ය වාදියෙක්.
රාජ්‍යයට මං ආසයි !
මම ආස කරන රාජ්‍ය මොන වගේ එකක්ද?
ලිපිය දැනටමත් දිග වැඩි නිසා ඒ ගැන ඊළඟ කොටසින් කතාකරමු . (හරියට වැල් ටෙලි නාට්‍යයක් වගේ නේද ?)

2 comments:

  1. I like your entry into this question. Western political theorists, in order to justify the authority of the state over the individual created the abstract concept of a 'state of nature.'According to Hobbes, this state of nature was "short,brutish,solitary,poor,nasty" (Leviathan)while thinkers such as Locke had a different opinion on the state of nature. The challenge for us in Sri Lanka will be to create a state that adheres to our sense of history and justice and derives legitimacy from it. Will the large majority of Sri Lankans brought up in a culture that is alienated from abstract thinking be ready for a larger discourse/debate on the nature of our state?

    ReplyDelete
  2. සුගී....
    ඇත්තෙන්ම හොබ්ස් ලොක් සහ රූසෝ 'සමාජයේ ස්වභාවය' ගැන විවධ මත දරුවත් රාජ්‍යය පිලිබඳ ඔවුන්ගේ වියුක්ත සංකල්පයේ පොදු පදනම පදනම වූයේ 'පුද්ගලයාය'. සමාජය නොවේ. ඔවුන්ට අනුව රාජ්‍ය ගොඩනගා ගනු ලැබුවේ පුද්ගලයට ඇතිවන ප්‍රශ්නයක් නිරාකරණය කර ගැනීමටය. නැතිව සමාජයට ඇතිවන ප්‍රශ්නයක් නිසා නොවේ.සමාජ සම්මුතිවාදයේ සමස්ත පිවිසුමම පුද්ගලවාදීය. බටහිර දේශපාලන චින්තනයේ පුද්ගලවාදය වැඩියෙන් අවධාරණය වීමට බලපෑ එක හේතුවක් වන්නේ "සමාජයේ ස්වභාවය" පිලිබඳ මෙම පුද්ගලවාදී ප්‍රවේශයයි. සමාජය මූලික කරගෙන නිර්මාණය කළ රාජ්‍ය සිද්ධාන්තද වියුක්ත ඒවමයි. සමාජවාදී රාජ්‍ය න්‍යාය එවැන්නක්. භාවිතයෙදී වඩා ප්‍රායෝගික ලෙස පෙනුනේ සමාජ සම්මුති වාදයයි. පුගලයගෙන් සමාජයත් සමාජයෙන් පුද්ගලයත් වෙන් නොකර සමස්තය දෙස බලා නිර්මාණය කළ රාජ්‍යය න්‍යායක් තිබේ දැයි අප සොයා බැලිය යුතුයි. වියුක්ත චින්තනය නුහුරු සමාජයන්ට රාජ්‍යය පිලිබඳ ප්‍රායෝගික අදහසක් ගොඩ නගා ගැනීමට නොහැකිද යන්න ගැන මම ගැඹුරින් හිතමින් ඉන්නවා.

    ReplyDelete