යුනෙස්කෝව මෙසේ කියයි. සංස්කෘතිය යනු '' සමාජයක හෝ සමාජ කණ්ඩායමක අනන්‍යතාව පෙන්නුම්කරණ භාවමය, බුධිමය, භෞතිකමය, අධ්‍යාත්මික සියල්ලෙහි සංකීර්ණ සුවිශේෂත්වයයි '' මේ කියන සියල්ල කිසියම් සමාජයක් තනිවම නිපදවා ගන්නේ නැත. හැම සංස්කෘතියකම දකින්නට තිබෙන්නේ " හුවමාරු කිරීම් වල සහ ණයට ගැනීම් වල මිශ්‍රණයකි". අවාසනාවකට අපගේ ජාතිකවාදයන් මේ කරුණ භයානක ලෙස අමතක කරමින් තේරුමක් නැති නැති සංස්කෘතික ආරක්ෂනවාදයක් කරා පල්ලම් බැසීමට අපට යෝජනා කරමින් සිටියි. ඔවුන් වඩා කැමති දොර කවුළු පියන් පත් ඇරීමට නොව පුළුවන් තරම් වසා තැබීමටය.
මහාත්මා ගාන්ධි සහ රවින්ද්‍රනාත් තාගෝර් යන නායකයෝ ජාතික වාදයේ මේ අවගමනාත්මක ලක්ෂණය ගැන දනුම්වත් වූහ. " සතර අතින් හමනා සුළන් වලට ඔබගේ ගේ කුටියට ඇතුළුවීමට ඉඩ ලැබෙන සේ ඔබගේ කුටියේ කවුළු පියන් පත් විවර කර තබන්න . එහෙත් ඒ සුළන් වලට ඔබ උදුරා ගෙන යාමට ඉඩ නොතබන්න" ඒ ඔවුන්ගේ සංස්කෘතික දැක්ම පෙන්වන ප්‍රකට කියමනකි.
අපගේ සියලු අට අනුවක් රෝග සහ නව අනුවක් ව්‍යාධි වලට එකම හේතුව බටහිර සංස්කෘතිය අප මත කර තිබෙන බලපෑම යයි අවිචාරාත්මක අදහසක් වගා දිගා වෙමින් තිබේ. බටහිර යුරෝපානු සංස්කෘතියේ වැදගත් ලක්ෂණය වන්නේ එය කිසි විටකත් තමන් වසා ගැනීමේ වරදට හසු නොවීමය. එය අතීතයේ සිටම පැවතියේ විවෘතාවය. පෙරගදිග ඇතුළු වෙනත් සංස්කෘතියකින් ලබා ගැනීමට තිබූ කිසිම දෙයක් එය ඇත හරියේ නැත. බටහිර ජනයා පෙරදිගින් දැනුම සහ සංස්කෘතිය උකහාගත් ආකාරය අප මවිත කරන තරමේ වෘත්තාන්තයකි. එහෙත් අපගේ ජාතික වාදී කතිකාව මේ අසිරිමත් කතාවේ අල්ලා ගත්තේ පිට පොත්ත පමණි.
"සංස්කෘතික වශයෙන් ආත්ම විශ්වාසයක් ඇති සමාජයක් බාහිර බලපෑම් සඳහා වඩා විවෘත වන අතර එමගින් වැඩි වාසියක් ලබයි. අනෙක් අතට ආරක්ෂණ වාදී සමාජයක් වැඩි වැදගත් කමක් ලබා දෙන්නේ හිරි වැටී ඇති සම්ප්‍රදායන්ටය." නො එසේ නම් පසුගාමී සම්ප්‍රදායන්ටය. සංස්කෘතික ආත්ම විශ්වාසයක් ඇතිකර ගැනීමෙහි පදනම වන්නේ විචාර චින්තාවට ඇති ඉඩකඩයි. සන්ස්කෘතික ආරක්ෂනවාදය වෙනුවට සනස්කෘතික විචාරය බලගන්වන චින්තන ධාරාවක් අපගේ ජාතිකවාදී කතිකාව ඇතුලට රැගෙන ආ යුතුය " ජාතිකවාදීන් එක්ක මොනව කතාකරන්නදැයි'' අපගේ මිතුරෙකු උපහාසයෙන් යුතුව මේ මෑතකදී පැවසුවේය. ජාතිකවාදය දේශපාලන භූමියෙන් ලෙහෙසියෙන් පල්ලම් බැස යන්නේ නැති නිසා වඩා යහපත් ජාතිකවාදයක් වෙනුවෙන් වැඩ කිරීම ජාතිකවාදය බැහැර කිරීමට වඩා ප්‍රාරයෝගික වන බව අපි ඔහුට යෝජනා කළෙමු.
සංස්කෘතික විචාර චින්තනයකට අවශ්‍ය විචාරාත්මක නිදහස අපගේ සංස්කෘතියට උරුමද ? අපි ඒ ගැන ඊ ලඟට කතා කරමු.