Friday, 6 June 2014

වහින්නට හැකිනම් ගිගුම් දී...... සියවස් ගනනකට පෙර ගුජරාටයෙන් මතු වූ කවියක්

‍බෝධි චර්යාවතාරය! 
කෙතරම් දැවැන්ත සාහිත්‍ය කෘතියක්ද? 
එය ලියන ලද්දේ ක්‍රි.ව. 691-743 කාලයේ ඉන්දියාවේ ගුජරාටයේ විසු ආචාර්ය ශාන්තිදේව පාදයන් විසින්. 
සංස්කෘත කාව්‍ය ග්‍රන්ථයක්.
 මුලු මහත් බෞද්ධ දර්ශනයේ හරය බොදූ ජීවන මිහිර මෙතරම් ප්‍රබලව කැටි කර දැක් වූ තවත් සාහිත්‍ය කෘතියක් තිබේද?
අමාවතුර ලියපු ගුරැළුගෝමිට සුභාෂිතය ලියපු අලගියවන්න මුකවෙටිට ට පමණක් නොව නුතන සිංහල ගීත රචකයාටත් බෝධිවර්යාවතාරය මග හැර යන්නට හැකි වී නැත. 

මොරටුවෙි සාසනරතන හිමි මෙහි පද්‍ය පෙළ මීට අවුරුදු පනහකට පමණ පෙර ගද්‍ය පෙළක් ලෙස සිංහලට පරිවර්තනය කළහ.
එහි එක් ගීයක් හා එහි පරිවර්තනය මෙපරිදිය.

ක්ෂුත්පිපාසා ව්‍යථාං හන්‍යා - මන්නපාන ප්‍රවර්ෂණෛ
දුර්භික්ෂාන්තර කල්පෙෂූ- භවෙයං පාන භෝජනම්
  
 ආහාරපාන වර්ෂා කිරීමෙන් සා පිපාසා නසන්නෙමි
දුර්භික්ෂාන්තර කල්පයන්හි පැන් හා බොජුන් වන්නෙමි

දැන් නන්දා මාලිනී 'පවනෙහි' ගැයූ එකම විරෝධාකල්ප නොවූ ගීය

 වහින්නට හැකිනම් ගිගුම් දී        වියලි ගම් බිම් වලට ඉහලීන්
ඉදෙන්නට හැකි නම් බතක් වී    බතක් නොඉදෙන පැලක රහසින් 

 මතකද?

එම  ගීය සමග ඉහත දැක් වූ බෝධිචර්යාවතාර ගීය සසදා බලන්න. 
එකම අදහස නොවේද? 
මෙවැනි මහරු අදහස් අඩංගු ගී සිය ගණනක් බෝධිචර්යාවතාරයේ තිබේ. 
කවියනි, මේ මහගු සාහිත්‍ය ආකාරය තවමත් සිදී ගොස් නැත.

තමන් තුළ බුදුන් සොයා බෝසත් යානයක සැරිසරනා මිට වසර විස්සකට පමණ පෙර අඩිපාරකදී මට හමූවූණ දැන් රටේ බොහෝ ප්‍රසිද්ධ එක් හිමිනමක් මේ මහරු සරු කෘතිය මේ දිනවල පද්‍ය පෙළක් වශයෙන්ම සිංහල කවියට නැගීමට කටයුතු කරමින් සිටිති. 

දැන්ම නම් ගම් පවසනවාට එතුමන් අකමැතිය.

එම අත් පිටපත කියවාගෙන යද්දීය  නන්දාමාලිනීගේ ගීතය මතක් වූයේ.
එම ගීය මෙතැනින්

http://www.youtube.com/watch?v=Qn4vsNbeYeE 

                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                       

Thursday, 5 June 2014

මදර් ඉන්ඩියා.. බ්‍රදර් අමෙරිකා... අදර් චයිනා..!

මදර් ඉන්ඩියා යන  වවන දෙක කියවෙන විට අපගේ මතකයට එන්නේ එනමින් බිහි වුන සිනමා කෘතියයි. මල්හාර් රාගය ගැන සතර දිගන්තයේ ලියවුන ලිපියේ මේ විත්‍රපටය ගැන මීට පෙරද සහන් කරන්නට යෙදිණි. මෙහූබ් ඛාන් අධ්‍යක්ෂණය කළ මේ විත්‍රපටයේ සුප්‍රකට නිළි නාගීස් ප්‍රධාන වරිතය රග පෑ අතර මෙය ලොව පුරා ජනප්‍රිය වු සම්මානනීය සිනමා කෘතියක් වීය. 1950-1960 දශකවල ඉන්දියානු සමාජය පිළිබද ලෝක මහජන මතය හැඩ ගස්වන්නට මේ සිනමා කෘතිය බෙහෙවින් දායක වූ බව පුසිද්ධ කරුණකි.

නමුත් 20 වන ශත වර්ෂයේ මුල භාගයේ ඉන්දියාව පිළිබද අමෙරිකාව ප්‍රමූඛ බටහිර සමාජ වල පොදු දැක්ම නිර්මාණය කිරීමට මේ සිනමා කෘතියටත් වඩා බලපෑමි කළ කෘතියක් තිබීණි. එය සිනමා කෘතියක් නොව දේශපාලන විවාර කෘතියකි. එහි නම වූයේ ද මදර් ඉන්ඩියා මය. කැතරින් මායෝ නමැති අමෙරිකානු ලේඛිකාව එහි කතුවරියයි. ඉන්දියාවට නිදහස ලැබීමට වසර විස්සකට පමණ පෙර පළවූ මෙම කෘතියටත් එහි කතුවරියටත් ලැබුනේ සම්මාන නොව අවමානයී. ඇය ඉන්දියානුවන්ගේ පිළිකුලට ලක්වූ වරිතයක් වූවාය. මහත්මා ගාන්ධි මේ පොත හැින්වුයේ කුණු කාණු බලන්නියකගේ වාර්තාව (drain inspector’s report) යනුවෙනි.
කැතරින් මායෝ සුදු වර්ගවාදී කාන්තාවක වුවාය. ක්‍රිස්තියානි ජීවන ප්‍රතිපදාව පමණක් උත්කර්ශයට නැංවූ ඇයට අනුව බටහිර ක්‍රිස්තියානි ජීවන ප්‍රතිපදාවට සහ සංස්කෘතියට අයත් නොවූ සියල්ල අශිෂ්ට අසංස්කෘතික ඒවා විය. ඉන්දියාව යනු කුලවාදයේ, ස්ත්‍රී හිංසනයේ, අපිරිසිදු කමේ, අතාර්කිකත්වයේ, මිථ්‍යා විශ්වාසයේ, මෝඩ කමේ, කාලකන්නිකමේ සහ පාපයේ දේශයක් බව ඉතා සරල එහෙත් ප්‍රබල භාෂාවකින්  මදර් ඉන්ඩියා කෘතියෙහි ලා ඇය කියා සිටියාය. ඉන්දියාවේ කිසිම හොදක් ඇය දුවුවේ නැත. ඒ අනුව ඉන්දියාවට නිදහස දෙනවාට ඇය තදින් විරුද්ධ වූවාය. ඉන්දියානු නිදහස් අරගලයට ඇය සමච්චල් කළාය.
ඇය කෘතිය පටන් ගන්නේ කල්කටාවේ කාලි කෝවිලක බිළි පූජාවක් සදහා ඵළුවකු මරා දමනා ආකාරය විස්තර කරමින් කියවන්නා තුළ ඉන්දියාව කෙරෙහි ජුකුප්සාවක් ඇති කරමිනි. කැතරින් මායෝ ඉන්දියාව ගැන කියූ බොහෝ දෑ අසත්‍යය නොවේ.  එහෙත් ඇයගේ එම ලියවිල්ල  ඉදිරිපත් වූයේ ආසියාතික මිලේච්ඡයාට වඩා බටහිර මිනිසා උසස් බවත් ඒ මිලේච්ඡයා පාලනය කර ශිෂ්ට සම්පන්න කිරීම බටහිර ජනයාගේ වගකීමක්ය යන මතයේ පිහිටමිනි. මෙවැනි දෘෂ්ටිවාද එකල බටහිර සමාජයේ සෑම තැනම පැතිරී තිබිනි. නාසිවාදයද එවැන්නකි.
කිසිම සංස්කාතියක් පිරිසිදු හෝ ශුද්ධවන්ත නැත. අවුරුදු දහස් ගණනක් ඈතට දිවයන තම දේශයේ ජනයාගේ සංස්කෘතියේ දුබලතා මෙන්ම ප්‍රබලතා ගැන ජනතාව අතර සංවාදයක් ගෙන යමින් ඉන්දියානු නිදහස් අරගලය පණ ගන්වමින් සිටි ඉන්දියාවේ එවක සිටි ගාන්ධි, නේරු, තාගෝර් වැනි ජන නායකයෝ තම රට දෙස විචාරාත්මකව බලමින්ම ඉන්දියාව ගැන විදේශිකයන් අතින් කෙරුණ මෙවැනි අතිශය පාර්ශ්වීය අසම්පූර්ණ සහ දුප්පත් විග්‍රහයන්ට එරෙහි වූහ.

එහෙත් කාලයක් යනතෙක් බටහිර මිනිසා විශේෂයෙන් අමෙරිකානුවන් ඉන්දියාව දෙස බැලුවේ කැතරින් මායෝ වැනි අය වසින් ඉදිරිපත් කර අමෙරිකානු ජන මනසේ තහවුරු කරනු ලැබූ මතවාද සහ තොරතූරු ඔස්සේය.

  කැතරින් මායෝගේ මදර් ඉන්ඩියා පොතද මෙහුබ් ඛාන්ගේ මදර් ඉන්දියා විත්‍රපටයද ඉතිහාසයට එක් වී බොහෝ කල්ය.ඉන්දියානු අමෙරිකානු සබදතා කාලයේ ගලා යාමත් සමග බෙහෙවින් වෙනස් වී තිබේ. වර්තමානයේ ඉන්දියාව යනු අමෙරිකාවේ හොදම ආසියාතික මිතුරාය. කාලි දෙවගන අදහන  නරේන්ද්‍ර මෝඩිට පැනවූ වීසා තහනම ගැන දැන් අමෙරිකාව කතා කරන්නේ නැත. මෝඩි ඡන්දයෙන් දිනු වහාම ප්‍රථමයෙන්ම සුබ පැතුවේ බැරැක් ඔබාමාය. ලබන සැප්තැම්බරයේ නිව්යෝර්ක් නගරයේ පැවැත්වෙන  එක්සත් ජාතින්ගේ සංවිධානයේ  සමුළුවට සහභාගී විමට නියමිත ඉන්දීය අගමැති මෝඩි සමග බැරැක් ඔබාමා ද්විපාර්ශ්වික රාජ්‍ය නායක සාකව්ඡාවක්ද පවත්වන බව මේ වන විටද නිවේදනය වී අවසන්ය.
නරසිංහ රාවෝගේ ඉන්දියාව මෙන්ම මෝඩිගේ ඉන්දියාවද අමෙරිකන් හිතවාදී ඉන්දියාවක් වීම වැළැක්විය නොහැකිය. ලංකා ඉන්දියානු සබදතා මෙන්ම ලංකා අමෙරිකානු සබදතා ගැන කටයුතු කරද්දී මේ කරුණ අමතක කළ යුතු නැත. අමෙරිකාව ලංකාව දෙස බලන්නනේ ඉන්දියානු ප්‍රිස්මයක් තුළින්ය යන තරමක් පැරණි න්‍යාය තවත් වටයකින් අලුත් වෙමින් තිබේ. අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර දැන් පවතින රාජ්‍යතාන්ත්‍රික ආතතිය අමෙරිකානු හිතවත් ඉන්දියාවක් අසල තිබෙන චීන හිතවත් ලංකාවක් නිසා සිදුවන්නක් යැයි වැරදි ගණන් බැලීමක් ඇතැමුන්  තුළ ඇත.  ආසියාතික කලාපයේ චීනය වට කරගෙන සිටින අමෙරිකාවට අවශ්‍ය වු විට අවශය ලෙස හසුරුවා ගත හැකි රාජ්‍යයන් කිහිපයක්ම තිබේ. ජපානය ඉන්දුනීසියාව මලයාසියාව පිලිපීනය ඒවායින් සමහරකි.


චීනය දෙවැනි තැනට දමමින් මෝඩි අමෙරිකානු සබදතා තර කරන අකාරය ගැන ලංකාව විමසිලිමත් විය යුතුය. චීනය අනෙකා හෙවත් The Other  කරගෙන අමෙරිකා ලංකාව පිළිබද තීන්දු ගනීවි යැයි සිතීම මේ මොහොතේ විය හැකි ක්‍රියාවක් නොවේ.  අමෙරිකාව විසින් වීසා තහනමක් පනවා රාජ්‍ය තන්ත්‍රික පිළිගැනීමක් නැතිව අන්තවාදී නායකයකු ලෙස හංවඩු ගැසී මෝඩි හුදෙකලාව සිටි යුගයේ ඔහුට මිත්‍රත්වයේ හස්තය දිගු කළේ  චීනයයි.එසමයෙහි එක් වතාවක් නොව හතර වතාවක්ම මෝඩි චීනයේ සංචාරය කළේය. එහෙත් මෝඩි ඉන්දියානු නායකයා ලෙස දිවුරුම් දෙන විට චීනය කැපී පෙනෙන ලෙස සුබ පැතූ බවක් පෙනුනේ නැත. මෙයින් පෙනෙන්නේ ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය පුද්ගලයන් මත රදා නොපවතින බවය. ඉන්දියාව ඉතා පැහැදිලිව අමෙරිකාවට ප්‍රමුඛතාව දී තිබේ. ශ්‍රී ලංකාව මේ ප්‍රවණතාව නිවැරදිව වටහා ගත යුතුව ඇත.

Wednesday, 4 June 2014

අඩි පාර දිගේ.............

අැත්ත වශයෙන්ම දෙවන වරටත් සතර දිගන්තය නැවතුන පසුද ලියවුන දේ බොහෝය. ලියවුන බොහෝ දේ පළ කිරීමට නොහැකි විය. මාතෘකා දෙක තුනක්ම අපි අරඔා  තිබුනෙමු. ඒවා ගැන ලිවිය යුතු දේ තවත් බොහෝ එකතු වී තිබේ.

යලිත් ලිවීමේ ලියා පළ කිරීමේ ඉස්පාසුව ලැබෙමින් තිබෙන බව පෙනේ.

 මේ දිනවල වැඩිපුරම සිටින්නේ රත්නපුරයේ ගම්මාන වලය. වැඩිපුර ඇවිදින්නේ අධිවෙීගී පාරේ නොව අඩි පාරේය. මුන ගැසෙන්නේ ලොක්කන් බක්කන් නොව සුළු මිනිසුන්ය.

 එබදු අඩි පාරක් දිගේ ළගදී ගිය එක් ගමනක් කෙළවර වූයේ සිරිපා කදු වැටිය පාමුළ ගන වනයේ සිහින් දොළපාරක් අසළ ඇති  සිත නිවන වන සෙනසුනකිනි.

 එහිදී තරුණ තෙරුන් වහන්සේ දෙනමක්  අපට මුන ගැසීමට ඉඩ ලැබුණි. ඔවුන්ද සුළු මිනිසුන්ය. එහෙත්  වෙනසකට ඇත්තේ ඔවුන් විදිනා ජීවන ප්‍රීතිය විශාල වීමය.

එවැනි මිනිසුන් හමුවිය හැක්කේ අඩි පාරේ ගිය විට පමණී



Friday, 17 January 2014

නිදහසේ ආර්ථික මන්ත්‍රය

තවත් නිදහස දිනයක් කෙමෙන් කෙමෙන් ළඟා වෙමින් තිබේ. නිදහස සැමරීම යනු සංදර්ශන පැවැත්වීම  යයි සිතන්නට නිදහස ලැබුන දා සිටම අපි පුරුදු  වී සිටිමු. එසේ පුරුදු වෙමින් සිටි කාලය සුළු පටු කාලයක් නොවේ. අවුරුදු හැට පහක් පමණය. අඩුම තරමින් පරම්පරා තුනක්වත් මේ සංදර්ශන කාමයට සහ ප්‍රදර්ශන කාමයට ගොදුරු වී තිබේ. ප්‍රදර්ශන සංදර්ශන තිබුනාට කමක් නැත. ප්‍රධානම අඩුව වන්නේ නිදහස යනු කුමක් දැයි ගැඹුරින් වටහා ගන්නා සංස්කෘතික චින්තනයක් අපට තවමත් ගොඩ නගා ගැනීමට නොහැකි වීමය. එය  අපට අපේ සංස්කෘතික  සිරස් පත අහිමි වීමේ ඛේදවාචකය නිසා  සිදු වූ ඇබැද්දියකි. සංස්කෘතික සිරස්පත යයි මෙහි අදහස් කරන්නේ විචාරාත්මක චින්තනයයි.

විචාරාත්මක චින්තනයකට කිසියම් නිර්භීත බවක් අවශ්‍යය. කොඳු කඩා ගත්  සමාජයකට එබඳු නිර්භීත කමක් ලබා  දීමට නම් විශාල  වෙදකමක් අවශ්‍ය වන්නේය. හොඳ සිංහල වෙදකමක් යෝජනා කළ නිර්භීත මිනිසකු  අපට සිටියේය. ඔහු නිදහස ලැබීමට වසර හතරකට පමණ පෙර මිය ගියේය. නිදහස ගැන ඒ නිර්භීත මිනිසා මෙසේ  කීවේය.

 සිත නිදහස්                        බවට 
නො පමුණුවා පළමු          කොට 
නිදහසට සිය                         රට 
ලමුයි යෙති දදහු ඇතියෙන්  කට 

අපේ සංස්කෘතික සිරස්පත අහිමි වීම ගැන කතා කරන මෙම ලියමන් වල මේ මහා මිනිසා ගැන කතා ඉදිරියට කතා කරන බැවින් දැනට ඔහුගේ නමවත් දැනට  මෙහි ලියන්නේ නැත. කෙසේ වෙතත් මේ මහා මිනිසා  වැඩ කළේ සංස්කෘතික  වැඩ බිමකය.  මේ මිනිසා ජීවත් වූ  පූර්ව නිදහස් යුගයේ  නිදහස ගැන සංස්කෘතික කතා බහක් ඇති වී තිබිණි. ඒවායේ සීමාකම් නොතිබුනා  නොවේ. එහෙත් එකල ලියවුනු පොත් පත් වල නිදහස පිලිබඳ අදටත් ගැලපෙන නම් වගවාසගම් තිබිණි. නිදහසේ මන්ත්‍රය, නිදහසේ දැහැන  ආදිය  ඒවාට උදාහරණය. එම මන්ත්‍ර දැහැන් ආදී සියල්ල වෙන් වුනේ සන්ස්කෘතික අවදි කිරීමක් උදෙසාය. ඒ සන්ස්කෘතික අවදි කිරීම  අපේ රටේ සිදු වුනේ නැත. අවාසනාවකට මේ වන විට අපේ රටේ හුදී ජනී ජනයාට ඔය කියන කෙහෙම්මල් සංස්කෘතියකින් වැඩක් නැත. හැමෝම බලන්නේ සල්ලි හම්බ කිරීමටය. සල්ලි තියනවානම් නිදහස ලැබෙය යන මන්ත්‍රය හැමෝම ජප කරමින් සිටිති . නිදහස ආර්ථික ඌනිත වාදයක් බවට පත් වී තිබේ.
 
මේ පසුබිමෙහි සන්ස්කෘතියෙහි   සංස්කෘතිය ගැන කතා කිරීමට පෙර ආර්ථිකයෙහි සන්ස්කෘතිය ගැන කතා කිරීම වඩා වැදගත්ය. එසේ නැත්නම් ආර්ථිකයට සංස්කෘතියක් ඉදිරිපත් කරන්නේ කෙසේ දැයි කතා කිරීම වැදගත්ය.  ඒ අනුව නිදහසේ  ආර්ථික මන්ත්‍රය මන්ත්‍රය පහත සඳහන් පරිදි ඉදිරිපත් කරමු.

1. නිදහස යනු පුද්ගලයාගේ භෞතික සහ මානසික සැපත සහතික කිරීම සඳහා අවශ්‍ය වන සමාජ තත්වයන් ලබා ගැනීමට කිසිම අවහිරයක් නොතිබීමය. නිදහස යනු අත්‍යවශ්‍යයන්ම බාධක විරහිත වීමයි.

2.  ආර්ථික සෑහීමක් ඇති කල බලාපොරොත්තු දල්වාගත හැකිය යන හැගීම  සමාජයේ ජනිත වේ.

3. නීති ගරුක භාවය සහ නීතියේ පාලනය පිහිටුවිය හැක්කේ බලාපොරොත්තු වලට ඉඩ දෙන සමාජයක මිස අපේක්ෂා භංග වන සමාජයක නොවේ.

4. ආර්ථික සෑහීම නොමැතිව ආත්ම විශ්වාසය ගමන් කරන්නේ නැත. පාලකයන්ගේද  පාලිතයන්ගේද  ආත්ම විශ්වාසය ඉහල මට්ටමක පවතින විට සැක පහල කිරීම තර්ජනයක් ලෙස කිසිවෙක් නොසලකති. එවිට වාද විවාදයනට ලක්වන විෂයයන්ගේ සීමා පළල්  වේ.

5. ආර්ථික ප්‍රබෝධය ඇතිවන්නේ හැකියාවන්ට ඉඩ දෙන සමාජයක්ය.

6. ප්‍රජාතන්ත්රවාදය සාර්ථක වීමට නම් එය හැකියාවන්ට සහ දක්ෂතාවන්ට  ඉඩ  දෙන හැකියා තන්ත්‍රවාදයක්ද විය යුතුය. 


5.ආර්ථිකය හැකිලෙන විට නිදහසද හැකිලෙයි. එවිට බයෙන් අවිශ්වාසයද හට ගනියි. පාලක පන්තිය සමාජය නුරුස්නා කල්ලියක් බවට පත්වී පාලකයන්ගේ නැණවත් භාවය පිලිබඳ පාලිතයා අතර සැක මතු වෙයි.

6. එවිට නව අදහස් සහ දේශපාලන විපර්යාස  සමාජය විසින් ඉල්ලා සිටිනු ලැබේ.

(මේ මන්ත්‍රය සමාජය පිලිබඳ ආර්ථික ඌනිත වාදයක් නොවන බව කියවන්නාට වැටහෙනු ඇත. මේ සූත්‍රය පදනම් වී ඇත්තේ කෙසේ හෝ සල්ලි හොයා ගනිමු යන "ශිෂ්‍යත්ව විභාග"  සූත්තර මත නොව ඊට  වඩා ගැඹුරු "ශිෂ්ටත්ව විභාගයක්" සමත් වූ චින්තනයක් පදනම් කරගනිමින්ය.)





Saturday, 4 January 2014

සතර දිගන්තය : අපට අපගේ සිරස්පත අහිමි වුනේ ඇයි ?

සතර දිගන්තය : අපට අපගේ සිරස්පත අහිමි වුනේ ඇයි ?:   අද අවශ්‍ය වන්නේ සංස්කෘතික ආත්ම විශ්වාසයකින් යුක්ත මිනිසකු ගොඩනැගීමය .  සංස්කෘතික ආත්ම විශ්වාසයක මූලික ලක්ෂණය වන්නේ බාහිර ලෝකයට බිය නොවීමය....

අපට අපගේ සිරස්පත අහිමි වුනේ ඇයි ?

 අද අවශ්‍ය වන්නේ සංස්කෘතික ආත්ම විශ්වාසයකින් යුක්ත මිනිසකු ගොඩනැගීමය. සංස්කෘතික ආත්ම විශ්වාසයක මූලික ලක්ෂණය වන්නේ බාහිර ලෝකයට බිය නොවීමය. ආරක්ෂණ වාදයට යටත් නොවී විචාරාත්මක දැනුමට සහ අදහස් වලට ඉඩ දීමය.

 අවාසනාවකට මේ කියන විචාරාත්මක භාවය වෙනුවට සිංහලයාගේ වර්තමාන සංස්කෘතික චර්යාව වී තිබෙන්නේ අධානග්‍ග්‍රාහීත්වයයි. සරු දේ සරු ලෙසත් නිසරු දේ නිසරු ලෙසත් තෝරා බේරා ගැනීමේ හැකියාව අහිමි කර ගත්  නිවට සහ නියාලු  මෙන් ම  පුහු උද්ධ්ච අධානාග්‍රහීත්වයක හෙවත් ඩොග්මාවක අප සිරවී ඇත. මෙය බෞද්ධ සමාජයකට උරුම විය යුතු ඛේදවාචකයක් නොවේ. මන්ද යත්  බුදු සමය තරම් අධානග්රහී චර්යාවන් විවේචනය කළ තවත් සමය දර්ශනයක් නොමැති බැවිනි. බෞද්ධ සමාජයක් සංස්කෘතික අවිචාරයක ගිලේ නම් අධානග්රාහීත්වය නමැති  පල වලේ එරී තිබේ නම් එවන්  සමාජ වල ඇත්තේ බෞද්ධ හමක් මිස බෞද්ධ කමක් නොවේ. සිංහල බෞද්ධ සමාජයේ බොහෝ මෑත කාලීන සහ සමහර ඈත කාලීන චර්යාවන් දෙස බලන කල පෙනීයන්නේ අප ආරක්ෂා කර ගන්නට වෙර දරන්නේ බෞද්ධ පිට හමක් හෙවත් බෞද්ධ පිට පොත්තක් මිස බෞද්ධ අභ්‍යන්තරයක් හෙවත් බෞද්ධ කමක් නොවන බවය.

මෙවැනි ඩොග්මාවක සිරකරුවන් වීමට බලපෑ ඈත කාලීන හේතු ගැන මදක් විපරම් කර බලමු. සෑම ශිෂ්ටාචාරයකම වාගේ ජනිත වන ඉතා වටිනා අදහස් ඒවාට හිමි විය යුතු වටිනාකම අහිමි කර දමමින් වල දමා තිබීම මානවයාගේ සමාජ සංස්කෘතික  ඉතිහාසයේ දක්නට ලැබෙන ඉතාම කනගාටුදායක තත්වයකි. කලාම සූත්‍රයෙන් බුදුන්වහන්සේ ඉදිරිපත් කළ විචාරාත්මක ප්‍රවේශය ද  එසේ නොසැලකිල්ලකට ලක් වූ එක්  අදහසකි. එය සූත්‍ර පිටකයේ අදටත් නිසි සැලකිල්ලක් නොලැබ  වැසී තිබෙන මාණික්‍ය රත්නයකි. කලාම සූත්‍රයෙන් පුද්ගලයාගේ බුද්ධිමය සහ චින්තනමය ස්වාධීනත්වය උපරිම ලෙස තහවුරු කරන අදහසක් බුදුන්වහන්සේ ඉදිරිපත් කළහ. එහෙත් බෞද්ධ සමාජ මේ සංකල්පයෙන් එතරම් වැඩ ගත්තේ නැත. බන පොතේ කුමක් තිබුනද බන දෙසන්නන් කුමක් දේශනා කලද විචාරාත්මක පුරවැසියන්ගේ සමාජ වෙනුවට නිවට නිවට නියාලු එහෙයියන් වැඩි පුර සිටින සංස්කෘතීන්  ආසියාතික බෞද්ධ  සමාජ අතරින් බිහිවිය.

 මෙයට හේතුව බටහිරයන් පැමිණ අපගේ කොන්ද කඩා දැමීමය යනුවෙන් ජනප්‍රිය ගැලවිජ්ජා  සූත්තරයක් අපි නිර්මාණය කර ගෙන තිබෙමු. ඒ සූත්තර කෙතරම් දෙසා බෑවද අප එරෙමින් සිටින අඳුරු අගාධයෙන් ගැලවීමට එම කතන්දර  ඉවහල් නොවන බැවින් අපි අපට ඇත්ත වශයෙන්ම වැරදුනේ කොතනදැයි විචාරාත්මකව විමසා බලමු.

රෙනේ දෙකාර්ට්ස්ගේ දර්ශනය අඳුරු යුගයකින් ගැලවීමට යුරෝපයට පාර කියා දුන්නේය. යුරෝපයේ පුනරුදය ගැන අපට කොතරම් විවේචන තිබුනත් දෙකාර්ට්ස්ගේ චින්තනය  එක්තරා අඳුරු යුගයක අවසානය සලකුණු කළ චින්තාවක් විය. කලාම සූත්‍රයෙන් බුදුන්වහන්සේ ඉදිරිපත් කල විචාරාත්මක ප්‍රවේශය දෙකාර්ත්ස්ගේ සංකල්පයට වඩා බොහෝ ඉදිරියෙන් තිබෙන්නකි. එසේ තිබියදීත් එය පදනම් කොට ගෙන විචාරාත්මක ශාස්ත්‍රීය සම්ප්‍රදායක් සංස්කෘතික චින්තන සම්ප්‍රදායක්  අඩුම තරමින් ථෙරවාදී බෞද්ධ සමාජ වල ගොඩ නොනගුනේ ඇයි? අපට අපගේ බුද්ධිමය සිරස්පත අහිමි වුනේ ඇයි? ඔබේ උදහස් නොවු අදහස් සමග අපි මේ ගැටලුව කතා කරමින් ඉදිරියට  යමූ.

Tuesday, 24 December 2013

උඳුවප් බෝසත්

ජේසු තුමන්ගේ උපත සමරන උදුවප් මාසයේ නත්තල උදාවෙමින් තිබේ. මහා මැදුරක වුවද, කානු පල්ලක සිදු වුවද  මිනිස් දරුවකු ලොවට බිහි වීම අසිරිමත් සිදු වීමකි. ඒ අරුතින් ගත්  කල වල්ග තරු පෑයූ රාත්‍රියක දිළිඳු මාපිය යුවලකට දාව සිදු වූ ජේසු උපත ද මහා අසිරිමත් මානව උප්පත්තියකි.එහෙත් ජෙසුතුමන්ගේ මරණය එබඳු අසිරිමත් මරණයක් නොවේ. බුදුන්වහන්සේගේ නම් පරිනිර්වාණයද මංගල්‍යයක් ලෙස බෞධයෝ සලකති. ජේසු තුමන් ස්වභාවික ලෙස මිය ගියේ නැත. එනම් සිය ජව සම්පන්න තුරුණු වියේදීම කුරිරු  මරණ දඬුවමකට ලක් වී සිරුරු කිහිප පොලකින්ම විද ලී කුරුසියකට තබා  ඇණ ගසා වතුර පොදක් වත් බොන්නට නොදී වේදනාවෙන් හා පිපාසයෙන් මිය යන්නට සැලැස්වීමේ එකල ඊශ්‍රායලය ක්‍රියාත්මක කල මිලේච්ඡ දඬුවම් ක්‍රමයට ජෙසුතුමන් ගොදුරු විය .

කුරුසියේ ඇණ ගසන අවස්ථාවේ විලාප හඩින් කෑ ගැසූ ජෙසුතුමන් " එලොයි එලොයි ලාමා සබක්තානී " නම් වචන කිහිපයක් කියා ඇත. ඒවා  ජෙසුතුමන්ගේ අවසාන වචන ලෙස පිළිගැනේ. මේ වචන හතරට විවිධ අර්ථ කථන දී තිබේ. බයිබලයේම එකිනෙකට වෙනස් කතා තුනක් කියවේ. " මගේ දෙවියනි ... මගේ දෙවියනි ඔබ මා ඇත හරියේ ඇයි ?'' යන්න එකකි. '' පියාණනි ඔබගේ අතට මගේ ආත්මය භාර දෙමි '' යනුවෙන් තවත් අර්ථ කථනයකි. " සියල්ල අවසානයි " යන්න තවත් නිර්වචනයකි. භාෂාවේදීන් පවසන ආකාරයට ජෙසුතුමන් කතා කර තිබෙන්නේ එකල  ප්‍රභූ පැලැන්තියේ ජනතාව කතා කළ භාෂාව වූ හීබ්රු භාෂාවෙන් නොව පොදු ජනයාගේ භාෂාවක් ව තිබු 'අරමයික ' භාෂාවෙන්ය. ඒ අනුව ඔවුන් කියන්නේ අරමයික බස හීබ්රු බසට පෙරලීමෙදී පරිවර්තන දෝෂයක් සිදු වී ඇති බවය. 'ලාමා සබක්තානී ' යනුවෙන් ජෙසුතුමන් අවසාන මොහොතේ කතා කර ඇත්තේ තමාගේ ගුරුවරයෙකු වූ ටිබෙට් රටේ බෞද්ධ ලමාවරයෙකුට යයි මත දක්වන්නෝ කියති .

මේ කරුණ ඉදිරිපත් කළේ  ජෙසුතුමන්ගේ අවසාන වචන ලෙස බයිබලයේ සඳහන් වී තිබෙන කරුණු අභියෝගයට ලක් කිරීමේ අදහසින් නොව සිය ළදරු වියේදීම මවත් සමග උපන් බිම වූ  ගලීලයෙන් පලාගිය ජෙසුතුමන් ආසියාවේ ටිබෙට් දේශයට පැමිණ බුදු දහම හදාරා නැවත ඊශ්‍රායලයට යන්නට ඇතැයි යනුවෙන් අනුමාන කෙරෙන ප්‍රබල මතයක් පවතින බැවිනි. ලෝකයේ ආගම් ගැන විශාල අධ්‍යයනයක යෙදුන ඉන්දියාවේ පෙරලිකාරී චින්තකයකු හා දාර්ශනිකයකු වූ භාගවාන් රජ්නීෂ් හෙවත් ඕෂෝ කියන්නේ ජෙසුතුමන් ඉන්දියාවට පැමිණි බව සඳහන් කෙරෙන ඉතා පැහැදිලි වාර්තා තවම ලබා ගත හැකි බවය.  ලෝකයේ බොහෝ ප්‍රජාවන් තම ඉතිහාසය ලියා තබා නැත. ඊශ්‍රායලයේ ඉතිහාසය බයිබලය නමින් යුදෙව්වන් අතිනුත් ලංකාවේ ඉතිහාසය මහාවංශය නමින් සිංහලයන් අතිනුත් කාශ්මීරයේ   ඉතිහාසය ''රාජ තරන්ගනිය ' නමින් කල්හාන නම් ඉතිහාස කරුවා අතිනුත් ලියවී තිබීම ඒ අතර විශේෂ කරුණකි . කල්හානගේ ඉතිහාස පොතේ ජෙසුතුමන්ගේ ඉන්දියානු ජීවිතය යයි සැලකිය හැකි කතාවක් තිබේ .

"ජේසුස් නම් බුද්ධ ශ්‍රවකයනෝ '' නම් පොත ලියූ කොලට් සේනානායක සහ නාරද කරුණාතිලක එය මෙසේ පරිවර්තනය කර පෙන්වති . 

 ''............... ඉසනා නමින් ඇති ප්‍රසිද්ධ සාන්තුවරයෙක්  ඩල් ගංගාව අසල ඉසබාර්හි විසුවේය. ඔහුට බොහෝ ශිෂ්‍යන් සිටි අතර ප්‍රධාන ගෝලයා 'සව්දිමතී' නම් විය. සියලු රටවැසියෝ සව්දිමතී ඔවුන්ගේ රාජ්‍යය හෙබවීමට සුදුස්සා  බව කීහ. භීතියට පත් (එවකට එරටේ සිටි ) නපුරු රජතුමා  සව්දිමතී  කුරිසියේ තබා ඇණ ගැසුවේය.  මෙය  ඇසු ඉසනා එහි ගොස් සව්දිමතීගේ නාසයට සුවඳ තෙලක් පිම්බේය . තුන් දිනකින් සව්දිමතීට සිහිය ලැබුනි ......''

 කුරුසියේ  ඇණ ගසා දඬුවම් කිරීම කාශ්මීරයේ තිබූ  දඬුවම් ක්‍රමයක් නොවේ.  මේ වනාහී තමන් ඇසු කතාවක්  කල්හාන තම කාශ්මීර ඉතිහාස පොතට ඇතුලත් කිරීමකි. එයින් තේරුම් ගත යුත්තේ කාශ්මීරයේද ටික කලක් සිටි සාන්තුවරයෙකු පසු කලෙක වෙනත් දේශයකදී කුරුසියේ ඇණ  ගසනු ලැබූ බව පමණි. ජෙසුතුමන්ගේ පෙරදිග ගමන ගැන කියන අර්ථ දක්වන මෙවැනිනි කතන්දර තව කොතෙකුත් තිබේ. 

ජෙසුතුමන්ගේ පෙරදිග ගමන පිලිබඳ කතාව මෙපණටම වැදගත් වන්නේ එතුමන් ඊශ්‍රායලයට හා එහි ඉතිහාසය ලියවී ඇති ඉබලයේ පරණ ගිවිසුමට හෙවත් යුදෙව් ආගමට සපුරා වෙනස් ලෙස පෙනෙන දර්ශනයක් ඉගැන්වීමක් පතුරුවා හළ  බැවිනි. නව අදහස් ඉදිරිපත් කිරීමට ජෙසුතුමන්ට දැනුම  ලැබුනේ පෙරදිගින් බව සිතන්නට පෙළඹවීමක්  ඇතිවන්නේ ඒ අනුවය.

ජෙසුතුමන් ඊශ්‍රයල්යෙදී කළේ ආගමක් දෙසීමක්ද නැතහොත් පීඩාවට පත් ජනතාවක් ගලවා ගැනීම වන දේශපාලන මෙහෙයුමකද යන්න අතිශයින් විවාදිත කරුණකි. ජේසු තුමන් උපන් යුගයේ ඊශ්‍රායලය තිබුනේ රෝම අධිරාජ්‍යයට යටත් රෝමයේ යටත්  විජිතයක් වශයෙනි. රෝම සීසර් වරයා මේ යටත් විජිතයේ ප්‍රජා පීඩනය පවත්වා ගෙන ගියේ අන්ත ප්‍රතිගාමී පූජක පැලැන්තියක පිහිටෙනි. ජේසු තුමන් මේ පූජක පැලැන්තියටත් ඔවූන් දේශනා කළ  යුදෙව් ආගමටත් මුළුමනින්ම පටහැනි දේ කළේය. කීවේය. ' ඇසට ඇසක්- දතට දතක් ' නම්  පළි ගැනීමේ යුදෙව් නීතිය වෙනුවට ඔහු  මයිත්‍රියේ  දේශනාව ඉදිරිපත් කළේය. යුදෙව් ආගමේ දශ පනත අමු අමුවේ කඩ කරමින්  නිවාඩු දිනයේ හෙවත් සබත් දිනයේ පවා ජනතාව වෙනුවෙන් වැඩ කළේය. මහජනයා පීඩාවට පත් කරන  පාලකයන්, පූජකයන්, ගිනි පොලී කරුවන්, ජාවාරම් කරුවන්, වන්චාකාරයන්ට එරෙහිව ඔහු  අති තියුණු වචන මාලාවක් සහිතව ජනතාව සංවිධානය කළේය. එසමයෙහි අතිශයින් පරිහානණියට පත්වෙමින තිබූ යුදෙව් ජන ජීවිත නගා සිටුවන නව අදහස් ඉදිරිපත් කළේය. මුළු මහත් යුදෙව් ජීවන දෘෂ්ටියම කණපිට හැරවීය.

මේ සියලු කරුණු අනුව පෙනී යන්නේ ජෙසුතුමන් කළේ ආගමික මෙහෙයකට වඩා දේශපාලන කටයුත්තක් බවය. මැතිව් මෙසේ සඳහන් කරයි 

"............. යෙරුසිලමේ දුවරුනි ... සතුටින් ඔල්වරසන් දෙන්න 
               අන්න බලන්න .... ඔබලාගේ රජතුමා පැමිණේ 
               එතුමා ජයග්රාහීය ...... විජයග්රාහීය 
               නිහතමානී බැවින් කොටලුවකු පිටේ 
               පැමිණෙන්නේය 
              එතුමා ජාතිය සාමය දේශනා කරන්නේය ........

කොටලුවකු පිටේ නගිමින් තැනින් තැන යමින් යුදෙව් ජාතික විමුක්ති අරගලය සංවිධානය කළ  ජේසු තුමන්ට එරහිව නැගුනු ප්‍රධාන චෝදනාව වූවේද යුදෙව්වන්ගේ රජු ලෙස පෙනී සිටියාය යන කරුණය. අනෙක් චෝදනාව වූයේ තමන් දෙවියන්ගේ පුත්‍රයා යයි කියමින් දෙවියන්ටද නින්දා අපහාස කළ බවය.  එහෙත් නඩුව විමසු  පිලාත් නම් ආණ්ඩුකාරවරයා මුල් වටයේදී " මට මොහුගේ කිසි වරදක්  පෙනෙන්නේ නැතැයි'' කියමින් චෝදනාව බැහැර කළේය. අවසානයේදී ජෙසුතුමන්ට දඬුවම් දිය යුතු යයි එක හඬින්  කෑ ගසමින් ඉල්ලා සිටියේ එතුමන් සමග සිටි ජනතාවමය. 

ජෙසුතුමන්ව  කුරුසියේ තබා ඇණ  ගැසීමෙන් පමණක් රෝම පාලකයන්ට තම ප්‍රජා පීඩන පාලනය කරදරයකින් තොරව පවත්වා ගෙන යා හැකි වූයේ නැත.  ජෙසුන්ගේ අනුගාමිකයන් වූ හා සම කාලීනයන් වූ ජෝන්ද බැප්ටිස්ට් , ජේම්ස්, සිමොන් පීටර් ආදීන්ද මරා දැමීමට සිදුවිය.  මේ ඝාතනත් සමගම රෝම පාලකයන්ට එරෙහිව මහා ජනතා සටනක් අවිලිනි. රෝම හමුදාව ජෙරුසලමේ මහා දේවාලය ගිනිබත් කළහ. ජෙරුසලමේ වැව ලෙයින් රත් පැහැ  ගන්වෙමින් මිනිස් හිස් වලින් පිරිණ.  දස දහස ගණන් යුදෙව්වෝ වහලුන් ලෙස රෝමයට අල්ලාගෙන යන ලදහ. සිර කරුවෝ එකොලොස් දහසක් බඩගින්නේ මිය ගියහ. ජෙසුතුමන් ආගමික  සුරුවමක් බව පත් වූයේ  මේ සියලු කලබගෑනි අවසාන වී රෝම අධිරාජ්‍යය බිඳ වැටීමෙන් පසුවය .

 මේ අසිරිමත් චරිතය  විවිධ  අය  විවිධ අයුරින් දකිති. කියවති. අර්ථ කතනය කරති.  කිසියම්  බෞද්ධයකුකට  ජේසුතුමාව  අධිෂ්ටාන, වීර්ය, ප්‍රඥා පාරමිතා  පිරූ  බෝසත්  වරයකු ලෙස පෙනෙන්නේ නම් එය   පුදුමයට හෝ තරහ ගැනීමට  කරුණක් නොවේ.

(මෙය 2009 දෙසැම්බර 20 දින  දිවයින පුවත් පතේ සංහිතාව තීරුවේ පල වූ ලිපියක් ඇසුරින් සකස් කරන  ලද්දකි)